ෆිල්ම් හෝල් එකකට ගිහිල්ලා ෆිල්ම් එකක් බලන එකේ තියෙන වාසි 7 ක්

දැන් කාලේ, විශේෂයෙන්ම මේ කොරෝනා කතන්දර එක්කත්, අපි ෆිල්ම් හෝල්ස් වලට එහෙම යන එක සෑහෙන්න මගඇරිලා තියෙනවනේ. අනික, අලුත් ෆිල්ම් එකක් ආවහම ගොඩක් දෙනෙක් හෝල් එකකට ගිහිල්ලා බලනවට වඩා, ගෙදර ඉඳන් ඩවුන්ලෝඩ් කරලා බලන එක තමයි තෝරගන්නේ. හරි, ගෙදර ඉඳන් බලන එක අවුලක් නැහැ තමයි. දැන් ඔය සමහර ෆිල්ම්ස් එහෙම ආයෙ තියෙටර් වල රිලීස් කරන්නෙත් නෑනේ. කෙලින්ම නෙට්ෆ්ලික්ස් හරි, ඇමසන් හරි, එච්බීඕ හරි වගේ ස්ට්‍රීමින් සර්විස් එකක් හරහාම තමයි රිලීස් කරන්නෙත්.

හැබැයි අපි මේ කතා කරන්නේ එහෙම රිලීස් කරන ෆිල්ම්ස් ගැන නෙවෙයි. බය නැතුව බිග් ප්‍රොඩක්ෂන්ස් කියන්න පුළුවන් ෆිල්ම්ස් ගැන. අලුත්ම ස්පයිඩර් මෑන් ෆිල්ම් එක, අලුත්ම ඇවටාර් ෆිල්ම් එක වගේ එකක්, ඇත්තටම තියෙටර් එකේ නැතිනම් හැමෝම කියන විදියට ෆිල්ම් හෝල් එකේ ඉඳන් බලන එකේ විශේෂ වාසි නැද්ද? ඇත්තටම තියෙනවා!

 

1. දැවැන්ත සිනමායා අත්දැකීම

සිනමාව කියන්නේ ඇත්තටම මායාවක් වගේ තමයි, හා නැද්ද? හැබැයි ඒ මායාත්මක අත්දැකීම හරියටම ලබන්න නම් ෆිල්ම් එකක් දැවැන්ත තිරයේ බලන්න ඕන. එහෙම දැවැන්ත තිරයේ බලන්න නම් ෆිල්ම් හෝල් එකකටම යන්න ඕන. ඇත්තටම ඒ දැවැන්ත තිරයේ ෆිල්ම් එකක් බලන අත්දැකීම, අඟල් පනහේ ටීවී එකක ෆිල්ම් එකක් බලලාවත් ලබාගන්න බෑ. ඇත්තටම සම්මත ෆිල්ම් ස්ක්‍රීන් එකක් අඩි 45-65 ත් අතර වගේ ප්‍රමාණයක් පුළුල් වෙනවා. ඊට වඩා කුඩා අඩි 34 වගේ ප්‍රමාණයේ ඒවත් මිනි තියෙටර් වල තියෙනවා. එතකොට අයිමැක්ස් වගේ ස්ක්‍රීන් එකක් අඩි 72 පළල, අඩි 98 ක් විතර උස වෙන්න පුළුවන්. නිකමට හිතන්න, මේ වගේ අතිදැවැන්ත තිරයක අපි ෆිල්ම් එකක ලව් සීන් එකක් හරි, හැඟීම්බර ජවනිකාවක් හරි, ෆයිට් එකක් හරි නරඹනකොට දැනෙන අතිදැවැන්ත අත්දැකීම කොහොමද කියලා. ඇත්තටම අපි සල්ලි ගෙවලා තියෙටර් එකට යන්න ප්‍රධාන හේතුවක් තමයි මේ දැවැන්ත මායාත්මක අත්දැකීම ලබාගැනීම.

 

2. කොලිටිය

දැන් කාලේ ෆිල්ම් හෝල් වල ඉතාම හොඳ සවුන්ඩ් සිස්ටම්ස් තියෙනවනේ. ඒ වගේම, දැන් නවීන ෆිල්ම් හෝල් වල දෘෂ්‍ය කොලිටියත් ඉතාම ඉහළයි. ඉතින් උඩින් කිව්වා වගේ දැවැන්ත තිරයක ඉතාම හොඳ කොලිටි රිසොල්‍යුෂන් එකකින්, ඉතාම හොඳ ඕඩියෝ සෙටප් එකක් එක්ක ෆිල්ම් එකක් බලන අත්දැකීම මාරයි. ඒකත් එක්ක අර උඩ කියපු දැවැන්ත සිනමායා අත්දැකීම එකතු වුණහම ෆිල්ම් හෝල් එකක තියෙන්න ඕන හැමදේම සම්පූර්ණයි! ආන්න ඒ කියන ඕඩියෝ විෂුවල් කොලිටිය ගෙදර ටීවී එකේ හරි, කම්පියුටර් මොනිටර් එකේ හරි ෆිල්ම් එක බලලා ලබාගන්න බැරි තරම්. එහෙමනම් ඉතින් ගෙදර වඩාත් ලොකු අඟල් ප්‍රමාණයක, 4K වගේ විෂුවල් කොලිටි එකක් ලබාදෙන්න පුළුවන් මොනිටර් එකක් අරගෙන, හොඳ හෝම් තියෙටර් ඕඩියෝ සිස්ටම් එකක් එහෙම හදාගෙන ෆිල්ම්ස් බලන්න ඕන. හැබැයි ඒකෙන් වුණත් අර දැවැන්ත අත්දැකීම නම් ලබාගන්න අමාරුයි.

 

3. සාමූහික අත්දැකීම

ඇත්තටම ෆිල්ම් හෝල් එකක ෆිල්ම් එකක් බලනකොට එන සාමූහික අත්දැකීමක් තියෙනවනේ. අන්න ඒකත් ඇත්තටම ෆිල්ම් එකෙන් ලබන අත්දැකීම වැඩිදියුණු කරන්න හේතු වෙනවා. ඒක ගැන නිකමට හිතලා බලන්න. ලොකු ෆිල්ම් හෝල් එකක දෙන්නෙක් තුන්දෙනෙක් එක්ක ෆිල්ම් එකක් බලනවට වඩා, හවුස්ෆුල් වුණු ෆිල්ම් හෝල් එකක ෆිල්ම් එකක් බලනකොට වෙනම කික් එකක් එන්නෙ නැද්ද? ආන්න ඒක තමයි වෙනස. විශේෂයෙන්ම ඔය හැමෝටම එකතුවෙලා හුරේ දාන්න පුළුවන් විදියේ මාරම ඇක්ටින් තියෙන ෆිල්ම්ස් බලනකොට එහෙම, පිස්සු කොර වෙන සීන් එකක් ආවහම මුළු ප්‍රේක්ෂකාගාරෙම හුරේ දානකොට එහෙම තියෙන ගැම්ම, ගෙදර පවුලේ කට්ටිය එක්ක ෆිල්ම් එකක් බැලුවට එන්නෙ නෑ ඉතින්. හැබැයි ඉතින් ඕකෙම අනික් පැත්ත තමයි, වාත ප්‍රේක්ෂකයෝ ටිකක් සෙට් වුණොත් එහෙම, ෆිල්ම් එක බලන ආතල් එක කැඩෙන්නත් පුළුවන් වීම.

 

4. පොප් කෝර්න්!

සාමාන්‍යයෙන් අපි ගෙදර කම්පියුටර් එකේ හරි ටීවී එකේ හරි ෆිල්ම් එකක් බලනකොට කන බොන දේවලුත් හදාගෙන කරගෙන වාඩිවෙන්නෙ නෑනේ. ඕන නම් වෙනදට කන මොනවාහරි තියෙන දෙයක් කන ගමන් ෆිල්ම් එක බලයි. හැබැයි ඉස්සර ඔය ඡන්ද කාලෙදී එහෙම මතකද ෆිල්ම් එකක් දෙකක් එහෙමත් බලාගෙන, ඡන්දෙත් අහගෙන රෑ එළිවෙනකල් ඉන්න එක එක බයිට් කෑම ජාති එහෙම හදාගෙන සෙට් වෙනවා? ආන්න ඒක තමයි ආතල් එක. දැන් ෆිල්ම් හෝල් එකකට ගියාට පස්සෙත් අපි ඔය පොප්කෝන් බකට් එකක් එහෙම අරගෙනනේ යන්නේ. ඒවා කකා ෆිල්ම් එක බලන එකේ වෙනම ආතල් එකක් තියෙනවා. ඒක ඉතින් ගෙදරදී ගන්න බෑ!

 

5. මුලින්ම බලන්නේ අපි

මේක ඉතින් ටිකක් විවාද සම්පන්න කතන්දරයක්. දැන් කාලේ මොන බ්ලොක්බස්ටර් ෆිල්ම් එක රිලීස් වුණත්, රිලීස් වෙලා දවස් තුනහතරක් යනකොට ඉන්ටර්නෙට් එකට හොර කොපි එන්න පටන් ගන්නවා. සමහර වෙලාවට ෆිල්ම් හෝල් එකේ මේක බලන්න සතිය දෙක බලාගෙන ඉන්න සිද්ධ වෙන්නත් පුළුවන්. හැබැයි ඊට කලින් ඒ ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරලා බලන්න හැකි වෙන්න පුළුවන්. ඔන්න ඔය කාරණාව අපි නැහැයි කියන්නෙ නෑ. හැබැයි ඇත්තටම එහෙම ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරන්න ලැබෙන්නේ කොලිටි කොපි එකක් නෙවෙයි. එක්කෝ වෙබ් එකකින් රෙකෝඩ් කරපු එකක්, නැතිනම් කැම් කොපි එකක් තමයි. වෙබ් රෙකෝඩින් එකක් වඩා කොලිටි වුණාට, තියෙටර් එකේ බලන ෆිල්ම් එකේ කොලිටියට ගහන්න ඒකට බෑ. අන්න ඒ නිසා, තියෙටර් එකේ නැතිනම් ෆිල්ම් හෝල් එකේ ෆිල්ම් එකක් බලන එකේ තියෙන වාසියක් තමයි, කොලිටි කොපි එකකින් අලුත් ෆිල්ම් එකක් මුලින්ම බලන්න ලැබීම!

 

6. අවධානය නොකැඩී ලැබෙන අත්දැකීම

දැන් අපි ගෙදර ෆිල්ම් එකක් බලනවා කියමු. ටීවී එකේ ෆිල්ම් එකක් යනකොට අපි වැඩ නවත්තලා ඇවිත් ෆිල්ම් එකට ඉඳගෙන හිටියත්, ෆිල්ම් එකේ මැද්දෙන් ඇඩ්ස් යනවා. ඔන්න එතකොට අපේ අවධානය බිඳෙනවා. එහෙම නැතිනම් අපි සැටලයිට් ටීවී/කේබල් ටීවී සර්විස් එකකින් හරි, ගෙදර කම්පියුටර් එකේ හරි ෆිල්ම් එකක් බලනවා කියමු. එතනදිත් කෝල්ස් එන්න පුළුවන්, ගෙදර කවුරුහරි කතා කරන්න පුළුවන්. එතනදී අපිට ෆිල්ම් එක පෝස් කරලා යන්න පුළුවන් කියලා දන්න නිසාම, අපි ගෙදර ෆිල්ම් එකක් බලනකොට ෆෝන්ස් සයිලන්ට් කරන්නෙ, දොරවල් වහගන්නෙ එහෙම නැහැනේ. හැබැයි ඉතින් එහෙම අවධානය එහෙ මෙහෙ වෙවී ෆිල්ම් එකක් බලනකොට, ෆිල්ම් එකේ සම්පූර්ණ කොලිටි අත්දැකීම ලබාගන්න එක අමාරු වෙනවා. ඒත් අපි ෆිල්ම් හෝල් එකකට යන්නෙම ෆෝන්ස් සයිලන්ට් කරගෙන, ඒ පැය එකහමාර හෝ දෙක සම්පූර්ණයෙන්ම ෆිල්ම් එකට යොදවන හැඟීමෙන්මනේ. ආන්න ඒ නොකැඩෙන අවධානයෙන් ෆිල්ම් එකක් බලන්න සපෝට් එක ලැබෙනවා ෆිල්ම් හෝල් එකකදී!

 

7. සුන්දර මතකයක්

ඇත්තටම අපිට ෆිල්ම් හෝල් එකකට ගිහින් බලන ෆිල්ම් එකක්, අපේ හාඩ් ඩ්‍රයිව් එකේ සේව් කරලා නොතිබ්බට කමක් නෑ. මොකද, අපි ෆිල්ම් හෝල් එකට ගිහින් ෆිල්ම් එකක් බලලා අත්දැකීමක් ලබාගෙන කරන්නේ සුන්දර මතකයක් නිර්මාණය කරගන්න එක. උදාහරණයක් විදියට කිව්වොත්, සාමාන්‍ය මනුස්සයෙක්ට ටීවී එකේ යනකොට බලපු බ්ලොක්බස්ටර් ෆිල්ම් එකක වුණත් සීන්ස් පස්සෙ කාලෙක මතක නැතිවෙන්න පුළුවන්. හැබැයි තාමත් අපිට පුංචි කාලේ ඉස්ඉස්සෙල්ලම ෆිල්ම් හෝල් එකකට ගිහින් බලපු ජුරාසික් පාක් ෆිල්ම් එකේ සීන්ස් තාමත් පැහැදිළිව මතක තියෙනවනේ, හා නැද්ද? ආන්න ඒ සුන්දර මතකයක් නිර්මාණය කිරීම කියන එක සිද්ධ වෙන්නේ, උඩ කියපු හැමදෙයක්ම එකතු වෙලා. ඒ සුන්දර මතකය ලබාගන්න නම් ඉතින් ෆිල්ම් හෝල් එකකටම යන්න වෙනවා!

 

දැන් පැහැදිළියි නේද තත්ත්වය? ඇත්තටම සිනමා කර්මාන්තයට අතහිත ලබාදීම වෙනුවෙන් විතරක් නෙවෙයි, ඇත්තටම අපිට වඩාත් විශිෂ්ට සිනමාත්මක අත්දැකීමක් ලබාගන්නත් ෆිල්ම් හෝල් එකකට ගිහින් ෆිල්ම් එකක් බලන එකේ වාසි තියෙනවා. හැමදාම නැතත්, මාසෙකට දෙහෙකට සැරයක් හරි එහෙම ෆිල්ම් හෝල් එකකට ගිහින් ෆිල්ම් එකක් බලන අත්දැකීමත් ජීවිතේට තියෙන්න ඕන නෙහ්, හා නැද්ද?

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *