බල්ලකු පෝෂණය කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු

බල්ලන් ඇතිදැඩි කිරීම හොඳ විනෝදාංශයක්. ඒත් බල්ලා කියන්නේ සතෙක් මිස අපිට කැමති විදිහට, අපිට පහසු විදිහට හදාගන්න පුළුවන් රොබෝ කෙනෙක් නෙමෙයි. සමහර අය බල්ලාට හොඳට කන්න බොන්න දීලා පොඩි කූඩුවක දාගෙන ඉන්නවා. ඉතින් ඒ සතාට ව්‍යායාම නැති නිසා අස්ථි අවදානමට ලක් වෙනවා. නැතිනම් දියවැඩියාව වැනි රෝග තත්ත්ව වලට ගොදුරු වෙනවා. බල්ලෙක් පෝෂණය කිරීම වගේම උගේ සාමාන්‍ය ජීවන රටාව පවත්වාගන්න අපි උදව් දීමත් බොහෝ වැදගත් වෙනවා. 

 

1. බලු වර්ගය ගැන සැලකිලිමත් වීම 

ඔබ ළඟ ඉන්න බල්ලා අල්ලපු ගෙදර එකා වගේ නෙමෙයි. සාමාන්‍ය වීදි සුනඛ පැටියෙක් අරගන ලොකු කරලා හැදුවා වුණත් ඌ අනෙක් බල්ලන් කන හැම දේම කන්නේ නැහැ. ඒ ඒ වර්ගයේ බල්ලන් කැමති ආහාර තියනවා. ඒ වගේම ඇතැම් හොඳ බලු වර්ග වලට දිය යුතුම කෑම වර්ග තියෙනවා. ලංකාවේ නම් ඉහළ පෙළේ හැර බල්ලන්ට වෙනම ආහාර දීම එතරම් ජනප්‍රිය නැහැ. එහෙම හැකියාව තිබුණා වුණත් බල්ලාට ගැලපෙන ඒ වයසට, ප්‍රමාණයට ගැලපෙන ආහාර තෝරා ලබාදීම වැදගත් වෙනවා. 

 

2. මස් කටු දීම 

බල්ලාට මස් කටු දීම කලක පටන් අපි අතර තියෙන පුරුද්දක්. ඒත් මේ මස් කටු තද ඒවා එකපාර දුන්නොත් උන් ඒ කටු වලට දත් තුවාල කරගන්න ඉඩ තියෙනවා. ගෙදර බත්ම ගිල ගිල ඉන්න සුනඛයෙකුට එකපාර මස් කටු ගොඩක් දෙන්න හොඳ නැහැ. ඒ මස් කටු අමු නම් ඒ සතාට ඒ හරහා බැක්ටීරියා ආසාදන එන්න ඉඩ තියෙනවා. පිසූ මස් වල තිබෙන තියුණු කටුත් මේ සතුන්ට ගැළපෙන්නේ නැහැ. ඒ මස්කටු බඩවැල් වල පැටලී ඒවා තුවාල වෙන්නට ඉඩ තියෙනවා. 

 

3. මාළු සහ එළවළු 

මාළු ලබාදීමේදී මාළු පුරුදු නැති එකෙක්ට නම් විශාල මාළු කටු ඉවත් කරලා දෙන්නට ඕනි. ඒ වගේම මාළු කොටස් වලින් මාළු කරමල් ආදිය ඇතැම් බල්ලන්ට දිරවාගන්නට අපහසු නිසා ඒවා දීම සුදුසු වෙන්නේ නැහැ. අපි කන බත්, මාළු පිනි ආදිය බල්ලන්ට දීමේ අවුලක් නැති වුණත් බල්ලන් හොදින් පෝෂණය ලැබී ජීවත් වන්නට නම් ඒවා පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. අමතර ප්‍රෝටීන අඩංගු ආහාර ලබාදිය යුතු වෙනවා. 

 

4. උයපු මස් ලබාදීම 

උයන ලද මස් දීමේදී උයපු කුකුළු මස් බල්ලන්ට සුදුසුයි. අපි ආසා කරන තුනපහ මිරිස් රසකාරක ආදිය බල්ලන්ට අපිට වගේ අවශ්‍ය නැහැ. සොසේජස් ආකාරයේ සකසන ලද මස් ආදියේ සල්ෆේට් ආදී අමතර දේවල් අඩංගු වෙනවා. මේ සල්ෆේට් වර්ග බල්ලන්ට නිතර ආහාරයට දීම සුදුසු වෙන්නේ නැහැ. බල්ලන්ට මස් තම්බා ආහාරයට දෙනවිට ඒ සමග එළවළු සුළු ප්‍රමාණයකුත් තම්බා දෙනවා නම් එය බල්ලන්ගේ පෝෂණයට වැදගත් වෙනවා. 

 

5. බල්ලන්ට නොගැලපෙන ආහාර

 

අපේ අත්දැකීම් අනුව අපි කන ඕනිම දෙයක් බල්ලන්ට දෙන්න පුළුවන්. ඒත් ඒ විදිහට කෑම දෙන එක සුදුසු නැහැ. මධ්‍යසාර වර්ග, ළූණු, ළූණු පවුඩර්, සුදුළූණු, චොකලට්, කෝපි හෝ කැෆේන් අඩංගු ද්‍රව්‍ය, අලිගැටපේර, පාන් වැනි ආහාර බල්ලන්ට සුදුසු වෙන්නේ නැහැ. ඒ වගේම බිම්මල් සහ පළතුරු ඇට ආදී දේවලුත් බල්ලන්ට ගැලපෙන්නේ නැහැ. බල්ලන්ට ආහාර දීමේදී ලුණු දැමීමක් අවශ්‍ය වෙන්නෙ නැහැ. වැඩි ලුණු තත්ත්වය බල්ලන්ට අහිතකර ලෙස බලපානවා. 

 

6. කෑම ගැන දැනුවත් කිරීම 

ඔබට දුර ගමනක් යන්නට හෝ වෙනයම් කටයුත්තකට සුනඛයාව වෙන අයෙකු භාරයේ දමා යන්නට උවමනා නම් ඌ කන කෑම, ගන්න කැමති ආහාර සහ දෙන ආහාර ආදිය ගැන පොඩි දැනුවත් කිරීමක් කරන එක වැදගත්. ඒ වගේම බල්ලාට යම් අහිතකර තත්ත්වයක් ඇති වුණොත් බල්ලා ගත් ආහාර මොනවාද යන වග පශු වෛද්‍යතුමාට කියන්නට ඔබ සතුව දළ අදහසක් තියෙන්නට ඕනි. ඇත්තටම බල්ලාගේ කෑම ගැන එතරම් විශේෂ සැලකිල්ලක් නැතිනම් පශු වෛද්‍යවරයාට එය කෙලින්ම කියන එකත් බල්ලාගේ සෞඛ්‍යයට වඩාත් හොඳයි. 

 

7. කෑම දෙන වාර ගණන 

සාමාන්‍ය වැඩුන බල්ලෙක්ට නම් දිනකට දෙවරක් ආහාර දීම ප්‍රමාණවත් වෙනවා. කුඩා බලු පැටවුන්ට නම් නිතර බඩගිනි වෙනවා. ඒ නිසා උන්ට ගැලපෙන පරිදි සපන්නට පහසු ලෙස සැකසූ ආහාර දිනකට 4 වරක් ලබාදෙන්නට ඕනි. කිරි වර්ග එතරම්ම බල්ලන්ට ගුණ නැහැ. කුඩා බලුපැටියෙක් නම් ඌට උගේ මව්කිරි බොන්නට දීම වැදගත්. බල්ලන්ට වතුර තැබීමත් අත්‍යාවශ්‍ය කාරණාවක්. කූඩුවක ඇති කරනවා නම් වතුර බඳුන දිනපතා සෝදා මාරු කිරීම කළ යුතුම දෙයක්. මන්ද වතුර හරහා බල්ලාට වෙනත් ආසාදන ලේසියෙන්ම එන්නට පුළුවන්. 

 

බල්ලන් දැක්ක විට වඩාගන්න, තෙරපන්න සහ සෙල්ලම් කරන්න ආස හිතෙන නිසා ඇතැම් අය බල්ලන් ඇතිකරන්න ගන්නවා. ඒත් බල්ලා කියන්නේ විදුලියෙන් වැඩකරන රොබෝ කෙනෙක් නොවන බව ඔවුන් අවබෝධ කරගන්නේ නැහැ. බල්ලන් ඇතිකරනවා නම් ඔවුන්ගේ පෝෂණය ගැනත් විශේෂයෙන් අවධානය යොමු කරන්නට ඕනි. බල්ලාගේ ආහාර ගැනීමේ දැඩි ලෙස අවුලක් පේනවා නම් පශු වෛද්‍යවරයෙක්ට සතා යොමුකරලා ඒ සඳහා ප්‍රතිකාර ගැනීමත් කළ යුතුම දෙයක්. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *