හැ​මෝම දන්න ග්‍රාම නිලධාරී තනතුර ගැන වැඩිදෙනෙක් නොදන්නා කරුණු

ග්‍රාම නිලධාරී එහෙම නැත්නම් ග්‍රාම සේවක කියල කියන්නෙ අපි කවුරුත් දන්න, ගම ඇතු​ළේ පරිපාලනය භාරව ඉන්න රජයේ නිලධාරියා. ඉතින් අද කාලෙ රටේ නොයෙක් තැන් වලින් ග්‍රාම නිලධාරී මහත්ම මහත්මීන් ගැන නොයෙකුත් හොඳ වගේම නරක ආරංචිත් අහන්න ලැබෙනවා. හැබැයි ඉතින් කවුරු කොහොම කිව්වත් ග්‍රාම නිලධාරියෙක් විදිහට රාජකාරි කරන එක ඒ තරම් ලේසි පහසු කටයුත්තක් නෙමෙයි. මොකද ගමට උත්තර බඳින්නත්, නීති රෙගුලාසි වලට අනුකූලව වැඩ කරන්නත් හිතන තරම් ලේසි නෑ. මිනිස්සුන්ට හොඳ කරන්න කියල නීති රෙගුලාසි කඩ කරන්නත් බෑ. නීති රෙගුලාසි ආරක්ෂා කරන්න කියල පොතේ විදිහටම වැඩ කරන්නත් අමාරුයි. ඉතින් ඔය දෙකම බැලන්ස් කරගෙන රාජකාරී කරන්න ලොකු වෙහෙසක් ගන්න වෙනවා. ඉතින් අපි අද පොඩ්ඩක් හොයල බලමු මේ ග්‍රාම නිලධාරී තනතුරේ වංහුං.

 

 

1. ග්‍රාම නිලධාරී තනතුර ආරම්භ වුණු හැටි

ග්‍රාම නිලධාරී තනතුර ආරම්භ වීම ගැන හොයල බැලුවොත් එහි ඉතිහාසය අනුරාධපුර යුගය වෙනකන් ඈතට යනවා. මහා වංශයේ තොරතුරු වලට අනුව විජයගේ ලංකා ගමනත් එක්ක ඔහු සහ ඔහු එක්ක ආපු අනෙක් පිරිස  මල්වතු ඔය, කිරිඳි ඔය, මහවැලි ගඟ වගේ ගංගා ආශ්‍රිතව ජනාවාස ඇති කරගත්තා. ඒ ජනාවාස ඔවුන්ගේ නම් වලින්ම හැඳින්වුනා. උදාහරණයක් විදිහට උපතිස්සගාම, විජිතගාම, අනුරාධගාම, උජ්ජෙනිගාම වගේ ජනාවාස සඳහන් කරන්න පුළුවන්. ඒ අනුව ඒ ඒ ගම් වල පාලනය සඳහා ගමේ ප්‍රධානියාගේ නම භාවිත කර තිබුණු බව පෙනෙන්නට තියෙනවා. ඉතින් ඔය විදිහට තමයි විජයගේ පැමිණීමත් එක්ක ගම් ඇති වුණේ සහ ගම් ප්‍රධානියා කියන තනතුර එහෙම නැත්නම් අපි අද කියන ග්‍රාම නිලධාරී කියන තනතුර මුලින්ම ඇති වුණේ. 

 

 

2. විකාශනය

.

අනුරාධපුර යුගයේ ඇති වෙලා තියෙන මේ තනතුර එක එක යුග වල එක එක කාල වල නොයෙකුත් නම් වලින් හැඳින්වුණා වගේම ඔවුන්ට පැවරුණු රාජකාරිත් නොයෙක් වෙනස්කම් වලට භාජනය වුණා. මුල් කාලයේ රජුන්ගේ හමුදාවට අවශ්‍ය භටයින් ලබාදීම, රජයේ අදායම් එකතු කිරීම වගේ රාජකාරි පැවරිලා තිබුණත් පස්සේ කාලේදී ඒ රාජකාරි ඉවත් වෙලා විධිමත් රාජකාරි පැවරීමක් සිදුවෙලා තියෙනවා. ඒ ඒ කාල වල තනතුරේ නාමය වුණත් නොයෙකුත් වෙනස්කම් වලට භාජනය වෙලා තියෙනවා. ‘ගමරි’, ‘දකපති’, ‘පරුමක’ වගේ නම් වලින් මේ තනතුර අතීතයේ හඳුන්වල තියෙනවා. නමුත් අද වෙද්දී වඩා විධිමත්ව තනතුරු නාමය, රාජකාරී සහ බලතල නිශ්චිතව දක්වලා තියෙනවා.

 

 

3. කාර්යභාරය

වර්තමානය වෙද්දී  ග්‍රාම නිලධාරී තනතුරට අදාළ කාර්යයන් විශාල පරාසයක විහිදිලා තියෙනවා. රජය සහ මහජනයා අතර සම්බන්ධීකරණය ග්‍රාම නිලධාරීන්ගේ මූලික කාර්යයක් වෙනවා. ඒ වගේම රජයේ සංවර්ධන ක්‍රියාකාරකම් ග්‍රාමීයව ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණය ග්‍රාම නිලධාරී විදිහට හඳුනාගන්න පුළුවන්. ඒ අනුව ඔහු රජයේ සහ අදාළ පළාත් සභාවේ නියෝජිතයෙක් විදිහටත් කටයුතු කළ යුතු වෙනවා. සරලව කිව්වොත් තමන්ගේ වසමේ නීතිය හා සාමය ආරක්ෂා කිරීම, සුභසාධන කටයුතු, රජයේ අණ පනත් ක්‍රියාත්මක කිරීම වගේ දේවල් සඳහන් කරන්න පුළුවන්. 

 

 

4. සුදුසුකම්

ග්‍රාම නිලධාරී තනතුර සඳහා තෝරාගැනීම සිදු කරන්නෙ තරග විභාගයකින්. ඒ විභාගයට ලංකාවේ හැම ප්‍රදේශයකින්ම විශාල අයදුම්කරුවන් පිරිසක් සහභාගී වෙනවා. ඉතින් ඒ විභාගයට පෙනී සිටින්නට සම්පුර්ණ කළ යුතු අවම සුදුසුකම් ප්‍රමාණයක් තියෙනවා. ඒ, අදාළ අයදුම්කරු අවුරුදු 21ත් 35ත් අතර කෙනෙක් වෙන්නට ඕනේ. සාමාන්‍ය පෙළ විභාගයේදී මව් භාෂාව සහ ගණිතය ඇතුළුව විෂයන් හතරකට සම්මාන සාමාර්ථ ඇතුව එකවර විෂයන් 6ක් සමත් වී තියෙන්න ඕනේ. ඒ වගේම උසස් පෙළ සියළු විෂය​යන් එකවර සමත් වී තියෙන්න ඕනේ. ඔච්චරයි ඕනේ. හැබැයි ඉතින් ඔය තරග විභාගය ඉතාම තරගකාරී එකක්. ඒ නිසා ඒ විභාගය සඳහා පුද්ගලික පන්ති පවා පැවැත්වෙනවා. 

 

 

5. වගකීම්

ග්‍රාම නිලධාරී තනතුර කියන්නෙ රජයේ තනතුරක්. ඒ කියන්නෙ ග්‍රාම නිලධාරී කියන්නෙ රාජ්‍ය සේවකයෙක්. ඒ නිසා කලින් සඳහන් කළා වගේ ග්‍රාම නිලධාරීන්ගේ ප්‍රධානම වගකීම වෙන්නෙ පළාත් පාලන ආයතනය සහ ගම අතර සම්බන්ධීකරණය සිදු කිරීම. ඉතින් ඒ වගකීම ඉටු කරන්නට මුල් කාලයේ නම් ඉතාම විශාල බලතල ප්‍රමාණයක් ඔවුන්ට ලබා දීල තිබුණත් පසු කාලීනව ඒ වගකීම් ටිකෙන් ටික අඩු වී ඇති බවක් පෙනෙන්නට තියෙනවා. 

 

 

6. ග්‍රාමසේවා වසම්

දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨා​ස 331 කට අදාළව ග්‍රාම නිලධාරී වසම් 14,022ක් දැනට ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒ සියළු වසම් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය යටතේ තමයි පවතින්නේ.  ඒ අනුව එක ගමකට ග්‍රාම නිලධාරී ඇතුළුව අනිවාර්යයෙන් රජයේ සේවකයින් හතරදෙනෙක් ඉන්නවා. ඉතින් ග්‍රාම නිලධාරීන් තමන්ගේ වසමේ අනෙක් රජයේ නිලධාරීන් සමඟ ප්‍රජාවගේ සුභ සිද්ධිය උදෙසා සේවය කරන්න ඕනේ.

 

 

7. පිළිගැනීම

අද වෙද්දී ග්‍රාම නිලධාරී තනතුර යම් තරමකින් පසුබෑමකට ලක් වෙච්ච බවක් පෙනෙන්නට තියෙනවා. ඒකට හේතුව අදා​ළ නිලධාරීන්ට සේවය කරන්නට සිද්ධ වෙලා තියෙන ඉතාම අවම පහසුකම් ප්‍රමාණය සහ ඔවුන්ගේ කාර්යයන් වල තියෙන ඉතාම සංකීර්ණ බව. ඉතින් තමන්ට තියෙන අවම පහසුකම් තු​ළ වුණත් අදාළ පුරවැසියන්ට ඉතාම හොඳින් සේවය සපයන ග්‍රාම නිලධාරී මහත්ම මහත්මීන් අපි අතරේ විශාල ප්‍රමාණයක් තවමත් ඉන්නවා. විශේෂයෙන් මේ කොවිඩ් වසංගතය තු​ළ ඔවුන්ගේ කාර්යභාරය අපි ඉතාමත් ප්‍රශංසා ක​ළ යුතු මට්ටමේ තියෙනවා. 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *