ATM එකකට ගිහින් හරියට හැසිරෙන්නේ මෙහෙමයි!

දැන් අපි ගොඩක් දෙනෙක් පර්ස් එකේ සල්ලි පුරෝගෙන ඉන්නෙ නැහැනේ. බැංකුවේ එකවුන්ට් එකේ තමයි සල්ලි තියෙන්නේ. අවශ්‍ය වෙලාවට ATM එකකට ගිහින් තමයි සල්ලි ගන්නේ. අනික් එක, දැන් හැම බැංකුවකින්ම වගේ තමන්ගේ පාරිභෝගිකයින්ව දිරිමත් කරන්නේ බැංකු කටයුතු වලට බැංකුව ඇතුළට ගිහින් පෝලිමේ ඉඳලා බැංකු නිලධාරීන්ට වද දෙන්නෙ නැතුව, ATM එකකට ගිහින් කරගන්න පුළුවන් බැංකු වැඩ එතනින්ම කරගන්න කියලා තමා. ඇත්තටම දැන් වෙනකොට ATM එකකට ගිහින් කරන්න පුළුවන් සල්ලි ගන්න එක විතරක් නෙවෙයි. ATM එකකට හරි බිල් ගෙවන්න විතරක් ATM එක්කම පිහිටුවලා තියෙන කියොස්ක් එකකට හරි ගිහින් අපිට සල්ලි දාන්න, බිල් ගෙවන්න වගේ නොයෙකුත් වැඩ කරගන්න පුළුවන්. ඉතින් ඒ හින්දම දැන් ගොඩක් මිනිස්සු ATM ගාවට යනවා.

දැන් ඔහොම ATM එකකට ගිහින් තමන්ගේ වැඩ කරගන්නකොට, හැසිරෙන්න ඕන කොහොමද? ඇත්තටම ඔය සමහර දේවල් නම් අමුතුවෙන් කියලා දෙන්න ඕන තරම් දේවල් නෙවෙයි. ඕනම සාමාන්‍ය දැනීමක් තියෙන මනුස්සයෙක් සරලව දැනගන්න ඕන ආචාර ධර්ම, ATM මැෂින් එකක් ලඟදිත් පිළිපදින එක හොඳයි. හැබැයි සමහරු ඒ බේසික් දේවල් ගැනවත් අවධානයක් නැති නිසා, අපි හිතුවා ATM එකකට ගිහින් හරියට හැසිරෙන්න ඕන කොහොමද කියලා පොඩ්ඩක් සිහිපත් කරලා දෙන්න!

 

1. මීටරෙන් ඉන්න

මේක ඉතින් මේ කොවිඩ්-19 තාමත් කරකැවෙමින් තියෙන, ඔමික්‍රෝන් වගේ වේගෙන් පැතිරෙනවා කියන අලුත් කොවිඩ්-19 ප්‍රභේදත් ලෝකේ සංසරණය වෙන කාලේ අනිවාර්යයෙන්ම පිළිපදින්න ඕන දෙයක්. ATM එකේ පෝලිමේ ඉන්නකොට ගිහින් පුළුවන් තරම් ඉස්සරහා ඉන්න කෙනාගේ ඇඟේ ඇලෙන්න එපා. මීටරේ දුර තියාගෙන ඉන්න. එහෙම නැතුව පුළුවන් තරම් ATM එකේ ඉස්සරහ ඉන්න මනුස්සයගේ ඇඟේ ඇලෙන්න හිටියා කියලා අපිට ඉක්මනටම සල්ලි ගන්න යන්න පුළුවන් වෙන්නෙ නෑ. අන්න ඒ නිසා, ඉවසීම වැදගත්. එහෙම නැතිනම් ATM එකට ගිහින් සමහර විට කොරෝනත් හදාගෙන, නැතිනම් තව කෙනෙක්ට කොරෝනත් බෝ කරලා තමයි එන්න වෙන්නේ!

 

2. කුතුහලේට බැලුවේ!

සමහරු ඉන්නවා, දැන් එක්කෙනෙක් ATM එක ඇතුළට ගිහින් ඒකෙන් සල්ලි ගන්නකොට හෙනම කුතුහලේ. උකුස්සා වගේ බලාගෙන ඉන්නවා මොකද්ද ගහන පින් නම්බර් එක, කීයක් ගන්නවද වගේ ඔක්කොම දේවල් ටික. මොකටද ඇත්තටම එහෙම අනුන්ගේ දේවල් හොයන්නේ? අලුතෙන් ATM සීන් එක දැකපු නිසා ආස හිතිලද? හැබැයි ATM එකෙන් සල්ලි ගන්න කෙනා හිතන්න පුළුවන්, අපි එහෙම එබි එබී, ඉස්සි ඉස්සි බලාගෙන ඉන්නේ පින් නම්බර් එක බලාගෙන, ඊට පස්සේ ATM කාඩ් එක උස්සලා වැඩක් දෙන්න කියලා. නිකම් මිනිස්සුන්ගේ හිත්වලට අනවශ්‍ය සැකයක් ඇති කරන්න වුවමනා නැහැනේ. අනික් එක, ඒක හරිම අශීලාචාරයි. වෙන කෙනෙක් තමන්ගේ ATM කාඩ් එක පාවිච්චි කරලා මැෂින් එකෙන් කරන දේවල් පුද්ගලිකයි. අන්න ඒ පුද්ගලිකත්වයට හොම්බ දාන්න යන්න එපා!

 

3. අපි එකට තුරුලු වෙලා ඉමු ATM කූඩුවේ

මේක ඉතින් ඔය ලව්බර්ඩ්ස්ලා එහෙම ATM එකකට ගියාට පස්සේ තියෙන සීන් එකක්. දැකල තියෙනවනේ සාමාන්‍යයෙන් ATM මැෂින් තියෙන්නේ බොහොම පොඩි ඉඩක, ආරක්ෂිත විදියටනේ. ඔය ලොකු තැන්වල නම් ATM මැෂින් තුන හතරක් දාලා තියෙනවා. ඉතින් ඔන්න ලව්බර්ඩ්ස්ලා දෙන්නගෙන් කොල්ලා වුණත් සල්ලි ගන්න යන්නේ, කෙල්ලත් රිංගනවා එතනට. දැන් ඉතින් එතන තුරුල් වෙලා, අත් අල්ල අල්ලා, ATM කාඩ් එකටත් කිස් එකක් දීලා තමයි ඇතුළට දාන්නේ. සමහරුන්ට ආපු වැඩේ මතකත් නෑ, තනිකර ඇඩම්ස් ඔන්ලි ෆිල්ම් පෙන්නනවා ATM එක ඇතුළේ. ඕක ඒ තරම් ශීලාචාර වැඩක් නෙවෙයි කියලා කෙනෙක් කියයි. හැබයි අපි කියන්නේ එහෙම දෙයක් ගැන නෙවෙයි, අනික් මිනිස්සුන්ගේ කාලේ නාස්ති කරන්න අපිට අයිතියක් නෑ! ලව් කරන්න නං ඉතින් රූම් එකක් ගන්නත් පුළුවන්, බොක්ස් එකක ෆිල්ම් එකක් බලන්න යන්නත් පුළුවන්. ඕකට ATM එක ඇතුළට රිංගන්න ඕන නැහැනේ!

 

4. ATM එකේ කාල නාස්ති කාරයෝ!

ගොඩක් වෙලාවට ATM යන්ත්‍රයකින් වැඩ කටයුතු කරන්න නොදන්න ආධුනිකයෝ එහෙම සෑහෙන්න කරන දෙයක් තමයි මේක. ඒ තමයි, ATM එක ඇතුළට ගිහින් පැය ගණන් වෙලාව ගන්න එක. ඔන්න මුලින් ATM එක ඇතුළට යනවා. ඇතුළට ගිහින් පර්ස් එකෙ තියෙන රිසිට් අනං මනං ඔක්කොම අතරේ කාඩ් එක හොයනවා, අන්තිමට අමරුවෙන් කාඩ් එක හොයාගෙන, මැෂින් එකට කාඩ් එක දානවා. ඊට පස්සේ බලනවා බැලන්ස් එක. කාඩ් එක එළියට ගන්නවා ඊලඟට. ඊට පස්සේ ආයෙමත් කාඩ් එක දානවා. හෙමිහිට හෙමිහිට බොත්තම් ඔබලා සල්ලි ටික ගන්නවා. ඊට පස්සේ රිසිට් එකත් අරගෙන, ඔන්න ආයෙමත් ATM කාඩ් එක ඇතුළට දානවා. දැන් ගිහින් බලනවා බැලන්ස් එක. එහෙම කරලා, ATM එක ඇතුළෙම ඉඳගෙන සල්ලිත් ගණන් කරනවා. දැන් ඔය ඔක්කොම එක පාරින් කරගන්න තිබ්බා නේද? අනික් එක, බැලන්ස් එක මුලින් බැලුවට පස්සේ, තමන් ගන්න ගාණ ඒ ගාණින් අඩු කරලා ගණන් හදාගන්න බැරිද? අනික් අයගෙන් කාලෙ නාස්ති කරන්න ඕනැද ඕකට?

මෙතනදී ඉතින් අර වයසක ආච්චි අම්මලට, ATM එකකින් වැඩ කරන්න දන්නෙ නැති ආධුනිකයන්ට එහෙම අපි අනුකම්පා කරන්න ඕන. හැබැයි ඉතින් මේ දියුණු වෙන ලෝකේ, ඔය වගේ ATM මැෂින් එකකින් වැඩ කරන විදිය පළවෙනි දෙවෙනි පාර වෙනකොට ඉගෙන ගන්නත් ඕන එහෙම නැතුව බෑ!

 

5. රිසිට් පික්කෝ

මේ නං ATM වල ඉන්න දේව සාප. දැන් ATM මැෂින් එකකින් සාමාන්‍යයෙන් අදාළ ගනුදෙනුවට රිසිට් එකක් එළියට එනවා අවශ්‍ය නම්. ඒක අවශ්‍ය නම් තමයි ගන්න තියෙන්නේ. ඔය රිසිට් එක ඇත්තටම අවශ්‍ය වෙන්නේ සමහර වෙලාවට වෙනත් කෙනෙක් වෙනුවෙන් අපි සල්ලි ගන්නවා නම්. එහෙම නැතිනම් වෙනත් කෙනෙක්ට බැලන්ස් එක ගැන සාක්ෂියක් ඉදිරිපත් කරන්න අවශ්‍ය වුනොත් වගේ දේකට තමයි. හැබැයි අපි මේ කිව්ව තාලේ උන්දැලා මේක අවශ්‍ය නම් නෙවෙයි ගන්නේ. ආතල් එකට. සමහරු, රිසිට් එක ඕනැයි කියලා බට්න් එක ප්‍රෙස් කරලා, රිසිට් එක එළියට ආවට පස්සේ ඒක කුණු කූඩෙට දාලා යනවා. ඒකට එක හේතුවක්, ATM මැෂින් එකේ එන උපදෙස් හරියට කියවන්නෙ නැති කම. ඉතින් අපරාදෙ කුණුත් ගොඩගැහෙනවා, කඩදාසිත් අපරාදේ. නිරපරාදේ තමන්ගේ එකවුන්ට් එකෙන් රුපියල් පහකුත් කැපෙනවා!

 

6. වැඩි වැඩ වලට ඇතුළට යන්න

සමහර වෙලාවට අපිට නිකම්ම කාඩ් එක දාලා සල්ලි ගන්න එක විතරක් නෙවෙයිනේ කරන්න තියෙන්නේ. සමහර වෙලාවට අපිට එකවුන්ට්ස් කීපෙකට සල්ලි දාන්න සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේ තව වෙලාව යන, ගනුදෙනු කීපයක් බැංකුව හරහා කරන්න සිද්ධ වෙන්න පුළුවන්. අන්න එහෙම වෙලාවකට, විශේෂයෙන්ම ATM එක ගාව පෝලිම් ගැහිලා මිනිස්සු සල්ලි ගන්න බලාගෙන ඉන්න වෙලාවට තමන්ගේ ගනුදෙනු කීපයම එතනින් කරගෙන එන්න ඉන්න එපා කියලා තමයි අපි කියන්නේ. හේතුව, හැමෝටම වැඩ තියෙනවා. හැමෝටම හදිසියි. ඉතින් ඒ වගේ ගනුදෙනු කීපයක් කරගන්න තියෙනවා නම්, එක්කෝ බැංකුව ඇතුළට ගිහින් ඒ වැඩ ටික කරගන්න පුළුවන්. එහෙම නැතිනම් වඩාත් පහසු ක්‍රමය තමයි ඔන්ලයින් බෑන්කින්. දැන් කාලේ හැම බැංකුවකින්ම පිරිනමන ඔන්ලයින් සිස්ටම් එකක් පාවිච්චි කරලා, පහසුවෙන්, ගෙදර ඉඳන්ම ඒක කරගන්න පුළුවන්.

 

7. ආරක්ෂාවට ගරු කරන්න

සාමාන්‍යයෙන් ATM මැෂින් එකකට දැඩි ආරක්ෂාවක් තියෙනවා. හේතුව, ඒක විවෘතයි ඕනම වෙලාවක ඕනම කෙනෙක්ට සල්ලි ගන්න. අනික, ATM මැෂින් එකක් වගේම, ATM මැෂින් එකකින් සල්ලි ගන්න එන අයත් හොර හතුරන්ට ඉලක්ක වෙන්න පුළුවන්. අන්න ඒ නිසා, ATM මැෂින් එකකට සපයලා තියෙන ආරක්ෂාවට ගරු කරන්න. ෆුල් ෆේස් හෙල්මට් අනං මනං දාගෙන ATM මැෂින් එක ගාවට නොයන්න. අනික, එතන තියෙන කැමරා වලට එක එක විකාර කරන්නත් නොයන්න. ඒ වගේම, දැන් කාලේ ATM මැෂින් එක  ගාව තියලා තියෙන සැනිටයිසර් එකෙන් අත පිරිසිදු කරගත්තට කමක් නෑ, කරුණාකරලා ඒක ෂේප් එකේ ගෙදර අරගෙන එනවා වගේ කැත වැඩත් නොකරන්න.

 

දැන් පැහැදිලියි නේද ATM එකකට ගිහින් හැසිරෙන්න ඕන විදිය? මේ විදියට වැඩ කළොත් අපිටත් පහසුයි, ATM එකට ආපු අනික් අයටත් පහසුයි, බැංකුවටත් පහසුයි!

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *