ඔබ නැරඹිය යුතුම ඉන්දියානු වෙබ් සීරිස් හතක්

වර්තමානය වෙද්දි මේ කොවිඩ් තත්ත්වයත් එක්ක සහ අන්තර්ජාල භාවිතාව ඉහළ යෑමත් එක්ක ගොඩක් සිනමා නිර්මාණ සහ ටෙලි නිර්මාණ බිහිවුණේ Netflix, Amazon prime වගේ ott මාධ්‍යන් වල. ඉතින් ඒ වගේ ott මාධ්‍යන් හරහා නිකුත් වුණු ඉන්දියානු වෙබ් සීරීස් කිහිපයක් ගැන අද අපි කතාකරමු.

 

1. Made in Heaven 

මේකත් ගොඩක් ජනප්‍රිය වුණු නිර්මාණයක්. මේකේ පළවෙනි සීසන් එක අධ්‍යක්ෂණය කරන්නේ ජනප්‍රිය කාන්තා අධ්‍යක්ෂකවරියන්ම හතරදෙනෙක් වීම විශේෂත්වයක්. මේකේ තේමාව ඇතුළෙ ඉන්දීය සමාජයේ වෙනස් වෙමින් පවතින සම්ප්‍රදා​යයන් සහ නාගරික ඉන්දීය සමාජයේ ඇතුල්කඩ ගැන කතා වෙනවා. මෙහි කතාව ප්‍රධානවම දිල්ලියේ වෙඩින් ප්ලෑන් කරන ඒජන්සියක් වටේ දිවෙන්නක්. ඒ වුණත් මේ කතාවේ තව ගොඩක් දේ කතා වෙනවා. සමාජ සම්මතයන් සහ අසම්මතයන් තුළ ගෙවෙන ඉන්දීය නාගරික ජීවිත ගැන වෙනස්ම අත්දැකීමක් ලබන්න කැමති අයට බලන්න පුළුවන් හොඳ කතාවක් මේ.

 

2. Delhi Crime 

ලෝකය පුරාවටම අතිශය ආන්දෝලනයකට තුඩු දුන් සිද්ධියක් තමයි නිර්භයාගේ සමූහ දූෂණය. මේ නිර්මාණයට පාදක වෙන්නෙත් ඒක. ඒත් ඒ අතිශය අමානුෂික සිදුවීම නම් මේ කතාමාලාවේදී පෙන්වන්නේ නම් නෑ. ඒ අපරාධයෙන් අනතුරු​ව ​ඒ අපරාධයට සම්බන්ධ දූෂකයින්ව ඉහළ පොලිස් නිලධාරිනියක​ගේ මෙහෙයවීම යටතේ අත්අඩංගුවට ගන්නා ආකාරය තමයි නිර්මාණය පුරාවටම තියෙන්නේ. හැබැයි මුළු කතාව පුරාවටම සෑහෙන්න කුතුහලයක් තියෙනවා. ඒ වගේම කතාවට අවශ්‍ය සංවේදී බවත් මේ නිර්මාණය තුළ තියෙනවා. ඉතාම සුළු ඉඟි කිහිපයකින් අපරාධකරුවන් පසුපස හඹා යන මෙහෙයුම් වගේම පොලිස් නිලධාරීන්ගේ ජීවිත ගැනත් මේ කතාව පුරාම දිගහැරෙනවා. 

 

3. Inside Edge 

ක්‍රිකට් ෆෑන් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම බලන්න ඕනේ කතාවක් තමයි මේ. ක්‍රිකට් වල අපිට පේන දේට යටින් සැඟවුණු විවිධ කරුණු කාරණා මේ නිර්මාණයේ අන්තර්ගත වෙලා තියෙනවා. විශේෂයෙන් ක්‍රිකට් ලෝක​යේ සිදු වන විවිධ දූෂණ, අල්ලස්, සමලිංගිකත්වය සහ ආදරය මේ ඔක්කොම මේ නිර්මාණය ඇතුළේ තියෙනවා. මුම්බායිහි ක්‍රිකට් සමාජයක් සහ ඒ වටා ඉන්න අයගෙ ජීවිත ගැන තමා මේකෙ තියෙන්නෙ. මේකෙ සීසන් තුනත් ළඟදීම බලන්න ලැබේවි.

 

4. Family Man 

ඉන්දියාවේ හදපු හොඳම වෙබ් සීරිස් එක මේක බව තමයි ​ගොඩ දෙනෙක්ගෙ අදහ​ස. ඒත් හොඳම දේ මොකක්ද කියන කාරණේ එක එක්කෙනාට සාපේක්ෂයි නේ. ඇත්තම කිව්වොත් මේ නිර්මාණය තුළ නැති දෙයක් නම් නෑ. ආදරය, ත්‍රාසය, කුතුහලය, හාස්‍ය​ය මේ ඔක්කොම තියෙනවා. මේකේ දැනට සීසන් දෙකක් නිකුත් වුණා. වෙබ් සීරීස් බලන කෙනෙක් නැරඹිය යුතුම කතාවක් කියන්නත් පුළුවන්. මොකද ඉතාම සරල සහ හෙමින් ගලාගෙන යන කතාවක් තමා මේකෙ තියෙන්නෙ. 

 

5. Mirzapur 

මේකත් ගොඩක් හොඳ ප්‍රතිචාර ලබාගත්ත නිර්මාණයක්. වෙබ් සීරීස් වලට කැමති අය නම් අනිවාර්යයෙන්ම නැරඹිය යුතු කතාවක් කියල බය නැතුව කියන්න පුළුවන්. මේකට පාදක වෙන්නෙ කාලීන් භයියා කියන මැරයෙකුගේ යටතේ පාලනය වන මිර්සාපූර් නම් නගරය. ඉතින් ඒ නගරය තුළ කාලීන් භයියාගේ පාලනයට නතුවන පවුලක් සහ ඒකට අදාල සිදුවීම් දාමයක් තමයි තනිකරම මෙ නිර්මාණය තුළ තියෙන්නේ. බලය සහ බලය වටා ජීවිත හැඩගැහෙන, වෙනස් වෙන හැටි මේ කතාව ඇතුළෙ අපූරුවට පෙන්නල දෙනවා. නොහිතන සිදුවීම් ගොඩක් මේ කතාව ඇතුළෙ සිද්ධ වෙනවා. කුතුහලය උපරිම තැනක තියන් බලන්න පුළුවන් කතාවක්.

 

6. Scared  Games 

මේක නම් මේ ලිස්ට් එකට එකතු නොවුණොත් ලොකු අඩුවක්. මේක අනිවාර්යයෙන්ම ගොඩක් අය නරඹපු එකක් වෙන්න ඇති. කුතුහලය රඳවගෙන නිර්මාණයම රසවිඳින්න පුළුවන්. ඒ වගේමයි ගොඩක් ජනප්‍රිය රංගන ශිල්පීන් රංගනයෙන් දායක වෙනවා. ඉන්දීය ජනතාව අතර ඉහළින්ම වැජඹෙන දර්ශනවාදය සහ සාධුවරුන්ගේ සමාජයත්, පාතාලය සහ ඒ සම්බන්ධ සමාජයත් මේ නිර්මාණය ඇතුළෙ කතාබහට ලක් වෙනවා. අනිවාර්යයෙන්ම ඔබ මග නොහැරිය යුතුම නිර්මාණයක්.

 

7. November Story 

මේක නම් ගොඩක් අය නරඹලා ඇති. ගොඩක් ජනප්‍රිය වුණු නිර්මාණයක්. ඒකට හේතුව මේකට රංගනයෙන් දායක වෙන්නේ ගොඩක් අයගේ ක්‍රශ් එකක් වී හමාර තමන්නා භාටියා. ඉතින් ඇය තමයි මෙහි ප්‍රධාන චරිතය. මේකට පාදක වෙන්නේ 1995 නොවැම්බර් මාසයේ එක් දවසක සිද්ධ වුණු අභිරහසක්. ඒ ගැන වැඩිය කියන්න යන්නෙ නෑ. නොබලපු කෙනෙක් නම් අනිවාර්යයෙන්ම බලන්න. කුතුහලය හොඳින්ම රඳවපු කතාවක් කිව්වොත් නිවැරදියි. 

 

මේ නිර්මාණ නොබැලුවා නම් අනිවාර්යයෙන්ම බලන්න. හැම නිර්මාණයක්ම හොඳින් රසවිඳින්න පුළුවන් විදියේ නිර්මාණ. ඉතින් මේ දේවල් යාළුවො එක්ක බෙදාගන්නත්, ඔයාලා මේ නිර්මාණ නරඹලා තියෙනවා නම් ඒ ගැන අදහස් අපි එක්ක බෙදාගන්නත් අමතක කරන්න එපා ඔන්න. 

 

 

ශශින් ප්‍රබෝද්

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *