එදිනෙදා ආහාර වලට ගන්න පුළුවන් සෞඛ්‍ය සම්පන්න ආදේශක 7ක්

ඇඟට ගුණ විදියට කන අතරෙ අහිතකර කෑම පොඩ්ඩක් අයින් කරලා ඒ වගේම රසක් ගන්න පුළුවන් ආදේශක කෑම ටිකක් ගැන කියන්නයි යන්නේ. හරිම ලේසියෙන් ලංකාවෙ අපිට මේ දේවල් කරන්න පුළුවන්කම තියෙද්දි ඇඟට ​අහිතකර දේ එකතු කරනොගන්න හැමෝම වගබලාගන්න ඕනා. රසට කන්න වගේම සෞඛ්‍ය ගැනත් හැම වෙලේම හිතන්නම ඕන නිසා තමයි අපි අද මේ වගේ ආදේශක ටිකක් අරන් ආවෙ. 

 

1. මයෝ​නේස් වෙනුවට ග්‍රීක් යෝගට්

මයෝ​නේස් සැලඩ් වලට දැම්මට, බර්ගර් හැදුවට නිතරම ආහාරයට ගන්න එක හිතකර නෑ. ඉතින් ග්‍රීක් යෝගට් වලට හර්බ්ස්, ලුණු හා සුදුළූණු ටිකක් දාලා රස ටිකක් වැඩි කරලා සැන්ඩ්විච් ඩිප් එකක් විදියට හදලා කන්න පුළුවන්. මයෝ​නේස් වෙනුවට සැලඩ් වලට, සැන්ඩ්විච් වලට වගේම ඩිප්ස් වලටත් ග්‍රීක් යෝගට් පාවිච්චි කරල බලන්න. පුදුම හිතෙන රසක් දැනෙයි.

 

‍2. සීරියල් වෙනුවට ඕට්මීල්

ඇඟ ගැන හිතන අයට වගේම සීනි අඩුවෙන් කෑමට ගන්න අවශ්‍ය අයට රස ගැන්වූ සීරියල් නොදී ස්වභාවික ඕට්ස් උදේට කන්න පුළුවන් නම් ශරීර සෞඛ්‍යයට ගොඩක් හොඳයි. මේකට ඔයා කැමති නම් නට්ස් ටිකක්, ඩ්‍රයි ෆෘට්ස් වගේ මොනාහරි එකතු කරලා කන්න ගන්න පුළුවන්. මේකට සීනි නැතුව ඩාක් චොක්ලට් ටිකක් දැම්මත් කමක් නෑ.

 

3. බටර් වෙනුවට අලිගැටපේ​ර

සැන්ඩ්විච් හදනකොට, බර්ගර්, සබ්මැරීන් වලට එහෙම බටර් වෙනුවට අපිට පොඩි කරගත් අලිගැටපේර ගාගන්න පුළුවන්. ඇත්තෙන්ම ශරීරයටත් ගොඩක් ගුණයි. අලිගැටපේර වල තියෙන්නෙ හදවතට හිතකර මේදය. බටර් වෙනුවට අලිගැටපේර දැම්මා කියලා ලොකු වෙනසක් දැනෙන්නෙ නෑ. අමතර රසයක් නම් එකතු වෙනවා. ලංකාවෙ අපිට හැම එකටම බටර් ඕන උනාට ගොඩක් රටවල් වල අය අලිගැටපේර තමා මේ වගේ කෑම වලට හුඟක්ම පාවිච්චි කරන්නේ.  

 

4. සීනි වෙනුවට රට ඉඳි 

තේ එකක් බොනකොට සීනි දානවට වඩා රට ඉඳි ගෙඩියක් කන ගමන් ඒක බොනවනම් ශරීරයට එකතු වෙන සීනි ප්‍රමාණය අවම වෙනවා. ඒ වගේම ස්මූදි එකකට සීනි නොදා රට ඉඳි ටිකක් දාලා බලන්න කොච්චර රසද කියලා. ඩේට් ස්මූදි කියන්නෙ මාරම රස පානයක්. කොහොමත් අපේ ශරීරයට අවශ්‍ය සීනි ප්‍රමාණයට වැඩිපුර සීනි ගත්තම වෙන දේ කාටත් කියන්න ඕනේ නෑනේ. සෞඛ්‍ය සම්පන්නව ඉන්න ආස අය මේ විදියට මින් පස්සෙ කරයි කියලා අපි හිතනවා.

 

5. අල වෙනුවට කෝලිෆ්ලවර්

 

 

අර්තාපල් කියන්නෙ පිෂ්ඨය අධික කෑමක්. ඉතින් නිතර නිතර අල කන එකත් අපේ ශරීරය මහත් වෙන්න එක හේතුවක්. ඒ වෙනුවට කෝලිෆ්ලවර් ටිකක් තම්බලා පොඩි කරලා ගන්න පුළුවන් නම් ඇඟට ගොඩක් හොඳයි. මොකද කෝලිෆ්ලවර් කියන්නෙ ලෝ කාර්බ් එළවළුවක්. මේකෙන් රයිස් වගේම ක්‍රිස්පි ස්නැක්ස් වගේ ගොඩක් දේවල් හදාගන්න පුළුවන්.

 

කෝලිෆ්ලවර් (මල් ගෝවා) වලින් හදන්න පුළුවන් කෑම වර්ග 7ක්

 

 

6. බෝතල් කළ සැලඩ් ඩ්‍රසින් වෙනුවට හෝම්මේඩ් සැලඩ් ඩ්‍රසින්

අපේ ගොඩක් අය ලේසියට පුරුදු වෙලානෙ ඉන්නෙ. ඉතින් මේ ලේසිය​ට හුරු වෙලා ඉන්න අය කරන දෙයක් තමයි සැලඩ් වලට දාන ඩ්‍රසින් කඩෙන් ගේන එක. බෝතල් කරපු ඒවට වැඩිය ගෙදරදිම ෆ්‍රෙශ්ලි හදාගන්න පුළුවන් ඩ්‍රසින් රසත් වැඩී වගේම ඇඟට හානියකුත් නෑ. සැලඩ් එකක් හදාගෙන කන්නෙ හෙල්දි විදියට ඉන්නනේ. එහෙනම් ඇයි අපි කල්තියාගන්න දේවල් දාපු ඩ්‍රසින් මේකට එකතු කරන්නෙ. මේ ඩ්‍රසින් ගෙදර හදන්න එච්චර අමාරු නෑ. සැලඩ් ඩ්‍රසින්‍ රෙසිපි අපේ සයිට් එකේ දාලා තියනවා ඒකත් බලන්න හොඳේ. මේ ඩ්‍රසින් තවත් හෙල්දි විදියට හදාගන්න නම් මයෝ​නේස් වෙනුවට කලින් කිව්ව වගේ ග්‍රීක් යෝගට් පාවිච්චි කරන්න පුළුවන් ඔන්න.

 

සලාද රස කරගන්න දාගන්න පුළුවන් ඩ්‍රෙසින් වර්ග 7ක්

 

 

7. පොටෑටෝ චිප්ස් වෙනුවට පොප්කෝන්

කලින් කිව්වා වගේම අල අපි වැඩිය කන්න හොඳ නෑ. ඒ වගේම ඩීප් ෆ්‍රයි කරපු අල කොහොමත් ඉතින් හොඳ නෑනෙ. ට්‍රිප් එකක් යනකොට, මූවි ටයිම් එකකට සෙට් වෙනකොට චිප්ස් වෙනුවට පොප්කෝන් ටිකක් රෙඩි කරගන්න පුළුවන් නම් සෑහෙන්න වටිනවා. වියළි බඩ ඉරිඟු ඇට ටිකක් ගෙනල්ලා ගෙදරදී අපිට ලේසියෙන් පොප්කෝන් හදාගන්නත් පුළුවන්. ගෙදරම හදාගන්නකොට කඩේ හදන තරම් වැඩිය තෙල් පාවිච්චි වෙන්නෙත් නෑ.

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *