කෙනෙක්ගේ පෞද්ගලික අවකාශය ආක්‍රමණය නොකර ඉන්නේ මෙහෙමයි!

ඔය පෞද්ගලික අවකාශය කියන්නේ මොකද්ද කියන එකත්, කෙනෙක් අපේ පුද්ගලික අවකාශය ආක්‍රමණය කිරීම වළකවා ගෙන, තමන්ගේ පුද්ගලික අවකාශය ආරක්ෂා කරගෙන පවත්වා ගන්නේ කොහොමද කියන එක ගැනත් අපි කලින් කියලා තියෙනවා. ඒ වගේම, මේ පුද්ගලික අවකාශය කියන්නේ ශාරීරිකව වගේම මානසිකවත් තියෙන්න ඕන සීමාවක් කියලත් අපි කියලා තියනවා.

ආයෙ මතක් කළොත්, පුද්ගලික අවකාශය කියන්නේ සරලවම අපි බාහිර ලෝකයත් එක්ක අපේ තියෙන සම්බන්ධතාවය තීරණය කරන සීමා මායිම් කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ භෞතිකව විතරක් නෙවෙයි, මානසිකවත් අපි බාහිර ලෝකය සහ අපි අතර පවත්වා ගන්නා සීමා මායිම් තමයි මේ පුද්ගලික අවකාශය කියන්නේ.

දැන් අපි අතිනුත් දැනුවත්ව හරි නොදැනුවත්ව හරි කෙනෙක්ගේ පුද්ගලික අවකාශය ආක්‍රමණය කෙරෙන්න පුළුවන් නේද? හා නැද්ද? කොහොමද කෙනෙක්ගේ පුද්ගලික අවකාශය අපි අතින් ආක්‍රමණය වීම වළක්වාගන්නේ? ආන්න ඒකට ගැලපෙන ටිප්ස් කීපයක් තමයි මේ.

 

1. අහන දේවල් වල සීමාවල්

අපි කෙනෙක් එක්ක කතා කරනකොට, අපි අහන්න ඕන විමසන්න ඕන කරුණු කාරණා තියෙනවා. අන්න එතනදී අපි සවිඥාණික වෙන්න ඕන ඇසිය යුතු දේවල් සහ නොඇසිය යුතු දේවල් ගැන. උදාහරණයක් විදියට ගත්තොත්, අපි කාන්තාවකගෙන් එයාගෙ වයස අහන්නෙ නෑ කියන එක, එතකොට පිරිමියෙක්ගෙන් එයාගේ සැලරි එක කීයද කියලා අහන්නෙ නෑ කියන එක නොඇහිය යුතු දේවල් වලට පොදු උදාහරණනේ. හැබැයි එතනින් නතර වෙන්න එපා. අපි තව අහන්න අවශ්‍ය නැති, ඒත් ශ්‍රී ලංකාවේ ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්න තියෙනවා. තාම බැන්දෙ නෑ නේද, දැන්ම බඳින්න අදහසක් නැද්ද, තාම බබාලා නෑ නේද, බබාලා හදන්න අදහසක් නැද්ද, පොඩ්ඩක් ඇඟ වැඩියි නේද, ජිම් එකකට එහෙම යන්න හිතන්නෙ නැද්ද වගේ ප්‍රශ්න ඇත්තටම තමන් ඇසිය යුතුද, අහන්න අදාළද කියලා පොඩ්ඩක් හිතලා බලන්න.

 

2. කියන දේවල් වල සීමාවල්

උඩ කියපු කාරණාව වගේම, මෙන්න මේ කාරණාවත් තරයේම සිහියේ තියාගන්න ඕන, කෙනෙක්ගේ පෞද්ගලික අවකාශය අපි අතින් ආක්‍රමණය නොවෙන්න නම්. එතනදී අපි අහන දේවල් වගේම, කියන දේවලුත් අදාළ වෙනවා. අපි කෙනෙක් එක්ක කතාබහ කරනකොට, අපි කිව යුතු දේවල් සහ නොකිව යුතු දේවල් වල සීමාව ගැන පැහැදිලි අවබෝධයක් අපිට තියෙන්න ඕන. උදාහරණයක් විදියට, අපි අපේ ගෙදර අඬදබර ගැන ඒ තරම් දන්නෙ නැති කෙනෙක් එක්ක දිගින් දිගටම කතා කරනකොට, ඒ කෙනා අපහසුතාවයට පත් වෙනවා. එතකොට අපි කිසිම සමීප හිතවත්කමක් හෝ අපිත් එක්ක විශේෂ මානසික බැඳීමක් නැති කෙනෙක් එක්ක අපේ දුක කියන්න ගියොත්, ඒ කෙනා අපහසුතාවයට පත් වෙනවා. ඒ විතරක් නෙවෙයි, කෙනෙක් එක්ක කතා කරන්න ගිහින් අපි දිගින් දිගටම, නොනවත්වාම අපේ පම්පෝරිය කියවන්න ගියොත්, අන්න එතනදීත් කෙනෙක් අපහසුතාවයට පත් වෙනවා. මෙන්න මේ නිසා, අපි කියන දේවල් වලදී පරිස්සම් වෙන්න ඕන, තව කෙනෙක්ගේ පෞද්ගලික අවකාශය අපි කියන දේවලින් ආක්‍රමණය නොවෙන්න.

 

3. ලිංගිකත්වය ගැන කතා කරනකොට

මේක ගොඩක් වෙලාවට සිද්ධ වෙන්න පුළුවන් දෙයක්. ලිංගිකත්වය කියන්නේ අනිවාර්යයෙන්ම විවෘතව කතා කළ යුතු, විවෘතව දැකිය යුතු විෂයක්. ඒකේ ආයෙ දෙකක් නෑ. හැබැයි අපි හරියට පරිස්සම් වෙන්න ඕන, ලිංගිකත්වය සම්බන්ධයෙන් අපි විවෘත වෙන්නේ කවුරු එක්කද, ඒ කෙනා අපිත් එක්ක ලිංගිකත්වය සම්බන්ධයෙන් විවෘත වෙන්න කැමතිද, සූදානම් ද කියන එක ගැන. මොකද, අපි එකිනෙකාගේ ලිංගික ජීවිතය ගැන කතා කරන එක තියා, පොදුවේ ලිංගිකත්වය විෂයක් විදියට, සමාජ දැනුමක් විදියට කතා කරන්න ගත්තත්, ඒ කතා කරන්න ඕන ඒ ගැන කතා කරන්න ගැටළුවක් නැති කෙනෙක් එක්ක. ඒ ගැන කතා කරන එක අසීරුයි කියලා හිතෙන කෙනෙක් එක්ක ලිංගිකත්වය කතා කරන්න යනවා කියන්නෙම අපි එයාගේ පෞද්ගලික අවකාශය ආක්‍රමණය කිරීමක්. එතකොට තව කෙනෙක් අපිට අතිශය සමීප නැතිනම්, එයා මේ දේවල් ගැන කතා කරන්න සූදානමකුත් නැතිනම්, එයාගේ ලිංගික ජීවිතය ගැන අහන එක, ඒ වගේම අපේ ලිංගික ජීවිතය ගැන එයාට කියන එක පවා පෞද්ගලික අවකාශය උල්ලංඝනය කිරීමක් විදියට තමයි ගන්න වෙන්නේ!

 

4. හරියට රීඩ් කරගන්න

මෙන්න මේක ටිකක් අමාරු තැනක්. කෙනෙක්ගේ පෞද්ගලික අවකාශය අපේ අතින් උල්ලංඝනය වෙන්න පුළුවන්, ඒ කෙනා අපි නිසා අපහසුතාවයට පත් වෙන ඕනෑම අවස්ථාවකදී.  උදාහරණයක් විදියට ගත්තොත්, අපි හිතමු ඔන්න කවුරුහරි කෙනෙක් අපිත් එක්ක සුහදව කතා බස් කරනවා. අපිව ආශ්‍රය කරන්න කැමතියි කියලා පෙන්නනවා. දැන් ඒ කෙනා අපි ගැන විශේෂ උනන්දුවක් තියෙනකොට, අපි හිතනවා, ඒකෙන් කියන්නේ ඒ කෙනා අපිට කැමතියි, ඒ කියන්නේ අපිත් එක්ක සම්බන්ධයකට යන්න පවා කැමතියි කියන එක කියලා. ආන්න පරිස්සම් වෙන්න ඕන තැන. ඇත්තටම ඒ කෙනාගේ හිතේ තියෙන්නේ අපි ගැන මිත්‍රත්වයක් විතරක් වෙන්න පුළුවන්. එහෙම තියෙනකොට අපි ඊට එහා ගියපු දෙයක් යෝජනා කරනකොට එයා අසීරුවට, අපහසුතාවයට පත් වෙන්න පුළුවන්. අන්න ඒ නිසා, කෙනෙක් අපි ගැන හිතන දේ උපකල්පනය කරන්න කලින්, ඒ කෙනාව හරියට රීඩ් කරගැනීම වැදගත්.

හැබැයි ඔය අතරේ ඉන්නවා සමහර වෙලාවට මිනිස්සුන්ට කැමතියි, සම්බන්ධෙකට යන්න වුනත් කැමතියි වගේ පෙන්නගෙන ඉඳලා, එහෙම දෙයක් ගැන අපි ඇහුවහම හරියට ඔෆෙන්ඩ් වෙලා රට වටේ කියන මිනිස්සුත්. හැබැයි උඩ කියපු විදියට, හරියට කෙනෙක්ව රීඩ් කරලා, හරි විදියට දේවල් සන්නිවේදනය කරනවා නම්, අන්න ඒ වගේ උගුල් වලිනුත් බේරිලා ඉන්න පුළුවන්!

 

5. හග් කරනවද, කිස් කරනවද?

මෙන්න මේකත් පෞද්ගලික අවකාශය ගැන කියනකොට ඉතාම වැදගත් දෙයක්. ඒ තමයි කෙනෙක්ගේ ශාරීරික සීමාවන් උල්ලංඝනය නොකිරීම. සමහරු ඉන්නවා ස්වභාවයෙන්ම හරිම මිත්‍රශීලීයි, බොහොම උණුසුම්. එහෙම අයට තව මනුස්සයෙක්ව වැළඳගන්නවා කියන එක, පිටට තට්ටුවක් දානවා, කරට අතදානවා කියන එක ලොකු අවුල් සහගත දෙයක් නෙවෙයි. ඒකෙන් ගොඩක් දුරට ඒ අය නරක දෙයක් අදහස් කරන්නෙත් නෑ. හැබැයි මතක තියාගන්න, අනික් කෙනා ඒකෙන් අපහසුවට පත් වෙන්න පුළුවන්. අන්න ඒ නිසා, අතිශයින්ම සමීප කෙනෙක් නෙවෙයි නම්, තමන් අනික් අයත් එක්ක පවත්වන ශාරීරික ආචාර සමාචාරය ආයුබෝවන් කීමකට හරි අතට අත දීමකට හරි සීමා කරන්න. එතනින් එහාට හග් කරන්න හෝ කිස් කරන්න යන්න එපා, කිසිම කෙනෙක්ගේ අවසරයකින් තොරව. තමන් වගේම හග් එකක් කියන්නේ බොහොම සුන්දර මනුෂ්‍ය බැඳීමක සංකේතයක් කියලා හිතන විදියේ මනුස්සයෙක්ව කිසිම පැකිළීමක් නැතුව හග් කරන්න. හැබැයි ඕනම කෙනෙක් එහෙමයි කියලා උපකල්පනය කරන්න නම් යන්න එපා.

 

6. තරහා පාලනය කරගන්න වෙනවා

අපි තව කෙනෙක්ගේ පෞද්ගලික අවකාශය නොහිතාම උල්ලංඝනය කරන අවස්ථාවක් තමයි අපිට තරහ ගිහිල්ලා, අපේ පාලනය අපේ අතින් ගිලිහුණු වෙලාවට. ඒ වෙලාවට අපි කෙනෙක්ට අත උස්සනවා කියන්නේම බරපතල වැරැද්දක් වගේම ඒ කෙනාගේ පෞද්ගලික අවකාශය උල්ලංඝනය කිරීමක්. ඒ වගේම, අපිට තරහ ගිහිල්ලා නිසාම කෙනෙක්ව වාචික හිරිහැරයට ලක් කරනවා කියන්නෙත් ඒ කෙනාගේ පෞද්ගලික අවකාශය අපි උල්ලංඝනය කරනවා, ආක්‍රමණය කරනවා කියන එකම තමයි. ආන්න ඒ නිසා හොඳම දේ තමයි හැකිතාක් දුරට තමන්ගේ තරහා පාලනය කරගන්න උත්සාහ ගන්න එක.

 

7. එපා නම් එපා

දැන් හිතන්න, අපේ ඉස්සර ඉඳන් හොඳම යාලුවෙක් ඉන්නවා, එයා අපිත් එක්ක තරහ වෙනවා. එහෙම නැතිනම් යාලුකම් අත්හරිනවා. අපි එතකොට මොකද කරන්නේ? අපි එක්කෝ ට්‍රයි කරනවා ආයෙමත් යාලුකම ඇති කරගන්න, කෝල් කර කර, මෙසේජ් කර කර පස්සෙන් යනවා. නිකමට හිතලා බලන්න, ඒක ඇත්තටම ඒ කෙනාගේ පෞද්ගලික අවකාශය අපි අතින් උල්ලංඝනය වීමක් නෙවෙයිද? අපි තව උදාහරණයක් ගමු. ඔන්න ෆේස්බුක් එකේ ඉන්න අපේ ෆ්‍රෙන්ඩ් කෙනෙක්ට අපි හායි කියලා මෙසේජ් කරනවා. උත්තර නෑ. ආයෙත් හායි ඩියර් කියනවා. උත්තර නෑ. ඊලඟට අහනවා ඇයි කතා නැත්තේ කියලා. ඒකටත් උත්තර නෑ. දැන් ඔහොම කෙනෙක්ට දිගට දිගට මෙසේජ් කරන එක, උත්තර නැතුව තියෙනකොටත් දිගින් දිගට චැට් මෙසේජ් යවන එක ඇත්තටම ඒ කෙනාගේ පෞද්ගලික අවකාශය උල්ලංඝනය කිරීමක් තමයි. ඒ විතරක් නෙවෙයි, ඒක තමන්ගේ තියෙන ආත්ම ගෞරවයත් කෙළෙසා ගැනීමක්. අන්න ඒ නිසා, කෙනෙක්ට අපිව එපා නම්, ඒක එක පාරක් දෙපාරක් කතා කරලා විසඳගන්න හැදුවට කමක් නෑ. හැබැයි එතනින් එහාට එපා නම් අපිටත් එපා කියන තැන ඉන්න. සෝෂල් මීඩියා වලත් එච්චර තමයි. කෙනෙක්ට චැට් කරලා රිප්ලයි නැතිනම්, ඒ කෙනාගේ පෞද්ගලික අවකාශය ආක්‍රමණය කරලා දිගින් දිගට මෙසේජ් නොකර, තමන්ගේ ආත්ම ගෞරවයත් තියාගෙන, එපා නං එපා කියලා ඉන්න. එච්චරයි!

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *