අපි සෙක්ස් ගැන කතා කරනකොට අවධානය යොමු කරන්න ඕන එක පැතිකඩක් තමයි එක් එක් මනුස්සයාගේ සෙක්ෂුවල් ඔරියන්ටේෂන් එක නැතිනම් ලිංගික නැඹුරුතාවය මොකද්ද කියන එක. ඇත්තටම කෙනෙක්ගේ සෙක්ෂුවල් ඔරියන්ටේෂන් එක වැදගත් වෙන්නේ ඒ මනුස්සයාට සහ එයාගේ පාට්නර්ට විතරයි. හැබැයි එහෙම වුණාට, ලෝකේ තියෙන ලිංගික නැඹුරුතාවයන් මොනවද කියලා තේරුම් අරගෙන ඉන්න එක අපි හැමෝටම වැදගත් වෙනවා.
දැන් ඔය ලිංගික නැඹුරුතාවයන්ගෙන් එකක් තමයි ද්විලිංගිකත්වය නැතිනම් බයිසෙක්ෂුවැලිටි කියන්නේ. අපි කලිනුත් කතා කරලා තියෙනවා බයිසෙක්ෂුවල් පාට්නර් කෙනෙක් එක්ක ජීවිතේ ගෙනියනකොට තේරුම් අරගෙන ඉන්න ඕන කරුණු ගැන. ඒ ඇරෙන්න, ඇත්තටම අපි බයිසෙක්ෂුවලිටි ගැන හැමදේම දන්නවද? අපේ පාට්නර් ද්විලිංගික නැඹුරුතාවය නැතිනම් බයිසෙක්ෂුවල් ඔරියන්ටේෂන් එක තියෙන කෙනෙක් වුණොත්, අපි එයාව පිළිගන්න තරම් කරුණු දන්නවද? ආන්න ඒ ප්රශ්නය වැදගත්. අපි දෙයක් ගැන දන්නා තරමට, අපි ඒ දේ ගැන අමුතුවට හිතන්නෙ නෑ. අන්න ඒ නිසා තමයි අපි හිතුවේ, බයිසෙක්ෂුවලිටි එක ගැන ගොඩක් අය දන්නෙ නැති වෙන්න පුළුවන් කරුණු කීපයක් බෙදාහදාගන්න.
1. කාන්තාවෝ වැඩියි ද?
මීට අවුරුදු ගණනාවකට කලින් කරපු යම් යම් සමීක්ෂණ වල ප්‍රතිඵලයක් විදියට ප්‍රසිද්ධ වුණු කාරණයක් තමයි, ද්විලිංගික නැඹුරුතාවය සලකන කොට, බයිසෙක්ෂුවල් පිරිමින්ට වඩා, බයිසෙක්ෂුවල් කාන්තාවන් වැඩියි කියන එක. වෙනත් විදියකට කියනවා නම්, පිරිමියෙක්ට වඩා වැඩි ප්‍රතිශතයකින් කාන්තාවන් බයිසෙක්ෂුවල් ලිංගික නැඹුරුතාවය වැළඳගන්න තියෙන ඉඩ වැඩියි කියන එක. ඒ වගේම, හෝමෝසෙක්ෂුවල්ම නොවෙන, ඒ කියන්නේ විරුද්ධ ලිංගිකයන් එක්කත් සෙක්ස් කරන, ඒත් ගැටවර අවදියේ තමන්ගේම ස්ත්‍රී පුරුෂ භාවයේ කෙනෙක් එක්ක සෙක්ස් කරලා තියෙන අය ගත්තහමත්, කාන්තාවන් එතනදී ඉස්සරහින් ඉන්නවා කියලා තව අධ්‍යයනයකින් කියවෙනවා. හැබැයි මේ වෙනකොට ඔය සීමාවන් වෙනස් වෙලා තියෙන්න පුළුවන්!
2. හෙටරොසෙක්ෂුවල් ෆැන්ටසි
ඇත්තටම මේක සමහර හෙටරොසෙක්ෂුවල් පිරිමින්ගේ සිහිනයක්! ඒ කියන්නේ බයිසෙක්ෂුවල් කාන්තාවක් එක්ක සෙක්ස් කරන්න ලැබෙන එක. ඒකට හේතුව, පිරිමි හිතනවා බයිසෙක්ෂුවල් කාන්තාවක් එක්ක සෙක්ස් කරනකොට, කරදරයක් නැතුව තව කාන්තාවක් එක්ක ත්‍රීසම් එකක් වුණත් කරන්න අවස්ථාව ලැබෙයි කියලා. ඔය ලෙස්බියන් පෝර්න් වලට ගොඩක් පිරිමි ආසයි කියන එක බොරුවක් නෙවෙයිනේ. ඔව්, ඒක බොරුවක් නෙවෙයි. බයිසෙක්ෂුවල් කාන්තාවක් පාට්නර් වුණොත්, තව කාන්තාවක් සෙට් කරගෙන ත්‍රීසම් එකක් කරන්න පුළුවන් තමයි. හැබැයි එක ප්‍රශ්නයක් තියෙනවා. ටෙක්නිකලි එහෙම වැඩකට කාන්තා පාට්නර් බයිසෙක්ෂුවල් වීම අවශ්‍ය වුණාට, ඒක විතරක් මදි. එයා ත්‍රීසම් වගේ කන්සෙප්ට් එකකට කැමති වෙන්නත් ඕන. හොඳට මතක තියාගන්න, බයිසෙක්ෂුවල් කෙනෙක් වුණු පළියට ත්‍රීසම් එකකට කැමති වෙන්නෙ නෑ. බයිසෙක්ෂුවල් කියන්නේ ලිංගික නැඹුරුතාවයක්. ත්‍රීසම් වලට කැමති වීම කියන්නේ සමහරුන්ට තියෙන්න පුළුවන්, සමහරු අකමැති වෙන්න පුළුවන් සෙක්ෂුවල් ෆැන්ටසි එකක්. ඒ දෙක දෙකක්. බයිසෙක්ෂුවල් නං ත්‍රීසම් කොහොමත් ඕකේ වගේ මානසිකත්වයක ඉන්න හදන්න එපා!
3. කාලෙකට වෙන දෙයක් නෙවෙයි
බයිසෙක්ෂුවලිටි ගැන ගොඩක් අය දරණ වැරදි මතයක් තමයි මේක. අර හිරේ ගියොත් සමරිසි වෙනවා කියලා හිතනවා වගේ, ගොඩක් අය හිතනවා, ඔය ඉස්කෝලෙ යන කාලේ එහෙම කොල්ලො කොල්ලො නැතිනම් කෙල්ලො කෙල්ලො පොඩි පොඩි සීන් තිබ්බට, ඕවා පහුවෙනකොට ඇරිලා යනවා වගේ දේවල්. ඇත්තටම එහෙම එකක් නෑ. කෙනෙක් ඉස්කෝලෙ කාලේ තමන්ගේම ලිංගික අනන්‍යතාවය තියෙන කෙනෙක් එක්ක පොඩි සෙක්ස් සීන් එකක් තිබුණත්, පස්සෙ කාලෙක විරුද්ධ ලිංගික අනන්‍යතාවය තියෙන කෙනෙක් එක්ක දෙයක් පටන් අරගෙන, ඒක දිගටම කරගෙන යන්න පුළුවන්. හැබැයි ඒකෙන් කියන්නේ එයා හෙටරොසෙක්ෂුවල්, ඔය ඉස්කෝලෙ කාලේ කුතුහලේට කරපු දෙයක් කියන එක නෙවෙයි. එයා බයිසෙක්ෂුවල්. හැබැයි එයා තමන්ගේ පාට්නර් විදියට ජීවිතකාලෙම විරුද්ධ ලිංගිකයෙක් එක්ක ජීවත් වෙන්න තෝරගන්න පුළුවන්. වෙන ඕනම මනුස්සයෙක් සම්බන්ධයෙන් වගේ, අන්න ඒකත් තෝරාගැනීමක් තමයි.
4. මට කලින් ගෑණියෙක් එක්කද හිටියේ?
මේක ඇත්තටම ගොඩක් දෙනෙක් නොදන්නා කාරණාවකට වඩා, නොහිතන කාරණාවක්. දැන් සමහරු අකමැතියි තමන් ආදරේ කරන කෙනා එයාගේ පරණ ලව් ගැන එහෙම කියනවට. හැබැයි සමහරු ආසයි තමන්ගේ පාට්නර්ගේ ලිංගික ඉතිහාසය ගැන දැනගන්න. හැබැයි අපි සිහියේ තියාගන්න ඕන අනික් පැත්තේ කාරණාව තමයි. සමහරු ඕකේ තමන්ගේ ලිංගික ඉතිහාසය ගැන කතා කරන්න. හැබැයි සමහරු තමන්ගේ ලිංගික ඉතිහාසය ගැන කතා කරන්න කැමැත්තක් නැතිවෙන්න පුළුවන්. දැන් තමන්ගේ පාට්නර් බයිසෙක්ෂුවල් නං, එයාගේ ලිංගික ඉතිහාසය ගැන අහලා වද දෙන එක, මට කලින් හිටියේ කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියලා දැනගන්න කුතුහලයෙන් යුක්ත වෙන එක පොඩ්ඩක් අවුල්. එයා කියන්න කැමති නම්, ඔයා අහන්නත් කැමති නම් ගැටළුවක් නෑ. එයා කියන්න අකමැති නම් හාරාඅවුස්සන්න යන්න එපා!
5. පිරිමි කමේ අඩුවක් වෙයිද?
මේකත් ඇත්තටම ගොඩක් දෙනෙක් මේ ලිංගික නැඹුරුතාවයන් ගැන දන්නෙ නැති නිසා හිතාගන්න දෙයක්. උදාහරණයක් විදියට, සමාජයේ තියෙන දුර්මතයක් තමයි, ගේ කෙනෙක් නං පොඩි කාන්තා ගතියකින් යුක්ත කෙනෙක්, ලෙස්බියන් කෙනෙක් නම් පිරිමි අඳින පළඳින විදියට ඇඳලා පැළඳලා ඉන්න, පිරිමි ගතියෙන් යුක්ත කෙනෙක් කියන එක. ඇත්තටම ඒක වැරදි අදහසක්. කෙනෙක්ගේ හැසිරීම සහ ස්වභාවය උපතේ ඉඳන් විවිධ දේවල් නිසා වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ලෙස්බියන් නං කොල්ලෙක් වගේ, ගේ නං කෙල්ලෙක් වගේ කියන ස්ටීරියෝටයිප් එකේ කිසිම පදනමක් නෑ. ආන්න ඒ විදියටම, කොල්ලෙක් බයිසෙක්ෂුවල් කියලා පිරිමි ගතිය අඩු වෙන්නෙ වත්, කෙල්ලෙක් බයිසෙක්ෂුවල් කියලා ගැහැණු ගතිය අඩු වෙන්නෙවත් නෑ! ඒ නිසා, බයිසෙක්ෂුවල් කියන ලිංගික නැඹුරුතාවය කෙනෙක්ගේ පෞරුෂත්වය මනින සාධකයක් කරගන්නත් එපා!
6. මානසික ආතතියට හේතුවක්?
ඇත්තටම දිවි නසා ගැනීම් ගත්තහමත්, යෞවන පරම්පරාවේ සමරිසි යෞවන යෞවනියන්ටත් වඩා, ද්විලිංගික යෞවන යෞවනියන් දිවි නසා ගන්න ඉහළ ප්‍රතිශතයක් තියෙනවා කියලා සමහර අධ්‍යයනයන් වලින් කියවෙනවා. මේක ඇත්තටම අපි අවධානයට ගන්න ඕන කාරණාවක්. ඒකෙන් කියන්නේ බයිසෙක්ෂුවල් අය අතරේ මානසික ආතතිය, විෂාදය වගේ දිවිනසාගන්න පොළඹවන දේවල් වැඩියි කියන එකනේ. හැබැයි ඒකෙන් කියන්නේ බයිසෙක්ෂුවල් වීම විෂාදයට හෝ මානසික ආතතියට හේතුවක් කියන එක නෙවෙයි. ඊට වඩා, බයිසෙක්ෂුවල් කියන එකට සමාජය තුළ තියෙන පිළිගැනීම, තත්ත්වය තමයි විෂාදයට හෝ මානසික ආතතියට හේතුවක් වෙන්නේ කියන එක තමයි මේ කාරණෙන් කියවෙන්නේ. අන්න ඒක විසඳගන්න පුළුවන් සරලම ක්‍රමය තමයි, බයිසෙක්ෂුවල් කියන්නේත් වෙනත් ඕනෑම තත්වයක් වගේ සාමාන්‍ය තත්ත්වයක් කියන එක අවබෝධ කරගැනීම. වෙනස් කොට සැලකීම්, කොන් කිරීම්, ස්ටීරියෝටයිප් කිරීම් නවත්තන එක. අන්න එතකොට, කෙනෙක්ට තමන් බයිසෙක්ෂුවල් කියලා ආතතියට පත්වෙන්න අවශ්‍ය වෙන්නෙ නෑ!
7. විවෘත විවාහයන්
මේකත් ගොඩක් දෙනෙක් දන්නෙ නැති කාරණාවක් වෙන්න පුළුවන්. ඒ තමයි, දැන් ලෝකේ විවෘත විවාහයන් කියලා සංකල්පයක් තියෙන බව. උදාහරණයක් විදියට ගත්තොත්, බයිසෙක්ෂුවල් පිරිමියෙක්ව බැඳලා ඉන්න කාන්තාවක් හිතනවා, තමන්ගේ හස්බන්ඩ්ගේ ලිංගික නැඹුරුතාවය එයාට ගවේෂණය කරන්න ඉඩ දුන්නට කමක් නෑ කියලා. ඒ කියන්නේ, එයා පිරිමියෙක් එක්කත් සෙක්ස් කළාට කමක් නෑ කියලා. හැබැයි මතක තියාගන්න, ගොඩක් වෙලාවට මේ තත්ත්වයේදී වෙන්නේ දකින දකින පිරිමි එක්ක හෝ දකින දකින ගැහැණු එක්ක සෙක්ස් කරන එකට ඕකේ වීම නෙවෙයි. ඊට වඩා පාට්නර් කෙනෙක් එක්ක ඉඳීම. හැබැයි ඒක වෙනස් වෙන්නත් පුළුවන් ඒ ඒ කෙනාගේ කැමැත්ත අනුව. හැබැයි තව දෙයක්. විවෘත විවාහයන් කියන එක හෙටරොසෙක්ෂුවල් දෙන්නෙක් අතරත් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ, තමන් දෙන්නා විවාහ වෙලා ඉන්නවා, හැබැයි තවත් අය එක්ක ලිංගිකත්වය අත්හදා බලනවට දෙන්නගේම විරුද්ධත්වයක් නැහැ කියන කන්සෙප්ට් එකේ ඉන්න පුළුවන්.
අපි අවසානයට මතක තියාගන්න ඕන එක දෙයයි. බයිසෙක්ෂුවල්ද හෙටරොසෙක්ෂුවල්ද කියන එක මනුෂ්‍යත්වයට අදාළ නෑ. කෙනෙක්ගේ ලිංගික නැඹුරුතාවය බයිසෙක්ෂුවල් හෝ හෙටරොසෙක්ෂුවල් වුණා කියලා, ඒ අය කිසිම කෙනෙක් සමාජයේ ඉන්න වෙනත් කිසිම කෙනෙක්ගෙන් වෙනස් වෙන්නෙත් නෑ. ඒ හැමෝම ආදරේ කරන, ආදරේ හිතෙන, සතුටු හිතෙන, දුක හිතෙන මිනිස්සු. අන්න ඒක අවබෝධ කරගන්න පුළුවන් නම් හරි.
Leave a Reply