විවිධ රස වලින්, විවිධ රට වලින් රස විඳින්න ලැබෙන සොසේජස් වර්ග 7ක් ගැන තොරතුරු දැනගමු

ඔන්න අද අපි නියම ටොපික් එකක් ගෙනාවා. අපි කවුරුත් ආසාවෙන් කන සොසේජස් වල වගතුග ටිකක් ඔයාලට කියලා දෙන්න හිතුවා. කන එක දැනගෙන කන එකත් හො​ඳයිනේ නේද? අපේ රටට පිටරටින් ආපු මේ සොසේජස් වල මූලාරම්භය හා වෙනස්කම් ගැන ඔන්න අපි කතා කරන්නයි යන්නේ. 

 

1. ෆ්‍රෑන්ක්ෆර්ට් (Frankfurter Würstchen)

මේ සිහින්, දිග කලින් පිසින ලද සොසේජස් වර්ගයක්. මේක ඇමරිකාවෙදි හොට් ඩෝග්ස් නැත්නම් වීනර්ස් කියලත් හඳුන්වනවා. මේක බීෆ් 60%ක් හා පෝක් 40%ක් එකතු කරලා තමයි සාමාන්‍යයෙන් හදන්නෙ. ඒත් සම්පූර්ණයෙන්ම බීෆ් වලින් හෝ පෝක් වලින්, එහෙමත් නැතිනම් චිකන් හෝ ටර්කි වලිනුත් හදන්න පුළුවන්. මේක අනික් සොසේජ් වලින් වෙනස් වෙන්නෙ බැදලා හෝ ග්‍රිල් කරනවා වෙනුවට ෆ්‍රෑන්ක්ෆර්ට්ස් හුඟක් වෙලාවට උණු වතුරේ තම්බලා තමා පාවිච්චි වෙන නිසයි. ග්‍රිල් කරන්න බැරිකමක් නෑ හැබැයි. මේ සොසේජස් වල ආරම්භය 13 වන සියවස වෙනකල් ඈතට යනවා. මේ නම එන්නෙ ජර්මනියේ ෆ්‍රෑන්ක්ෆර්ට් නුවරින්. 

 

2. බොක්වර්ස්ට් (Bockwurst)

මේ සොසේජස් වර්ගය මුලින්ම හදලා තියෙන්නෙ ජර්මනියෙ බර්ලින් වලයි. පිරිසිදු කරන ලද මස්, රසය රැක ගැනීමට සිහින්ව අඹරලා නැවුම්ව පිළිගන්වන සොසේජස් විශේෂයක්. අඹරන ලද මස් වලට ලුණු, සුදු ගම්මිරිස්, ලෙමන් පොතු හා පැප්‍රිකා තමයි මූලිකවම රසකාරක විදියට යොදන්නෙ. මේකට ඊට අමතරව ළූණු පවුඩර්, ළූණු කොළ, කොත්තමල්ලි, ඉඟුරු, සාදික්කා කුඩු කුළුබඩු විදියට යොදාගන්නවා. සාම්ප්‍රදායිකව හරක් මස් සහ හරක් පැටවුන්ගේ මස් යොදාගත්තත් චිකන් වලිනුත් මේක හදනවා. ඉතාම සිහින්ව මස් අඹරාගැනීම මේකෙ විශේෂත්වයක්. ඒ වගේම අනික් සොසේජස් වගේ කලින් පිසින ලද එකක් නෙවෙයි නිසා නිසා හොඳින් ග්‍රිල් කරලා හෝ නටන උණුවතුරට දාලා තම්බලා ආහාරයට ගන්න ඕන. 

 

3. බ්‍රැට්වර්ස්ට් (Bratwurst)

මේ සොසේජස් වර්ගය අපිට හමුවෙන්නෙ ජර්මනියෙන්. මේ සොසේජස් වර්ගය හදන්නෙ හරක් මස් වලින් සහ හරක් පැටියන්ගෙ මස් වලින්. මේක ඌරුමස් වලිනුත් හදනවා. ජර්මනියේ පළාතෙන් පළාතට මේක හදන ක්‍රමය වෙනස් වෙනවා. මේක සාමාන්‍යයෙන් දිග සහ මහත සොසේජ් එකක්. පෑන්ෆ්‍රයි කරලා හරි ග්‍රිල් කරලා හරි තමයි ගොඩක්ම කෑමට ගන්නෙ. බ්‍රැට්වර්ස්ට් වල සාමාන්‍යයෙන් කරාබුනැටි, සුදුළූණු මිශ්‍ර රසක් තමයි එන්නෙ. ජර්මන් අය නම් බ්‍රැට් කියලා තමා හඳුන්වන්නෙ. මේ සොසේජස් වල අතීතය බැලුවොත් ශීත කාලෙට ප්‍රයෝජනයට ගන්න මස් කැබලි අපතේ නොයවා එකතු කරලා එකට ආවරණය කරලා හදපු එක තමයි බ්‍රැට්වර්ස්ට් සොසේජස් වෙලා තියෙන්නෙ. මේවා Farmer Sausages කියලත් හඳුන්වනවා. 

 

4. ලිංගුස් (Lingus) 

මහත, කොට සොසේජ් වර්ගයක්. වැලක් වගේ තමා හුඟක් වෙලාවට තියෙන්නෙ. පෝක් වලින් හදන තවත් සොසේජස් වර්ගයක් තමා මේ. ගාණට තුනපහ කුඩු හා කුළුබඩු දාලා හදන ලිංගුස් ගොඩක් දුම් ගස්සලා, ඒ කියන්​නෙ ස්මෝක් කරලයි තියෙන්නෙ. ෆ්‍රයි කරලා, ග්‍රිල් කරලා, උයලා ව​ගේ මේ ඕනම විදියකට කන්න පුළුවන් සොසේජස් වර්ගයක්. පෝක් වලින් විතරක් නෙමෙයි, චිකන් වලිනුත් හදපු ලිංගුස් වෙළඳපොලේ ගන්න පුළුවන්. නමුත් සම්ප්‍රදායිකව හදන්නෙ පෝක් වලින්. ගොඩක් වෙලාවට බාබකිව් දානකොට නැතුවම බැරි දෙයක් වෙන මේ ලිංගුස් කලින් පිසින ලද සොසේජ් එකක්. 

 

5. සලාමි – Salami  (Italian Sausages) 

ඉතාලි සොසේජස් වර්ග දෙකකින් තියනවා. ඒ සේවරි හා ස්වීට් විදියට. සේවරි සොසේජස් හදන්නෙ ඌරුමස් වලට සුදුළූණු, අසමෝදගම් ඇට, කෑලිමිරිස්, ගම්මිරිස් දාලා හොඳට මැරිනේට් කරලා අරන්. ස්වීට් සොසේජස් වලට මස් එක්ක ගම්මිරිස් දාලාතමයි හදන්නෙ. මේක තීරණය වෙන්නෙ ඔයාගෙ රසය අනුව තමයි ඉතින්. මේ සොසේජස් ග්‍රිල් හෝ ෆ්‍රයි කර​ල එහෙමත් නැතිනම් පීසාඑකට දාලා හෝ පැස්ටා එක්ක පිළිගන්වන්නත් පුළුවන්. සලාමි හදන්නෙ පවනේ වියළන ලද පෝක් වලින්. දකුණු, මධ්‍යම සහ නැගෙනහිර යුරෝපයේ මස් කල්තබා ගැනීමේ ක්‍රමයක් විදියට තමා සලාමි හැදීම ආරම්භ වෙන්නෙ. 

 

6. ඇන්ඩුයී (Andouille)

Andouille කියන්නෙ ප්‍රංශයෙන් ආපු කුළුබඩු වලින් සමන්විත ස්මෝක්ඩ් සොසේජස් වර්ගයක්. මේකට පෝක්, ගාලික්, ගම්මිරිස්, ළූණු හා වයින් එකතු කරලා තමයි හදන්නෙ. මේකට red coteaux champenois, red givry, red irancy, sparkling white champagne වගේ වයින් වර්ග යොදාගන්නවා. මස් අඹරලා සොසේජස් හදලා බීෆ් හෝ පෝක් වැස්මක් ඇතු​ළට දාලා තමා ස්මෝක් කරන්නෙ. අනික් සොසේජස් වලට වඩා ටිකක් ඝනකම් තද සොසේජස් වර්ගයක්. 

 

7. ලිවර්වර්ස්ට් (Liverwurst)

මේ සොසේජස් වර්ගය ගොඩක්ම ප්‍රසිද්ධ වෙන්නෙ නැගෙනහිර යුරෝපයේ හා ස්කැනේඩියන් රටවල් වලයි. හැබැයි මුලින්ම මේ සොසේජ් එක ගැන සඳහන් වෙන්නෙ ඇමරිකාවෙන්. ඌරු හා හරක් ලිවර් වලින් තමා මේ සොසේජ් එක හදන්නෙ. අබ, සාදික්කා, ගම්මිරිස් හා අනිකුත් කුළුබඩු දාලා මැරිනේට් කරලා බොහොම රසට හදන සොසේජස් වර්ගයක්. මෙහි කැලරි 300ක් වගේ අඩංගු වෙනවා. සමහර ලිවර්වර්ස්ට් වර්ග සැන්ඩ්විච් තැවරුමක් විදියටත් ගන්න පුළුවන්.

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *