මේ චිප්ස් කියන්නේ පොටැටෝ චිප්ස් නෙමෙයි. කොවිඩ් වලින් පස්සේ ලෝකය පුරා කම්පියුටර් චිප්ස් වල ලොකු හිඟයක් යනවා. සාමාන්‍යයෙන් සෑම සියලු බඩුවටම පොඩි සර්කිට් කෑල්ලක් දැන් කාලේ තියෙනවා. මේ සර්කිට් කෑල්ල ඇතුළේ ඇතැම්විට දියුණු පරිගණක උපාංග වගේම අඩු තරමේ අයි සී එකක් වගේ පොඩි සයිස් චිප් එකක් හරි තියෙනවා. ඒකෙන් තමයි ඒ යන්ත්‍රයේ, උපාංගයේ පාලන කටයුතු සිදු වන්නේ. ඉතින් මේ කොවිඩ් කාලෙන් පස්සේ ආපු ලොකු අවුලක් තමයි චිප්ස් හිඟකම. ඉන්දියාවේ විතරක් ලක්ෂ 7ක් මිනිස්සු කාර් ඇනවුම් කරලා කාර් නැතුව මාස ගාණක් තිස්සේ ඉන්නවාලු මේ චිප් හිඟකම නිසා.
1. ඇමරිකාවේ නීති රීති ආදිය වෙනස් වීම
දැන් ඉතින් චිප්ස් නැහැ නේ. දැන් හැමෝටම ඕන මේ තත්ත්වෙන් ඉක්මනින් ගොඩ එන්න. චිප් හදන වැඩේට ලෝකයේ මුලින්ම ඉන්න රටක් තායිවානය. දැන් ඇමරිකාව තම රටේදීම චිප්ස් හදන්න කතාබහ කරගෙන යනවා සහ ඒ වෙනුවෙන් වැඩ කරනවා. ඒත් ඒකට අවශ්‍ය නියම තාක්ෂණය තායිවානේ සිට ඇමරිකාවට ගෙන්නා ගැනීම ප්‍රශ්නයක්. ඒ නිසා තායිවාන ජාතිකයින්ට අවශ්‍ය සුදුසුකම් තියෙනවා නම් පුරවැසිකම සහ පහසුකම් දීලා හරි වැඩේ ගොඩදාගන්න පුළුවන්ද කියලා මේ දවස්වල ඇමරිකාව පැත්තෙන් කතා බහ ඇති වෙනවා.
2. ඉන්දියාව චිප් කෝස් එකට යෑම
ඉන්දියාව කරන්න හදන දේ වෙනස් විදිහක්. එයාල හදන්නේ චිප් හදන්න කැමති අයට ආණ්ඩුව සහන දෙන එක. ඉන්දියානු වෙළඳපොළ විශාල නිසා විශාල කොම්පැණි ඉන්දියාවේ ඇවිත් ආයෝජනය කරයි කියලා ඉන්දියාව බලාපොරොත්තු වෙනවා. ඒ සදහා අවශ්‍ය වෙන යටිතල පහසුකම් දීම වගේම ඒ ව්‍යාපාර වලට අවශ්‍ය පසුබිම හදලා දෙන්නත් ඉන්දියාව මහන්සි වෙනවා. මොකද ඉන්දියානු වාහන කර්මාන්තකරුවනුත් මේ චිප් හිඟය නිසා හොඳටම හිරවෙලයි ඉන්නේ.
3. චිප් අඩු කාර්
කාර් එකක් හදන්න දැනට තියෙන විදිහට චිප් ගොඩක් ඕනි. සෙන්සර් ගොඩක් එක්ක කාර් එකක් හදලා කෙලින්ම පරිගණකයකට සම්බන්ධ කරලා කාර් එකේ දෝෂ හොයන්න පුළුවන්කම කාර් වල මෑතක ආපු හොඳ පහසුකමක්. ඒත් දැන් චිප් නැතුව වසරකට වඩා ඉල්ලුමට සැපයුම දීගන්න බැරිවෙලා තියෙන නිසා චිප්ස් කොටස් අඩුවෙන් කාර් නිපදවන්නට හැකිද කියලා කාර් නිපදවන ලොකු සමාගම් අවධානය යොමු කරලා තියෙනවා.
4. ගේමින් මැෂින් ආදියට චිප් හිඟකම
ගේමින් වලට යොදාගන්නා ග්‍රැෆික් කාඩ් ආදියට මෑත කාලීනව අලුත් ඉල්ලුමකුත් ආවා. ඒ ක්‍රිප්ටොකරන්සි මයිනින් වලට මේ ග්‍රැෆික් කාඩ්ස් සුලබව යොදාගන්න නිසා. ගේමින් කොන්සෝල් වලත් ප්ලේසේටේශන් 5 රිලීස් කළත් ප්ලේස්ටේශන් 5 හොයාගන්න අමාරුයි. සාමාන්‍යයෙන් ගේමින් පීසී එකක් හදන්න වැයවෙන හාඩ්වෙයාර් මිලත් වැඩිවෙලා තියෙනවා. ඒ මිල වැඩිවෙන්න ලංකාවේ ආර්ථික අර්බුදයට අමතරව මේ ගෝලීය චිප් හිඟතාවයත් හේතු වෙලා තියෙනවා.
5. ඉක්මනින් විසඳීමට අපහසු සැපයුම
මේ චිප් සැපයුම යථා තත්ත්වයට ගන්න තවත් අඩුමතරමින් මාස 18ක් වත් යාවි කියලා තමයි විශේෂඥයින් කියන්නේ. කොවිඩ් කාලේ මුල චීනය සහ ඇමරිකාව අතර තිබුණු විරසකය මේ චිප් නැතිවීමට එක හේතුවක්. එහිදි චීනය සමග තිබුණ ඇතැම් ගනුදෙනු සීමා කිරීම සහ ඇමරිකානු සමාගම් වලට චීන සමාගම් එක්ක ගනුදෙනු කරන්න තහනම් වීම සිදුවුණා. චිප් නිපදවීම කාලය ගතවෙන සංවේදී ක්‍රියාවලියක්. ඉතින් ඒ නිසා අලුතින් ඉල්ලුම වැඩිවුවත් ඒ ඉල්ලුම සපුරාලන්න බොහෝ කාලයක් ගතවෙන බවක් තමයි විශේෂඥයින් ප්‍රකාශ කරන්නේ.
6. අනෙක් බඩුවල මිල ඉහළ යෑම
අද කාලයේ අපේ කුස්සියේ, ගෙදර සාලයේ පාවිච්චි වෙන බඩු වලත් චිප්ස් ඇතුළත් වෙනවා. රෙදි සෝදන යන්ත්‍ර, රූපවාහිනී යන්ත්‍ර, වායුසමන යන්ත්‍ර, කුස්සියේ උපකරණ ආදියේ නිෂ්පාදනය ක්‍රියාවලිත් මේ චිප් හිඟතාවය නිසා ඇහිරිලා තියෙනවා. එයින් තොග වල එහෙමට අඩුවක් නැතත් මිල නම් වැඩිවෙලා තියෙනවා. කොවිඩ් වලට පෙර ඉලෙක්ට්‍රොනික් බඩු වල තිබුණු මිල ලංකාවේ අපිට නම් කොහොමත් වැඩි වුණා. මේ කියන විදිහට චිප් හිඟය නිසා වොශින් මැෂින් සහ රූපවාහිනී මිල ගෝලීය වශයෙනුත් ඉහළ ගිහින් තියෙනවා.
7. මූලද්‍රව්‍ය සොයායෑම සහ මිල ඉහළ යෑම
මේ චිප්ස් නිපදවන අලුත් කර්මාන්තශාලාවක් හැදීම ලේසි වැඩක් නෙමෙයි. ඒකට වසර කිහිපයක් යනවා. ඒ තුළ සාර්ථක චිප්ස් නිපදවීමත් තාක්ෂණික අභියෝගයක්. ඉතින් ඒ අස්සේ මේ චිප්ස් නිපදවන මූලික අමුද්‍රව්‍ය වලටත් ලොව පුරා ඉල්ලුම වැඩි වෙලා. චිප්ස් නිපවන්න අවශ්‍ය වන සිලිකන් පමණක් නෙමෙයි, තඹ, ඇලුමිනියම්, බෝරෝන් ආදී දේවලත් මිල වැඩිවෙලා. චීනයට එරෙහි සම්බාධක සමයේදී චීනය මේ මූලද්‍රව්‍ය චීනයෙන්ම සපයාගන්නට උත්සාහ කළා.
චිප්ස් සහ පරිගණක මගින් අපේ වැඩ වඩාත් පහසු කළත් මේ ඇවිත් තියෙන හිඟතාවය නිසා මිල ඉහළ යෑම වළක්වන්න ශක්‍රයාටවත් බැහැ. ඒ නිසාම තවදුරටත් තාක්ෂණය මිල අඩු වෙන සහ හැමෝටම මිලදීගන්න හැකිවන එකක් නැහැ. 2019ට පෙර අනාගත තාක්ෂණික ලෝකය ගැන තිබූ සියලු සිහින සහ ඉලක්ක ආදිය දැන් කොවිඩ් නිසා ඇතිවූ තත්ත්වයන් එක්ක වෙනස් වෙලා. ඉතින් චිප්ස් හිඟකම ලොකු සමාගම් වල අභියෝගයක් විදිහට පුවත්වල දැක්වුණත්, එයින් මුලු මහත් ලෝ වැසියන්මත් පීඩාවට පත් වෙනවා.
Leave a Reply