පොල් වලින් පහසුවෙන්ම ඩෙසිකේටඩ් කොකනට් හදාගෙන මේ කෑම හදලා බලන්න

පොල් එහෙම ටික ටික ගණන් යන කාලයක්නෙ. ඩෙසිකේටඩ් කොකනට් කියන්නෙ එක විදියකින් ගත්තම පොල් කල් තියාගන්න පුළුවන් විදියක්. අනිත් අතට සාමාන්‍ය පොල් වලට වඩා ඩෙසිකේටඩ් කොකනට් වලින් හදාගන්න පුළුවන් රස කෑම ගොඩකුත් තියෙනව. ඉතින් ලයිෆි අපි අද හිතුවා ඔයාලට ඩෙසිකේටඩ් කොකනට් ගෙදරම හදාගන්න හැටි එක්ක රස රෙසිපි ටිකකුත් අරන් එන්න. 

 

1. ඩෙසිකේටඩ් කොකනට් ගෙදරදිම හදන විදිය

  • කලටි නොවන පැහුණ පොල් ගෙඩි 1ක් ගන්​න
  • පොල් ගෙඩිය දෙකට පලාගන්න. මිටියකින් වටේට තට්ටු කරලා වටෙන්ම හෙමීට කට්ටෙන් පොල් මදය ගලවාගන්න. 
  • දැන් පොල් මදේ වටේට තියන දුඹුරු කොටස සූරලා අයින් කරගන්න. දැන් මේක පොඩි කෑලි වලට කපාගන්න. ග්‍රයින්ඩර් එකට දාලා හොඳට ග්‍රයින්ඩ් කරගන්න. 
  • දැන් පොල් ටික පෑන් එකකට දාලා ඉතාම අඩු ගින්දරේ කබලේ බැදගන්න. පොල් ටික වේලෙනකල්  හැඳිගාන්න. අඩිය අල්ලන්න හෝ පොල් ටික රන්වන් පාට වෙන්න නොදී ලිප නිවාගන්න. 

 

2. චොක්ලට් බාර්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ඩෙසිකේටඩ් කොකනට් කෝප්ප 2
  2. ටින්කිරි කෝප්ප 1

 

චොකලට් තැවරීමට

 

  • ඩාක් චොකලට් ග්‍රෑම් 100

 

  • ඩෙසිකේටඩ් කොකනට් වලට ටින්කිරි දාලා හොඳට කලවම් කරගන්න. හොඳට කලවම් උනාට පස්සෙ මේක හතරැස් භාජනයකට දාලා ලෙවල් කරලා පැය 2ක් ෆ්‍රීස් කරගන්න. 
  • ඒ අතරෙ චොකලට් ටික ඩබල් බොයිල් කරගන්න. ෆ්‍රීස් කරපු කොකනට් ස්ලැබ් එක අරන් තරමක කෑලි කපාගන්න. මේක චොකලට් වල ඩිප් කරලා චොකලට් බේරෙන්න තියලා තවත් පැය 2ක් ෆ්‍රීස් කරගන්න. 

 

3. කොකනට් කුකීස්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ඩෙසිකේටඩ් කොකනට් කෝප්ප 1/2
  2. අයිසින් ෂුගර් කෝප්ප 1/2
  3. පාන්පිටි කෝප්ප 1
  4. මෙල්ටඩ් බටර් කෝප්ප 1/2
  5. බේකින් පව්ඩර් තේ හැඳි 1/2
  6. කිරි මේස හැඳි 2
  7. තවරාගන්න වෙනම ඩෙසිකේටඩ් කොකනට් ටිකක්

 

  • අයිසින් ෂුගර් ටික බෝල් එකකට දාගන්න. මේකට බටර් දාලා හොඳට විස්ක් කරගන්න. ටිකකින් පාන්පිටි දාලා ඩෙසිකේටඩ් කොකනට් ටික හා බේකින් පව්ඩර් ටිකත් දාගන්න. මේකට කිරි ටිකත් දාලා හොඳට අනලා බෝල හදගන්න. 
  • දැන් අතින් තුනී කරලා ඩෙසිකේටඩ් කොකනට් වල තවරලා බටර් ගාගත් ට්‍රේ එකක අතුරගන්න. සෙල්සියස් අංශක 180ට විනාඩි 20ක් බේක් කරගන්න. 

 

4. පොල් සම්බෝල

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ඩෙසිකේටඩ් කොකනට් කෝප්ප 1
  2. වතුර කෝප්ප 1/4
  3. මිරිස්කුඩු තේ හැඳි 1
  4. ලුණු 
  5. කපාගත් රතුළූණු ගෙඩි 2-3
  6. දෙහි යුෂ

 

  • ඩෙසිකේටඩ් කොකනට් වලට වතුර ටික දාලා තප්පර 30ක් මයික්‍රොවේව් කරගන්න. 
  • දැන් මේකට අනික් සියල්ලම දාලා රස බලලා අතින් අනාගන්න. කැමති නම් බ්ලෙන්ඩ් කරන්නත් පුළුවන්. 

 

5. පොල් ටොෆී

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ඩෙසිකේටඩ් කොකනට් ග්‍රෑම් 200
  2. සීනි ග්‍රෑම් 300
  3. ලුණු පින්ච් එකක්
  4. පොල්කිරි මේස හැඳි 6
  5. වැනිලා ස්වල්පයක් 
  6. ‍ටින්කිරි මේස හැඳි 3
  7. කලරින් ස්වල්පයක් 

 

  • ඩෙසිකේටඩ් කොකනට් ටික පොඩ්ඩක් ග්‍රයින්ඩ් කරගන්න. මේකට පොල්කිරි දාලා කලවම් කරලා ලුණු, සීනි, පොල්කිරි දාලා ලිපේ තියලා හැඳිගාන්න. 
  • මේකට ටින්කිරි ටික දාලා එක ගුලියක් වගේ වෙනකල් හොඳට හැඳිගාන්න. 
  • ගුලියක පදමට ආවම මේක ලිපෙන් බාලා බටර් ගාගත් ට්‍රේ එකකට දාලා ලෙවල් කරගන්න. ටිකක් හයි උනාම අඟලෙ සයිස් කෑලි කපාගන්න. 

 

6. කිටෝ කොකනට් මැකරූන්ස්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ඩෙසිකේටඩ් කොකනට් කෝප්ප 2
  2. බිත්තර සුදුමද 3
  3. ස්වීට්නර් කෝප්ප 1/3

 

  • බිත්තර සුදුමද ටික ස්ටිෆ් පීක් වෙනකල් බීට් කරන්න. මේකට ඩෙසිකේටඩ් කොකනට් හා ස්වීට්නර් ටික දාලා පෙරලමින් පරිස්සමෙන් කලවම් කරගන්න.
  • මේස හැන්දකින් මිශ්‍රණය ටික ටික පරතරයක් ඇතුව බේකින් ෂීට් එකක් දාපු ට්‍රේ එකකට බෝල වගේ දාගන්න. 
  • සෙල්සියස් අංශක 160ට විනාඩි 20ක් වගේ බේක් කරගන්න. 

 

7. කොකනට් කේක්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. බිත්තර 3
  2. යෝගට් කෝප්ප 1
  3. සීනි කෝප්ප 1
  4. එළවළු තෙල් කෝප්ප 1
  5. පාන්පිටි කෝප්ප 1
  6. බේකින් පව්ඩර් තේ හැඳි 1
  7. ඩෙසිකේටඩ් කොකනට් කෝප්ප 1

 

  • බ්ලෙන්ඩර් එකට බිත්තර දාලා යෝගට්, සීනි හා තෙල් දාලා බ්ලෙන්ඩ් කරගන්න. 
  • පාන්පිටි වලට බේකින් පව්ඩර් දාලා හලාගන්න. මේකට ඩෙසිකේටඩ් කොකනට් ටිකත් දාලා කලවම් කරගන්න. බ්ලෙන්ඩ් කරගත් මිශ්‍රණයට වැනිලා ටිකත් දාලා, පිටි මිශ්‍රණයත් ටික ටික දාලා ස්පැතූලා එකෙන් කලවම් කරගන්න. 
  • බේකින් ට්‍රේ එකකට දාලා සෙල්සියස් අංශක 180ට විනාඩි 40ක් බේක් කරගන්න. 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *