අපි කලින් දවසක කතා කළානේ ICC Hall of Fame ගැන සහ ඒ ලැයිස්තුවට ඇතුළත් වුණු ආසියානු ක්‍රිකට් ක්‍රීඩකයින් ගැන. අද ඒකෙ දෙවෙනි කොටස. ඉතින් මේක තමයි අපිට වැදගත් හොඳම එක. මොකද අද තමයි මේ ලැයිස්තුවේ ඉන්න ශ්‍රී ලංකික ක්‍රීඩකයින් ගැන කතා කරන්නෙ. ඉතින් වැඩි කතා නැතුව වැඩේට බහිමු.
1. වකාර් යූනිස්
පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරපු වකාර් යූනිස් ටෙස්ට් ක්‍රිකට් පිටියට අවතීර්ණ වෙන්නෙ සචින් ටෙන්ඩුල්කාර් එක්ක එකම ටෙස්ට් තරගයේදී. ඒ 1989 නොවැම්බර් 15 වෙනිදා. ඉතින් ඒ විදිහට ටෙස්ට් වරම් දිනාගත්තු වකාර්, ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගනිද්දී ටෙස්ට් කඩුලු 373ක සහ එක්දින කඩුලු 416ක හිමිකරුවෙක් වුණා. මේ කඩුලු ප්‍රමාණය දවාගන්න උදව් වුණු ඔහුගේ සගයා වුණේ වසීම් අක්රම්. මේ දෙදෙනාගේ පන්දු යැවීම ප්‍රතිවාදී කණ්ඩායම් වලට ලොකු හිසරදයක් වුණා. එක පාරක් ලසිත් මාලිංග පවා කියලා තිබුණා ඔහු යෝකර් පන්දු යවන්න ඉගෙන ගත්තේ වකාර් යූනිස්ගේ පන්දු යැවීම අධ්‍යයනය කරලා කියලා. ඉතින් ඔහුගේ ප්‍රධානම අවි වුණේ යෝකර් පන්දුව සහ රිවර්ස් ස්වින්ග් පන්දුව. රිවර්ස් ස්වින්ග් පන්දුව සඳහා වකාර් දක්වපු දක්ෂතාවය නිසා රිවර්ස් ස්වින්ග් රජු විදිහටත් ඔහුව හඳුන්වනවා. ඉතින් ඒ හැකියාව සහ ක්‍රීඩාවේ ප්‍රගතිය වෙනුවෙන් ඔහුගේ දායකත්වය සලකා ICC Hall of Fame ලැයිස්තුවට වකාර් යූනිස් කියන නමත් එකතු කෙරුණා.
2. අනිල් කුම්බ්ලේ
අනිල් කුම්බ්ලේ කියපු ගමන් අපේ මතකයට එන්නේ 1999 නව දිල්ලියේදී ඉන්දියාව සහ පකිස්ථානය අතර පැවතුණු ටෙස්ට් තරගාවලියේ දෙවෙනි ටෙස්ට් තරගයේ දෙවෙනි ඉනිමේදී අනිල් කුම්බ්ලේ ප්‍රතිවාදී කඩුලු දහයම දවාගත්තු අවස්ථාව. ඉතින් ලෝකයේම ඒ දක්ෂතාවය දක්වපු තුන් දෙනාගෙන් එක්කෙනෙක් තමයි අනිල්. අනිල් කුම්බ්ලේ ඉන්දියානු කණ්ඩායම නියෝජනය කරන්න එක්දින වරම් දිනාගත්තේ 1990 අප්‍රේල් 25 වෙනිදා. ඒ වගේම ඒ වසරේම අගෝස්තු මාසයේ ටෙස්ට් වරම් දිනාගන්නත් ඔහු සමත් වෙනවා. ඔහු කණ්ඩායමට එකතු වුණේ ලෙග් බ්රේක් පන්දු යවන්නෙක් විදිහට. 2008 අවුරුද්දේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගනිද්දී ඔහුගේ නම ඉදිරියෙන් ටෙස්ට් කඩුලු 619ක් සහ එක්දින කඩුලු 337ක් වාර්තා වෙලා තිබුණා. ඒ වගේම ටෙස්ට් තරග 14ක ඉන්දියානු කණ්ඩායමේ නායකත්වයත් ඔහු විසින් දරා තියෙනවා. ඉතින් 2015 අවුරුද්දේ ICC Hall of Fame වෙනුවෙන් ක්‍රීඩකයින් තෝරාගැනීමේදී අනිල් කුම්බ්ලේ මේ සඳහා නිර්දේශ වුණා.
3. මුත්තයියා මුරලිදරන්
ඔන්න ඉතින් පළවෙනි වතාවට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරපු ක්‍රීඩකයෙක් ICC Hall of Fame ගෞරවයට පාත්‍ර වෙනවා. මුරලි කියන්නෙ ලංකාවේ ක්‍රිකට් නොබලන අය පවා හොඳින් අඳුනන චරිතයක්. 1972 අප්‍රේල් 17 වෙනිදා තමයි මුරලි උපත ලබලා තියෙන්නෙ. 1992 අගෝස්තු මාසයේ ටෙස්ට් වරම් හිමිකරගත්තු මුරලි 2010 ටෙස්ට් ක්‍රීඩාවෙන් සමුගනිද්දී කඩුලු 800ක් වාර්තා කරලා තිබුණා. ඔයාලා හැමෝටම මතක ඇති මුරලි තමන්ගේ 800 වෙනි ටෙස්ට් කඩුල්ල දවාගත්තේ ඔහු සහභාගී වුණු අවසන් ටෙස්ට් තරගයේ දෙවෙනි ඉනිමේ 116 වෙනි ඕවරයේදී. ඒ වගේම මුරලි කියන්නෙ ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණ බොහෝමයක මූලිකයා. ඒ වගේම දැනට ටෙස්ට් සහ එක්දින වැඩිම කඩුලු ලාභියා වෙන්නෙත් අපේ මුරලි. ඉතින් මුරලි වගේ කෙනෙක්ට මේ ගෞරවය ලැබීම පුදුමයක් නෙමෙයි.
4. රාහුල් ඩ්‍රාවිඩ්
රාහුල් ශාරද් ඩ්‍රාවිඩ් ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරපු ඉතාම දක්ෂ ක්‍රීඩකයෙක්. විශේෂයෙන්ම පිතිකරුවෙක්, කඩුලු රකින්නෙක්, පන්දු රකින්නෙක් සහ කණ්ඩායම් නායකයෙක් විදිහට තමන්ගේ කණ්ඩායම වෙනුවෙන් උපරිමය කරපු ක්‍රීඩකයෙක් තමයි ඩ්‍රාවිඩ්. නමුත් වරක් පන්දුව පළුදු කිරීමේ චෝදනාවකට ඔහු වැරදිකරු වුණා. කෙසේ වෙතත් දැනටත් වැඩිම උඩපන්දු රැකීමේ (ටෙස්ට්) වාර්තාව ලියවෙන්නේ ඩ්‍රාවිඩ්ගේ නම ඉදිරියෙන්. පිතිකරුවෙක් විදිහට ටෙස්ට් ලකුණු 13,288ක්, එක්දින ලකුණු 10,889 ක් ක්‍රීඩාවෙන් සමුගනිද්දී ඔහු නමින් වාර්තා වෙලා තිබුණා. ඔහු ඉනිම් ආරක්ෂා කරන්නෙක් විදිහට නමක් දිනාගෙන හිටපු දක්ෂ පිතිකරුවෙක්. ඉතින් ඔහුගේ දක්ෂතාවය අගයමින් 2018 අවුරුද්දේ ICC Hall of Fame ලැයිස්තුවට රාහුල් ඩ්‍රාවිඩ් කියන නම ඇතුළත් වෙනවා.
5. සචින් ටෙන්ඩුල්කාර්
ඉන්දියාවේ දේවත්වයෙන් සලකන ක්‍රිකට් ක්‍රීඩකයා තමයි සචින් ටෙන්ඩුල්කාර්. ඔහු ක්‍රීඩාවෙන් විශ්‍රාම ගත්තත් අදටත් ක්‍රිකට් ලෝලීන්ගේ නොමඳ ගෞරවයට පාත්‍ර වෙන චරිතයක්. විශේෂයෙන්ම ටෙස්ට් සහ එක්දින කියන අංශ දෙකේම අදටත් වැඩිම ලකුණු ලාභියා වෙන්නෙ ටෙන්ඩුල්කාර්. ටෙස්ට් තරග 200ක් ක්‍රීඩා කරපු එකම ක්‍රීඩකයා, වැඩිම ටෙස්ට් ශතක හිමි (51) ක්‍රීඩකයා, වැඩිම ටෙස්ට් හතරේ පහරවල් (2058) එල්ල කළ ක්‍රීඩකයා වගේ ඉතා විශාල වාර්තා ප්‍රමාණයකට හිමිකම් කියන ඉතාම දක්ෂ ක්‍රීඩකයෙක් තමයි ටෙන්ඩුල්කාර්. ඉතින් මේ වගේ දක්ෂ ක්‍රීඩකයෙක් මේ ලැයිස්තුවට ඇතුළත් නොවුණොත් තමයි පුදුමේ.
6. කුමාර් සංගක්කාර
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු තවත් ලෙජන්ඩ් එකක් තමයි සංගක්කාර. ඉතාම දක්ෂ කඩුලු රකින්නෙක්, පිතිකරුවෙක් වගේම දක්ෂ නායකයෙක් විදිහට සංගක්කාර තමන්ගේ උපරිම දායකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් ලබාදුන්නා. ආදරේට කවුරුත් සංගා කියල කිව්වත් ඔහුගේ සම්පුර්ණ නම කුමාර් චොක්ෂනාද සංගක්කාර. 2000 වසරේ ජූලි මාසයේ එක්දින සහ ටෙස්ට් වරම් හිමිකරගත් සංගක්කාර ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්න අවස්ථාවේ ඔහුගේ නමින් ටෙස්ට් ලකුණු 12,400ක් සහ එක්දින ලකුණු 14,234 ක් වාර්තා කරලා තිබුණා. සංගක්කාර විසින් වාර්තා ගණනාවක් බිහි කරලා තියෙනවා. ඒ අතරින්, තුන්වෙනි කඩුල්ල සඳහා ඉහළම සම්බන්ධතාවය (ටෙස්ට්), ඉනිමක වැඩිම ස්ටම්ප් (එක්දින), නොකඩවා වැඩිම ශතක (එක්දින) වගේ වාර්තා විශේෂයි. ඉතින් මේ ලෙජන්ඩ් එක 2021 අවුරුද්දේ ICC Hall of Fame ලැයිස්තුවට එකතු වුණා.
7. මහේල ජයවර්ධන
මහේල සංගා කියන යුගලය කියන්නෙ ශ්‍රී ලංකා ක්‍රිකට් වල නොමැකෙන නමක් තියපු ක්‍රීඩක යුගලයක්. මහේලගේ සම්පුර්ණ නම වෙන්නෙ දෙනගමගේ ප්‍රබෝත් මහේල ද සිල්වා ජයවර්ධන යි. අදටත් මහේලට ක්‍රිකට් ගැන තියෙන දැනුම සහ පරිණත භාවයට, ඒ වගේම තීක්ෂණ උපායශීලී දැක්මට සම කරන්න ක්‍රීඩකයෙක් බිහි වෙලා නෑ කිව්වොත් හරි. 1997දී මහේල ටෙස්ට් ක්‍රීඩාවට අවතීර්ණ වෙනවා සහ 1998 දී එක්දින වරම් දිනාගන්නවා. විශ්‍රාම ගනිද්දී ටෙස්ට් ලකුණු 11,814කුත්, එක්දින ලකුණු 12,650කුත් ලබාගෙන හිටපු මහේල ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ටෙස්ට් ලකුණු 10,000 පසු කරපු පළවෙනි ක්‍රීඩකයා වගේම එක්දින ලකුණු 10,000 පසුකළ දෙවෙනි ක්‍රීඩකයා ද වෙනවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය 2006 වසරේ හොඳම එක්දින නායකයා විදිහටත්, 2007 වසරේ හොඳම ටෙස්ට් ක්‍රීඩකයා විදිහටත් මහේල ජයවර්ධන නම් කළා. විශ්‍රාම ගනිද්දී වාර්තා විශාල ප්‍රමාණයකට හිමිකම් කියපු මහේල දැනට ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් තමන්ගේ දැනුම බෙදාදෙමින් ඉන්නවා.
Leave a Reply