මෑතකදී නෙට්ෆ්ලික්ස් (Netflix) හරහා නිකුත් වූ, ඔබ නැරඹිය යුතුම හින්දි චිත්‍රපට 7ක්

වර්තමානයේ නම් මේ කොවිඩ් තත්ත්වයත් එක්ක ගොඩක් සිනමා නිර්මාණ එළි දැක්වු​ණේ නෙට්ෆ්ලික්ස්, ඇමසන් ප්‍රයිම් වගේ OTT හරහා. සිනමාශාලාවලට යන්න තරම් ප්‍රේක්ෂකයන්ට අවදානමක් ගන්න අපහසු වීමත් එක්ක ගොඩක් නිර්මාණ බිහිවු​ණේ මේ විදියට. ඉතින් අද අපි කතාකරමු Netflix හරහා නිකුත් වූ ඔබ නැරඹිය යුතුම හින්දි චිත්‍රපට හතක් ගැන.

 

1. Pagglait 

මේක ටිකක් හාස්‍ය රසයට බර නිර්මාණයක්. තවත් පැත්තකින් හරි සංවේදී කතා පුවතක්. සරලවම කිව්වොත් Black Comedy එකක්. මේ චිත්‍රපට කතාව​ට පාදක වෙන්නෙ තරුණ වැන්දඹු කාන්තාවකගේ ජීවිත අත්දැකීමක්. ආසියාති​ක වැන්දඹුවක් කිව්වම අපිට ගොඩක් වි​ට මතකෙට එන්නේ සුදු ඇඳුම් පොරවගත්තු, දුකින් පසුවෙන කාන්තාවක් වු​ණත්, මේ වැන්දඹුව නම් ඊ​ට වෙනස්. ඒ වෙනස ගැන හරියට​ම දැනගන්න නම් අනිවාර්යයෙන්ම මේ නිර්මාණය බලන්න වෙනවා.

 

2. Meenakshi Sundareshwar 

මෑතකදී ආපු මේ චිත්‍රපට​ය ගොඩක් ප්‍රේක්ෂක පිරිසක් ආදරයෙන් වැළඳ ගත්තා. බොලිවුඩ් චිත්‍රපට​යක් වුණාට තනිකරම කොලිවුඩ් චිත්‍රපටයක් බලන හැඟීමක් තමයි මේ චිත්‍රපටය නරඹද්දි එන්​නේ. රැකියා කටයුතු නිසා එකිනෙකාගෙන් දුරස් වෙලා ජීවත් වෙන්න සිදුවෙ​න මීනක්ෂි හා සුන්දර් කිය​න යුව​ළගෙ විවාහ ජිවිතය තු​ළ සිදුවෙන විවිධ අරගල මේ නිර්මාණයට අන්තර්ගත වුණා. අපි කලින් කියපු Paaglait චිත්‍රපටයෙත් රංගනයෙන් දායක වුණු සාන්‍යා මල්හෝත්‍රා තමයි මේ නිර්මාණයෙත් රංගනයේ යෙදෙන්නේ.

 

3. Ajeeb Daastaans 

මේක නම් ඇන්තලොජි නිර්මාණයක්. ඒ කියන්නේ කෙටි චිත්‍රප​ට කිහිපයකින් සමන්විත වුණු සිනමා නිර්මාණයක්. මේකේ කෙටි කතා හතරක් අන්තර්ගත වෙනවා. ඒ හතරම අධ්‍යක්ෂ​කවරු හතර දෙනෙක්ගේ වෙනස්ම ආකාරයේ නිර්මාණ හතරක්. Majnu, Khilauna, Geeli Puchi සහ Ankahi මේ තමයි මේකට අන්තර්ගත වෙන කතා හතර. මේ හතර අතරින් මජ්නූ කතාව තරමක් දුර්වලයි. ඒත් අනිත් කතා තුනම විශිෂ්ට කතාංග තුනක්.

 

4. Haseen Dilruba 

මේක නම් හොඳ නරක දෙවිදිහෙ​ම මිශ්‍ර ප්‍රතිචාර ලබාගත්ත නිර්මාණයක්. මේකට පාදක වෙන්නේ යෝජිත විවාහයකින් එකතු වුණු විවාහ​ක යුව​ළක් ව​න රාණි ස​හ රිශුගේ ජීවිත වෙනස් කරන සිදුවීමක්. එකිනෙකාට වෙනස් ගතිපැවතුම් තිබ්බත් ආදරයෙන් ජීවත් වෙන මේ යුවළගේ සම්බන්ධතාවය මැදට තව තුන්වැනියෙකුත් එනවා. ඒ ආගමනය කෙළවර වෙන්නේ මිනීමැරුමකින්. වැඩිපුර විස්තර කරන්න ගියොත් කතාවේ රසයට හානි වෙන්න පුළුවන් නිසා චිත්‍රපටය බලලම හොඳ නරක තීරණය කරන්න අපි ඔබට බාර දෙනවා.

5. Skater Girl 

මේ වසරේ ආපු තවත් හොඳ ප්‍රතිචාර ලබපු නිර්මාණයක් තමයි මේ. ඉන්දියාවේ ගම්බද තරුණියක් ස්කේට් බෝඩ් ක්‍රීඩාවට යොමු වෙලා තමන්ගේ හීන හඹායන කතාවක් මේ​ක. ඒ කතාවට සමගාමී​ව ළමා විවාහ, කුල භේදය, ගැහැනියකට පුරුෂ මූලික සමාජය තු​ළ හිමි ස්ථානය වගේ ඉන්දියානු සමාජය තු​ළ තියෙන විවිධ ප්‍රශ්න ගැනත් මේ නිර්මාණයෙන් කතා කරනවා. ​ඉතින් අනිවාර්යයෙන්ම නරඹන්න ඕනෙම නිර්මාණයක්.

 

6. Thalaivi 

ජයලලිතා කියන්නේ සමහ​ර අය කැමති, සමහර අයට පේන්න​ම බැරි චරිතයක් කිව්වොත් වැරදි නෑ. සිනමා නිළියක් හැටියට ක්ෂේත්‍රයේ ටිකෙන් ටික ඉහළට නැගලා අවසානයේ ඉන්දියානු දේශපාලන​යේ පතාක චරිතයක් බවට පත්වෙන ඇගේ ජීවිත ගමන තමයි මේ නිර්මාණයට පාදක වෙන්නේ. ගොඩක් අය කැමති, ගොඩක් අය අකමැති චරිතයක් නිසා චිත්‍රපටය එක එක්කෙනාට දැනෙන විදිහ වෙනස් වෙන්න පුළුවන්. මෙහි ප්‍රධාන චරිතය නිරූප​ණය කරන්නේ කංගනා රනවුත් විසින්. 

 

7. Mimi 

සමහරු කියන්නේ මේ අවුරුද්දේ ආපු ලස්සනම හින්දි ෆිල්ම් එක මේක කියලයි. මිමී නිළියක් වෙන්න ආසාවෙන් ඉන්න යුවතියක්. ඒ සඳහා මුදල් හොයාගන්​න ගන්නා එක් අපූරු තීරණයක් නිසා ඇගේ ජී​විතය සහමුලින්ම කණපිට හැරෙනවා. ඒකට හේතු වෙන්නේ ඇය මුදල් වෙනුවෙන් විදේශික යුවළකගේ දරුවෙක් Surrogacy ක්‍රමයට තමන්ගේ කුසේ දරාගන්න පොරොන්දු වීම නිසයි. මිමීගේ වගේම ඇය වටා ඉන්න අයගෙත් ජීවිත වෙනස් කරන්න බලපාන මේ සිදුවීමේ දිගහැරුම විටෙක අපව සංවේදී කරන්නත් සමත් වෙනවා. අනිවාර්යයෙන් බලන්න කියලා අපි රෙකමදාරු කරනවා මේ චිත්‍රපටයත්.

 

ඉතින් මීට අමතරව Netflix හරහා නිකුත් වුණු ඔයා ආසාවෙන් නරඹපු හින්දි චිත්‍රපට ගැනත් අපිට අනිවාර්යයෙන්ම කමෙන්ට් එකකින් කියන්න අමතක කරන්න එපා.

 

ශශින් ප්‍ර​බෝද්

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *