2022 අවුරුද්දේ ප්‍රශ්න ඔක්කොටම මුහුණ දෙන්න හොඳ ප්ලෑන් එකක් හදා ගමු!

ඔන්න 2022 අවුරුද්දත් උදා වුණා. ගොඩක් අය ලොකුවට කෑවෙ බිව්වෙ නැතත් රතිඤ්ඤා එහෙම පත්තු කරලා නව වසර සාදරයෙන් පිළිගත්තා. හැබැයි ඉතින් එහෙම ආතල් එකක් එහෙම අරන් අවුරුද්ද පටන් ගත්තට, ශ්‍රී ලංකාවාසී අපිට 2022 අවුරුද්ද සෑහෙන්න අමාරුකම් වලට මුහුණ පාන්න වෙන අවුරුද්දක් කියලා අමතක කරන්නත් බෑ. රටක් විදියට අපි මුහුණ දීලා තියෙන ආර්ථික අසීරුතා වගේම, ආයෙමත් ඔළුව උස්සන්න පුළුවන් කොවිඩ්-19 වසංගතය වගේ ප්‍රශ්නත් එක්ක, 2022 අවුරුද්ද බොහොම ප්‍රවේසමෙන් ගත කරන්න පුළුවන් නම් වඩාත් හොඳයි. අන්න ඒ නිසා අපි හිතුවා, 2022 අවුරුද්දට අපේ පුද්ගලික ප්‍රවේසමත් එක්කම හොඳ ප්ලෑනක් හදාගත්තා නම් හොඳයි කියලා. ඒ ප්ලෑන් එකට ඇතුළත් වෙන්න ඕන ටිප්ස් කීපයක් තමයි මේ!

 

1. හොඳ මූල්‍ය විනයක්

මේ 2022 අවුරුද්ද කියන්නේ හොඳ මූල්‍ය විනයක් උපරිමයෙන්ම පවත්වාගෙන යන්න අවශ්‍ය වෙන අවුරුද්දක් කිව්වොත් වැරදි නෑ. උදාහරණයක් කිව්වොත්, වෙන කිසිම දවසකට වඩා අවශ්‍ය දේට වියදම් කරලා ඉන්න හොඳ විනයක් පවත්වා ගන්න වෙනවා මේ අවුරුද්දේ. මොකද, මේ අවුරුද්දේ ආර්ථික අවපාතය අපිට පෙර නොවූ විරූ විදියට දැනෙන්න පුළුවන්. අන්න ඒ නිසා, හොඳම දේ තමයි තමන්ට අවශ්‍ය දේවල් මොනවද, අනවශ්‍ය දේවල් මොනවද කියන එක ගැන හොඳ අවබෝධයක් එක්ක ගේමට එන්ටර් වෙන එක. මෙතනදී අර කවුද කිව්වා වගේ අපි කියන්නේත් නෙට්ෆ්ලික්ස් නැතුව මැරෙන්නෙ නෑනේ කියලා නෙට්ෆ්ලික්ස් කැන්සල් කරන්න කියලා නෙවෙයි. හැබැයි නෙට්ෆ්ලික්ස් බැලෙන්නේ නැතිනම්, සෝබනේට තියාගෙන හිටියා කියලා වැඩක් නෑ. ඊටත් වඩා මූල්‍ය විනයෙන් කියන්නේ සුපර්මාකට් එකකට ගියත්, තමන්ට ගන්න අවශ්‍ය සහ අදාළ බඩුභාණ්ඩ ටික අරගෙන, හතරවටේ තේරුමක් නැති දේවලට වියදම් නොකර එන්න පුළුවන් හැකියාව, තමන්ගේ මාසික බිල් ටික හරි වෙලාවට ගෙවන්න පුළුවන් හැකියාව වගේ දේවල් තමයි!

 

2. අවශ්‍ය බඩු කලින්ම

දැන් හිතලා බලන්න අපිට අවශ්‍ය වෙන්න පුළුවන් බඩු භාණ්ඩ මොනවද කියලා. අවුරුදු තුනකට හතරකට ඉඩ තියලා හිතන්න. උදාහරණයක් විදියට ගත්තොත්, ගෙදරට ඉන්ඩක්ෂන් කුකර් එකක් අරගෙන තියෙන එක ඇත්තටම මේ වෙනකොට ආයෝජනයක්. ඒක ඇත්තටම හිතන්න තිබුණේ දැනුත් නෙවෙයි, මීට අවුරුද්දකට දෙකකට කලින්. කොහොම හරි, දැන් හරි කමක් නෑ ඉන්ඩක්ෂන් කුකර් එකක් අරගෙන තියාගන්න. එතකොට කම්පියුටර් එකක් එහෙම ගන්න ඕන නම් හිත හිතා ඉන්න එපා. දැන්මම අරගෙන තියාගන්න. දැන් අතේ සල්ලි නැතිනම් කොටස් වශයෙන් ගෙවීමේ ක්‍රමයට හරි ගන්න. ඒකට හේතුව, එකක් ඉදිරියේදී ඔය වගේ බඩුභාණ්ඩ හිඟ වෙන්න පුළුවන්. එහෙම නැතිනම් මිල ගණන් අතිවිශාල විදියට ඉහළ යන්න පුළුවන්. අන්න ඒ නිසා.

 

3. පුරුදු වෙනස් කර ගමු

දැනටමත් අපි කිරිපිටි හිඟයට, ගෑස් හිඟයට එහෙම මුහුණ දීලනේ ඉන්නේ. දැන් අපිට කරන්න පුළුවන් දේවල් තියෙනවා. එක්කෝ ආණ්ඩුවට බැණ බැණ කිරි පිටි පෝලිම් වල කාලේ නාස්ති කරන්න පුළුවන්. එහෙම නැතිනම්, ඒ හිඟ දේවල් වලින් අපේ ජිවිතේට අවම බලපෑමක් වෙන විදියට අපේ ජීවිතේ එදිනෙදා පුරුදු වෙනස් කරගන්න පුළුවන්. උදාහරණයක් විදියට ගත්තොත්, කිරිපිටි ප්‍රශ්නය නිසා අපිට පුරුද්දට කිරි එකක් බොන එක නතර කරලා, වෙන ප්‍රෝටීන් ප්‍රභව වලට යන්න පුළුවන්. හැබැයි ඒ කියන්නේ මුරුංගා කොළ කෑම ගැන නෙවෙයි. ඒවා විහිළු මිසක් ප්‍රායෝගික විකල්ප නෙවෙයි. හැබැයි අපිට සම්පූර්ණ ඩයට් එක වෙනස් කරන්න පුළුවන් අවශ්‍ය නම්. ලෝ කාර්බ්, හයි ප්‍රෝටීන්, හයි ෆැට් ඩයට් එකක් උදාහරණයක්. හැබැයි ඉතින් ඒ එක්කම එක්සසයිස් එහෙමත් කරන්න වෙනවා. ඒත් එහෙම ලයිෆ්ස්ටයිල් එක වෙනස් කරන එකෙන් සෞඛ්‍යයටත් හිතකර ප්‍රතිඵල ලැබෙනවා.

 

4. ආදායම හදාගමු

අපි කලිනුත් කිව්වනේ හොඳ මූල්‍ය විනයක් පවත්වා ගන්නවා කියන්නේ නිකම්ම නෙට්ෆ්ලික්ස් එකවුන්ට් එක කැන්සල් කරන එක නෙවෙයි කියලා. ඇත්තටම අපිට අත්‍යාවශ්‍ය නොවෙන දේවල් කැන්සල් කරන ප්‍රතිපත්තියකට වඩා, පැවැත්මට සහ විනෝදයට අවශ්‍ය නොවෙන දේවල් විතරක් අතහැරලා, ආදායම වැඩි කරගැනීම ගැන තමයි හිතන්න ඕන. ඒක තමයි ඇත්තටම පොහොසත් මානසිකත්වය කියන්නේ. අන්න එතනදී අපිට අවශ්‍ය වෙන්නේ වියදම් කැපීමට වඩා ආදායම් වැඩි කරගැනීම. එතනදී අපි සයිඩ් බිස්නස් එකක් පවා කළත් කමක් නෑ.වැදගත් වෙන්නේ තමන්ට කළමනාකරණය කරගන්න පුළුවන් මට්ටමෙන් ආදායම වැඩි කර ගන්න එක. හිතුවොත් කරන්න බැරි දේකුත් නෑ, 

 

5. සල්ලි වලට මොකද කරන්නේ? 

දැන් ඔහොම හම්බ කරලා ඉතුරු වෙන සල්ලි වලට මොකද කරන්නේ? ෆික්ස් එකක් දාමුද? එහෙම නැතිනම් බිස්නස් එකටම ආයෙමත් දාමුද? එහෙම නැතිනම් මෙට්ටේ අස්සේ හංගමුද? අපි කියන්නේ හොඳ ආයෝජන අවස්ථා කීපයක් ගැන හිතන්න වෙන කවදාටත් වඩා මේ අවුරුද්ද යෝග්‍යයි කියලා. හේතුව, දිනෙන් දින වැඩිවෙන උද්ධමනය වගේ කාරණා තමයි. ඒකත් එක්ක, අතේ හරි බැංකුවේ හරි ඔහේ සල්ලි හිරකරලා තිබීමෙන් අපේ සල්ලි වල අගය අඩු වෙන එක විතරයි වෙන්නේ. සරලවම කිව්වොත්, අතේ රුපියල් දහදාහක් ඉතුරුමක් කියලා තියාගෙන හිටියට, අවුරුද්ද අන්තිමට අපිට දැන් රුපියල් දහදාහේ සැබෑ අගය ලැබෙන්නේ නෑ.

 

අන්න ඒ නිසා අවදානම් අඩු, නැවත මුදල් කරගන්න පුළුවන් හැකියාව වැඩි ආයෝජන අවස්ථා ගැන හොයලා බලන්න. ඒකට ඉඩකඩම් අරන් දැමීමේ ඉඳලා කොටස් වෙළඳපොලේ ආයෝජනය කිරීම දක්වා විකල්ප තියෙනවා.

 

6. කළමනාකරණය කරගන්න පුළුවන් ණය

ඇත්තටම අර කාටවත් ණය නැතුව ජීවත් වෙනවා වගේ සංකල්ප වලට වඩා, නියම විදියට ණය කළමනාකරණය කර ගැනීම වගේ සංකල්ප වෙන කවදාටත් වඩා මේ කාලෙට හරියනවා. ඇත්තටම තමන්ට හරියට කළමනාකරණය කරගන්න පුළුවන් නම්, ගොඩ යන ප්ලෑන් එකක් තියෙනවා නම් ණය ගන්න බය වෙන්න ඕන නෑ. හැබැයි මේ ණය ගන්න ඕන බැංකුවකින් වගේ විධිමත් ආයතනයකින් තමයි. ඒ ණය ආයෝජනය කරලා වඩා වැඩි ආදායමක් උපයන්න ප්ලෑන් එකකුත් තියෙන්න ඕන. අන්න එතකොට ණය ගන්න බය වෙන්න ඕන නෑ. ණය වගේම, තමන්ට ගෙවාගෙන යන්න පුළුවන් කියලා ෂුවර් එකක් හැදෙනවා නම්, උඩ කියපු විදියට අවශ්‍ය වෙන්න පුළුවන් බඩුභාණ්ඩ කොටස් වශයෙන් ගෙවන්න ගන්න එක පවා අවුලක් නෑ.

 

7. වගා සංග්‍රාමයක්

දැන් අර පාදෙණිය ලොක්කා කියනවනේ ආයෙ ලංකාවේ හිඟ වෙන හැම මගුලක්ම ගෙදර හදාගන්නේ කොහොමද කියන එක. හැබැයි අපි ඔය හාදයන්ගේ කතන්දර එක්ක අපිට තියෙන ප්‍රශ්න අතඇරලා බැලුවහම, ගන්න එක දෙයක් තියෙනවා. ඒ තමයි, සම්පූර්ණයෙන්ම ස්වයංපෝෂිත වෙන්න බැරි වුණත්, අපිට ලෙවරේජ් එකක් තියෙන්න ඕන මේ ආණ්ඩුවත් එක්ක වැඩ කරනකොට. ඒ කියන්නේ, ආණ්ඩුවෙන් අපි මොන තරම් ගේම ඉල්ලුවත්, අපේ අවශ්‍යතා සමහර දේවල් හරි කවර් කරගන්න ප්ලෑනක් තියෙන්න ඕන. උදාහරණයක් විදියට, ගෙවත්තේ එළවලුවක් දෙකක් කුඩාවට වඩා කරගන්න එක, වෙන කවදාටවත් වඩා මේ කාලේ ප්‍රයෝජනවත්. විශේෂයෙන්ම ඉහළ යන එළවලු මිල එක්ක ගෙදර පරිභෝජනයට එළවලුවක් පළතුරක් වත්තෙන් කඩාගන්න එක වාසිදායකයි. ඇඟටත් හොඳයි, විනෝදාංශයක් විදියටත් හොඳයි.

 

එහෙමනම්, මේ අවුරුද්ද මේ විදියට මොන ආර්ථික අවපාත ආවත් ගොඩයන්න පුළුවන් 2022 අවුරුද්දක් කරගමුද?

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *