ලස්සන පොටෝ බලලා, වීඩියෝ බලලා, රිවීව් බලලා අපි ලස්සන තැනකට ගියා කියල හිතමු. ඒත් ගිහින් බැලුවම ඔන්න එතන ඉන්නවා දෙල්කඳ පොළේ වගේ මහ සෙනගක්. පොටෝ එකක් ගන්න තරම්වත් නිදහස් පරිසරයක් නැති එහෙම වෙලාවකදි අපිට ලස්සන පොටෝ ටිකක් ගන්න කරන්න පුළුවන් දේවල් මොනවද කියල අපි ටිකක් හොයල බලමු.
1. වෙනස් දේවල් නාභිගත කරමු
ලස්සන පාරිසරික සංචාරක තැනක් බලන්නට ගියානම් එතැන තියෙන අපි බලන්නට යන දිය කඩිත්ත, දිය ඇල්ල, කඳු මුදුන, ලස්සන සානුව, කන්ද, බෑවුම, භූවිෂමතාවය ආදියේ ලොකු පින්තුර හැටහතරදාහක් විතර ෆේස්බුක් එකේ සුලභව තියෙනවා. ඒත් එතැන තියෙන චූටි මලක්, කුරුමිණියෙක්, ලස්සන පැලෑටියක් වගේ කුඩා දෙයක් සමහර විට අර කලින් පොටෝ ගත් අයට අමතක වෙලා, මග හැරිලා තියෙන්නට පුළුවන්. ඒ වගේම කුඩා දරුවන්, ආභරණ ආදී විශාල පරාසයක දේවල් එතැන තියලා ඒ තැනට අලුත් අර්ථයක් එකතු කරන්නත් ඔයාට පුළුවන්.
2. විවිධ කෝණ වලින් උත්සාහ කිරීම
තැනක් ගැන අදහස එන විදිහේ ප්රවෘත්ති ඡායාරූප නෙමෙයි අපි ගන්නේ. ඒ නිසා බලන කෙනාට එක පිංතූරයෙන් මේ තැන මොකක්ද කියලා පැහැදිලි කරන්න මේ කාලේ අවශ්‍ය නැහැ. අපිට පුළුවන් විවිධ ආකාරයෙන්, කෝණ වලින්, විවිධ ආලෝක තත්ත්ව වලින් පොටෝ ගන්න. හැමෝම පොටෝ ගහන්නේ හොඳට ආලෝකය තියෙන වෙලාවක නම් අපිට පුළුවන් උදෑසන හෝ හැන්දෑවේ එතැන තත්ත්වය ඡායාරූපයට ගන්න උත්සාහ කරලා බලන්න.
3. පොටෝ සපෝටිව් බඩු වල සහාය ගනිමු
ඩී එස් එල් ආර් කැමරාවක් නම් ඒකට සූම් ලෙන්ස් ගන්න පුළුවන්. ඒ වගේම ෆික්ස් කරන්න ට්‍රයිපොඩ් තියෙනවා. තව ෆිල්ටර්ස් ආදිය තියෙනවා. ඒ දේවල් එක වැඩකට නෙමෙයි, ටිකක් නිර්මාණශීලීව හිතුවොත් විවිධ විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඇපල් අයිෆෝන් එකේ වුණත් ඇතුළේ කැමරා ඇප් එකේ විවිධ ආකාරයේ ෆිල්ටර්ස් ගොඩක් තියෙනවා. ගන්න පොටෝ හරි පොදු ඒවා වගේ දැනෙනවා නම් හිමිහිට අර ෆිල්ටරයක් දෙකක් පාවිච්චි කරලා බලන්න පුළුවන්.
4. ආපු කාණ්ඩෙත් බලමු
සංචාරකයෝ පිරිලා නම් එයාලට අපිට පොටෝ ගන්න කල් ඈත් වෙන්න කියන්න බැහැ.ඒ වගේ වෙලාවට සංචාරකයින් හිටියත් ලස්සනට පේන අවුලක් නැතිවෙන පොටෝ ටිකක් ගහගන්න ඕනා වෙනවා. සමහර විට කුඩා දරුවන්, වයසක අය, සුන්දර ගෑනු ළමයි කෙලින්ම ඔබේ පොටෝවට සිනා නොවුණත් ඒ හරහා කදිම සේයාරූ ඔබට සටහන් කරගන්නට පුළුවන් වෙයි. මෙතැනදි කෙලින්ම සංචාරකයින් ෆෝකස් කරන්නේ නැහැ. ඒත් ඔවුන් මග හරින්නට ලොකු උත්සාහයක් ගන්නේ නැති පොටෝ වල සටහන් වෙන ඔවුන් හැමවිටම බාධාවක් වෙන්නෙත් නැහැ.
5. අවට ජන ජීවිතයට තැනක් දෙමු
අපි නාගරික ස්ථානයක් බලන්න ගියා නම් එතැන ඒ අදාළ තැන සහ වස්තු වගේම ඒ හා බැඳුන වර්තමාන ජන ජීවිතයකුත් තියෙනවා දකින්න පුළුවන්. පුරාවිද්‍යා ස්ථානයක් වුණත් එහෙමයි. ඒ හා බැඳුන දේවල් ඇතැම් විට කෙලින්ම ඒ ස්ථානයටත් වඩා ආකර්ෂණයක් ගේනවා. උදාහරණ විදිහට දළදා මාළිගාව පෙරහැර කාලෙට බලන්න ගියොත් ඒ මාළිගාව අවට බැඳලා ඉන්න අලි ඇත්තු ඔයාලට හොඳ ඡායාරූප ගොඩකට මග කියාවි. ඒ වගේම කතරගම ගියා නම් කිරිවෙහෙර වගේම මග තියෙන මල් කඩ වල මල් ගන්න කියා බලකරන යුවතියන් හොඳ ඡායාරූපයක් කරගන්න ඔයාලට පුළුවන්.
6. කුඩා දේ ලොකු කරමු
පුරාවිද්‍යා ස්ථානයක් ආදිය බලන්න ගියාම අපි බලන ප්‍රධානම දේට අමතරව කුඩා කුඩා දේවලත් අමුතු ගතියක් තියෙනවා. ඒ වගේම සතුන් බලන්න ගියත් හැමෝම බලන විශාල සතුන් වගේම කුඩා ගහ කොළ, මල්, කුරුල්ලන් ආදියත් ඉන්නවා. සූම් කරන එක හොඳ පොටෝ අත්දැකීමක්. නාගරික වටපිටාවක වුණත් තිබෙන කුඩා කුඩා දේවල් ඡායාරූපයට ගන්න ලේසියි. සහ එතකොට අවට සිටින ජනයාගෙන් පොටෝවට වෙන බාධාවත් අඩු කරගන්නට පුළුවන්.
7. පොටෝ එක ඇක්ටිව් කරමු
ඉස්සර නම් වෙඩිමක හෝ අවස්ථාවක ගෲප් පොටෝ එකක් ගනිද්දි හිටවපු පිළිම වගේ තමයි අපි ඉන්නේ. ඒත් දැන් තත්ත්වය ටිකක් වෙනස්. ඒ වගේ සංචාරක ස්ථානයකට ගියා වුණත් හැම විටම එකම විදිහට පොටෝ වලට පෙනී ඉන්න කියා කාගෙන්වත් බල කිරීමක් නැහැ. දැන් කාලේ ඩිජිටල් කැමරා වල, ෆෝන් වල පොටෝ වේගෙන් ගහන්න පුළුවන් වගේම වේගෙන් ඩිලීට් කරන්නත් පුළුවන් නිසා විවිධ ඇක්ෂන් වලින්, විවිධ ආකාරයෙන් පොටෝ වලට පෙනී ඉන්නට පුළුවන්. එහෙම ගහන වෙනස් ඇඩ් සහිත පොටෝ අපිට පස්සේ කාලෙක ට්‍රිප් එකට අමතර මතක සටහන් එකතු කරාවි.
Leave a Reply