පහුගිය දවස් වල අයිරාංගනී සේරසිංහ මහත්මිය මියගියා කියලා විශාල කලබගෑනියක් සමාජ මාධ්‍ය තුළ ඇති වුණා. පස්සේ ආරංචි වුණේ එම ප්‍රවෘත්තිය ව්‍යාජ ප්‍රවෘත්තියක් බවයි. කොහොම වූණත් මේ නිසා බොහෝ දෙනෙක් දැඩි ලෙස කම්පා වුණු බව රහසක් නෙමෙයි. මේ නිසා අපි හිතුවා අද අපේ රටේ ඉන්න ජ්‍යෙෂ්ඨතම රංගන ශිල්පිනියෝ ගැන ඔබේ මතකය අවදි කරන්න. මොකද මේ අය සුජීවත්ව ඉන්න කාලේ අපි මේ අයව අගය කළ යුතු වෙනවා.
1. අයිරාංගනී සේරසිංහ
තම මුළු ජීවිත කාලය පුරාවටම එක සේම තමන්ගේ ජනප්‍රියත්වය සමානව පවත්වා ගෙන යන්න සමත් වෙන නළු නිළියෝ අල්පයයි ඉන්නෙ. ඒ අතරින් අයිරාංගනී සේරසිංහ මහත්මියගේ නම අපේ රටේ නළු නිළියන් අතර ඉස්සරහින්ම තබන්න පුළුවන්. ඒ වගේම රංගනය පිළිබඳ හැදෑරීමකින් අනතුරුව රංගනයට පිවිසුණු පළමු නිළිය විදිහටත් අයිරාංගනී සේරසිංහ මහත්මියගේ නම අපේ රටේ කලා වංශකතාව තුළ ලියැවෙනවා. ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ නිර්මාණ වලින් තම සිනමා ගමන පටන් ගත්ත ඇය විවිධ වර්ගයේ අධ්‍යක්ෂකවරුන් සමඟ වැඩ කළා. හැබැයි අපේ පරම්පරාව තුළ ඇය වැඩි වශයෙන් ජනප්‍රිය වුණේ ටෙලි නාට්‍යවල මිත්තණියගේ චරිතය රඟපෑම නිසයි.
2. ලීනා ද සිල්වා
අද වෙනකොට කැනඩාවේ සිය දරු මුණුබුරන් සමග ජීවත්වෙන ලීනා ද සිල්වා ලංකාවේ කලා ලෝකය සමග තවමත් සබඳතා පවත්වාගෙන යනවා. “අහංකාර ස්ත්‍රී” චිත්‍රපටයෙන් තමන්ගේ රංගන ජීවිතය ආරම්භ කරපු ඇය ඉන් පසුව චිත්‍රපටි ගණනාවක් සඳහා සිය රංගන දායකත්වය ලබා දුන්නා. එකල සිනමාවේ කඩවසම් නළුවෙකු සහ ගායකයකුව සිටි රවීන්ද්‍ර රූපසේන සමග විවාහ වූ ඇය ඉන් පසුව සිනමාව අමතක කළේ නෑ.
3. ක්ලැරිස් ද සිල්වා
මේ වෙනකොට රුක්මණී දේවිය සමග තරග කිරීමට සමත් වුණු නිළියන් අතරින් ජීවත්ව සිටින එකම නිළිය විදිහට ක්ලැරිස් ද සිල්වාව සඳහන් කරන්න පුළුවන්. එක්තරා විදිහකින් ගත්තොත් ඇය රුක්මණී දේවියව අභිබවා ගිය නිළියක්. ඒ රුක්මණියට වඩා නර්තනයෙන් ඇය දක්ෂ වීම නිසා. හරියටම කිව්වොත් සිංහල සිනමාවට නර්තනය රැගෙන ආවේ ඇයයි. බොහෝ දෙනෙක් නොදන්නවා වුණාට ඇය චිත්‍රපට පසුබිම් ගායනයට පවා එක් වී තිබෙනවා.
4. උදුලා දාබරේ
සිංහල සිනමාවේ මුල් යුගයේ සෑම චිත්රපටියකම වගේ හාස්‍යජනක චරිත නිරූපණය සඳහා නළු නිළියන් දෙපළක් යොදාගෙන තිබුණා. “කඩවුණු පොරොන්දුව” චිත්‍රපටයේ පටන් හැම චිත්රපටියකම එය අනිවාර්ය අංගයක් බවට පත් වෙලා තිබ්බා. මේ විදිහට හාස්‍යෝත්පාදක චරිත නිරූපණය කරපු ජේෂ්ඨතම නිළියක් වෙන්නේ උදුලා දාබරේයි (ඇය පිළිබඳව විවිධ අවස්ථාවල අපි සඳහන් කරලා තියෙනවා). ඇය අද වෙනකොට මත්තෙගොඩ ප්‍රදේශයේ සිය ඥාති දියණියක් සමඟ ජීවත් වෙනවා.
5. නෙතලි නානායක්කාර
“මුවන්පැලැස්ස” ගුවන් විදුලි නව නාටකයේ බිනරී විදිහට ඇය තම කටහඬින් මුළු රටේම ආදරය දිනා ගත්තා. කෙසේ නමුත් මුවන්පැලැස්ස චිත්‍රපටියේ රඟපෑම සඳහා නම් ඇයට අවස්ථාව ලැබුණේ නැහැ. එම චරිතය රඟපෑ නිළිය වෙනුවෙන් කටහඬ භාවිතා කිරීමට ඇයට සිදු වුණේ ඇගේ කටහඬ ඒ තරම් එම චරිතය සමග බැඳී තිබුණු නිසයි. සුප්‍රකට නළු වොලී නානායක්කාර සමඟ විවාහ වූ ඇය සාර්ථක විවාහ ජීවිතයක් ගත කළා. මේ වන විට ජීවිතයේ සැඳෑ සමය ගත කරමින් සිටියත් ඇය සැම විටම සඳහන් කරන්නේ රංගනය තමන්ගේ එකම ජීවන අභිලාෂය බවයි.
6. සුජාතා පරමනාදන්
මෑත කාලයේ වෙළඳ දැන්වීම් ගණනාවක මිත්තණියගේ චරිතය රඟපෑම නිසා ඇය ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වුණාට ඇය අපේ රටේ සිටින ජ්‍යෙෂ්ඨතම නිළියක් බව බොහෝ දෙනෙක් දන්නේ නැහැ. ඇය තමන්ගේ රංගන ජීවිතය ආරම්භ කරන්නේ “වරද කාගේද” චිත්‍රපටිය හරහා. ඇයට සිනමා ජීවිතය තුළ හිමි වීම් වලට වඩා අහිමි වීම් බොහෝයි. උදාහරණයක් විදිහට “පුංචි බබා” චිත්‍රපටයේ ඇයට හිමිවීමට තිබූ ප්‍රධාන චරිතය අහිමිවී අවසානයේ සුළු චරිතයක් තමයි ඇයට ලැබෙන්නේ. කෙසේ වෙතත් ඒ සිදුවීම් සම්බන්ධව තමන්ට කිසිම කණගාටුවක් නැති බව ඇය සඳහන් කරනවා
7. ලියෝනි කොතලාවල
සිනමාව, වේදිකාව, ටෙලිනාට්‍ය යන ක්ෂේත්‍ර තුනම ජය ගන්න සමත් වෙච්ච නිළියක් විදිහට ලියෝනි කොතලාවල හඳුන්වන්න පුළුවන්. මෑතකදී නම් ඇය වැඩි වශයෙන් ජනප්‍රිය වුණේ ටෙලි නාට්‍යවල රංගනය හරහා. කෙසේ නමුත් “සාමා” චිත්‍රපටයේ ඇය සිදු කළ රංගනය ප්‍රේක්ෂක සහ විචාරක දෙපක්ෂයේම අවධානය දිනා ගත්තා
එහෙමනම් ඉතිං වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.
Leave a Reply