සුන්දර කැනඩාව ගැන ඔබ නොදන්නා තතු

කැනඩාව කියපු ගමන් අපි හැමෝටම ඔලුවට එන්නේ ගොඩක් දියුණු රටක් ගැන සිතුවිල්ලක්. විශේෂයෙන් නයගරා ඇල්ල තමයි ගොඩක් යගේ මතකයට එන්නේ කැනඩාව කියපු ගමන්. ඒ වගේම ලංකාවේ ඉන්න බොහොමයක් දෙනා පදිංචියට යන්න හිතන් ඉන්න රටවල් වලින් ඉහළින්ම තියෙන රටක් තමයි කැනඩාව. ඒ වගේම 2020 අවුරුද්දේ ලෝකයේ 9 වෙනි විශාලම ආර්ථිකය හිමි රට විදිහටත් කැනඩාව නම් කෙරුණා. ඔය වගේ දේවල් ඉතින් හැමෝම දන්න දේවල්. හැබැයි කැනඩාව කියන ති සුන්දර රට ගැන ඔයාලා නොදන්නා කාරණා එහෙමත් ගොඩක් තියෙනවා. ඉතින් ලංකාවෙන් කොයිවෙලේද පනින්න පුළුවන් කියලා මාන බලාගෙන ඉන්න අයට පොඩි තල්ලුවක් වෙන්නත් එක්ක කැනඩාව කියන රට ගැන අප්‍රකට තොරතුරු ටිකක් ඔයාල එක්ක බෙදාගන්නයි අපි අද ලෑස්ති වෙන්නෙ. 

 

1. දිගම දේශ සීමාව

කැනඩාව ලෝකයේ දෙවෙනි විශාලම රට කියන එක ගොඩක් දෙනෙක් දන්න කාරණාවක්. ඒ වගේම කැනඩාව භූමියෙන් මායිම් වෙලා තියෙන්නෙ ඇමෙරිකා එක්සත් ජනපදයට. ඉතින් දකුණින් තියෙන ඇමරිකාවයි උතුරින් තියෙන කැනඩාවයි වෙන් වෙන දේශ සීමාව ලෝකයේ දිගම ජාත්‍යන්තර දේශ සීමාව විදිහට වාර්තා වෙනවා. හරියටම කිව්වොත් මේ දේශ සිමාවේ දිග කිලෝමීටර් 8,891ක් වෙනවා. මේ දේශ සීමාවේ කොටස් දෙකක් තියෙනවා. කලින් සඳහන් කළා වගේ දකුණින් තියෙන ඇමරිකාවයි, ඒ වගේම බටහිරින්, ඇමරිකාවේ ප්‍රාන්තයක් වෙන ඇලස්කාව කියන ප්‍රාන්තයයි වෙන් වෙන සීමාවන් දෙක තමයි ඒ. ජාත්‍යන්තර දේශසීමා කොමිසම මේ සීමාව සම්බන්ධයෙන් වෙන ගැටළු සම්බන්ධව කටයුතු කරනවා. ඒ වගේම මේ සීමාවේ දුර ප්‍රමාණය ගොඩක් වැඩි නිසා සමහර තැන් වල සංවේදක (Sensors) පවා සඟවලා තියෙනවා සීමා උල්ලංඝනය කිරීම් වළක්වන්න. 

 

 

2. සැන්ටා ක්ලෝස් කැනඩා ජාතිකයෙක් ලු

ක්‍රිස්තියානි ආගමේ විශේෂම අවස්ථා වලින් එකක් තමයි නත්තල කියන්නෙ. ඉතින් නත්තල මතක් කරපු ගමන් අපේ ඔලුවට එන්නේ නත්තල් සීයව. ඉතින් නත්තල් සීයා එහෙම නැත්නම් ශාන්ත නිකලස් කියන චරිතය අපි අඳුනන්නේ නත්තලට පොඩි අයට තෑගී ගෙනත් දෙන කෙනෙක් විදිහට. ඉතින් ඈත අතීතයේ ඉඳලම පොඩි ළමයි නත්තල් සීයාට ලියුම් ලියන්න පුරුදු වෙලා හිටියා. ඉතින් ඒ එක එක රටවල ළමයින් තැපැල් පෙට්ටි වලට දාන ලියුම් වලට ඒ තැපැල් කන්තෝරු නිලධාරීන් පිළිතුරු යවන අවස්ථා එහෙම ගොඩක් තිබුණා. හැබැයි කැනඩාවේ, නත්තල් සීයාට විශේෂිත ලිපිනයක් වෙන් කරලා දීල තියෙනවා. ඒ කියන්නෙ නත්තල් සීයාගේ නිල ලිපිනය තියෙන්නෙ කැනඩාවේ.

Santa Claus

North Pole

H0H 0H0

Canada 

කියන්නෙ ඒ ලිපිනයයි. ඉතින් ඕනෑම රටක ඕනෑම වයසක කෙනෙක්ට මේ ලිපිනය හරහා නත්තල් සීයාට ලිපි යවන්න පුළුවන් වගේම නැවත පිළිතුරු ලිපියක් ලබාගන්නත් හැකියාව තියෙනවා. හැබැයි 2021 අවුරුද්දට අදාළ ලිපි යැවීමේ අවසන් දිනය දැන් පහු වෙලා, ඒක තිබුණේ දෙසැම්බර් 10. ඒ වගේම මේ ලිපිනයට අවුරුද්දකට ලිපි මිලියනයකට වඩා එනවලු. 

 

 

3. එහෙ බැලුවත් ස්මිත්, මෙහෙ බැලුවත් ස්මිත්

 

ලංකාවේ ගොඩක් වෙලාවට පෙරේරා කියන නම ගොඩක් බහුලව දකින්න පුළුවන් නමක්. අර සින්දුවක තියෙනවා වගේ පාරක පෙරේරා කියල කෑගහුවොත් ගොඩක් දෙනෙක් හැරිලා බලන තරම් පෙරේරා නම ලංකාවේ බහුලයි. ඒ වගේම තමයි කැනඩාවට. කැනඩාවේ ස්මිත් කියන නම සෑම පුද්ගලයින් 192කින් එක්කෙනෙක්ට තියෙනවලු. ඒ වගේම කැනඩාවේ ජනප්‍රියම නම වගේම කැනඩාවේ ප්‍රාන්ත 7කත් මේ නම තමයිලු ජනප්‍රියම. 

 

 

4. 20% ක් පිටරැටියන්

කැනඩාව පිළිගැනෙන්නේ බහු සංස්කෘතික රටක් විදිහට. 2011දී කැනඩාවේ ජනගහණයෙන් පිටරටක ඉපදුනු අය 6,775,800ක් පමණ හිටියා. ඒක මුළු ජනගහණයෙන් 20.6% ක් වුණා. 2006 ඉඳලා 2011 වෙනකන් විදේශිකයින් 1,162,900ක් කැනඩාවට සංක්‍රමණය වෙලා තියෙනවා. ඒ විදිහට කැනඩාවට වැඩිම පිරිසක් සංක්‍රමණය වෙලා තියෙන්නෙ ආසියාවෙන්.  

 

 

5. අධ්‍යාපන මට්ටම

කැනඩාව කියන්නෙ අධ්‍යාපනය සහ ඒකෙ වැදගත්කම හොඳින්ම තේරුම් ගත්තු රටක්. ඒක ඒ රටේ මිනිස්සු දිහා බැලුවම තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම කැනඩාවේ ඉන්න වැඩිහිටි අයගෙන් 56%ක් උපාධියක් සහිත අය. ඒක සංවර්ධිත අනෙක් රටවල් එක්ක බැලුවම ඉහළම අනුපාතය. ඒ වගේම කැනඩාවේ ජාතික නිෂ්පාදිතයෙන් 6%ක් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරනවා. ඉතින් අහන්න දෙයක් නෑනේ ඒ රටේ අධ්‍යාපන මට්ටම ගැන. 

 

 

6. වැරදිලා තිබ්බ නම

කැනඩාව කියන නම ඒ රටට ලැබුණේ කොහොමද කියන එක ගොඩක් අය නොදන්නා කාරණාවක්. ඉතින් ඒක සිද්ද වෙලා තියෙන්නෙ 1535 දී. දවසක් ප්‍රංශ ගවේෂකයෙක් මේ රටට ඇවිල්ල තියෙනවා. ඒ ආපු වෙලාවේ ඔහු ඒ රටේ හිටපු ස්වදේශික තරුණයින් දෙන්නෙක්ගෙන් අහලා තියෙනවා රට තුළට යන මාර්ගයක් ගැන. ඉතින් ඒ වෙලාවේ ඔවුන් ඔහුට කියලා දෙනවා ‘කනාටා’වට යන විදිහ. කනාටා කියන්නෙ ස්වදේශික භාෂාවෙන් ගම කියන තේරුම. නමුත් ඒ ගවේෂකයා තේරුම් අරන් තියෙන්නෙ ඒ මුළු රටටම කියන නම විදිහට. ඉතින් ඔහු ඒ රට කනටාව විදිහට වාර්තා කරගෙන තියෙනවා. ඔන්න ඔය නම තමයි පහු කාලෙක කැනඩාව විදිහට වෙනස් වුණේ. 

 

 

7. සර්පයින් නැති දූපත

නිව්ෆවුන්ඩ්ලන්ඩ් කියන්නෙ කැනඩාවට අයත් දුපතක්. ඉතින් වසරේ බොහෝ කාලයක් අධික ශීතලක් පවතින මේ දූපතේ කිසිම සර්පයෙකු වාර්තා වෙලා තිබුණේ නෑ. ඒකට හේතුව සර්පයින්ට මේ දුපතට ලඟා වෙන්න තියෙන නොහැකියාවයි. මොකද ලුණු සහිත මුහුදු වතුර එක්ක හරි අයිස් උඩ හරි සර්පයින්ට ගමන් කරන්න තියෙන බාධාව නිසා තමයි එහෙම වෙලා තියෙන්නෙ. හැබැයි අද වෙද්දී නම් එහි සර්පයින් ඉන්න බව වාර්තා වෙනවා. ඒ අනවසරයෙන් ඔවුන්ව දුපත ඇතුළට ගෙන ඒමක් සිද්ද වෙලා තිබීම නිසයි. ඒ කාරණාව වගේම තමයි ලෝකයේ වැඩිම සර්ප ආකර්ෂණයක් තියෙන දුපත තියෙන්නෙත් කැනඩාවේ.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *