කොරෝනා වසංගතය නිසා අපිට ලැබුණු එක තෑග්ගක් තමයි ෆේස් මාස්ක් එක කියන්නෙ. දැන් තියෙන තත්ත්වය අනුව නම් අපිට තව අවුරුදු ගාණක් යනකන් මේ තෑග්ග අයින් කරන්න පුළුවන් වෙන මට්ටමක් නෑ. ඉතින් මේ මාස්ක් එක දාන එක අපේ ආරක්ෂාවට ලොකු උදව්වක් වගේම ගොඩක් ලොකු කරදරයක් හැමෝටම වගේ. හැමෝම බලන් ඉන්නෙ කොරෝනා ෆ්‍රී කාලයක් එනකන්. ඒකට ප්‍රධානම හේතුවක් මේ මාස්ක් එක පළඳින්න තියෙන අපහසුතාවය. ඉතින් අපි අද බලමු මොනාද මේ මාස්ක් එක නිසා අපිට ඇතිවෙලා තියෙන ගැටළු, ඒ වගේම මොනවද ඒවාට තියෙන පහසු විසඳුම් කියලා.
1. මුහුණේ සම වියළීම
මාස්ක් පැළඳීම නිසා බහුතරයකට ඇති වෙලා තියෙන ලොකුම ගැටළුවක් තමයි මුහුණේ සම වියළීම කියන ගැටළුව. බොහෝ වෙලාවක් ෆේස් මාස්ක් එකක් පළඳින කෙනෙක් නම් වැඩි වෙලාවක් මුහුණ ආවරණය වී තිබීම නිසා මුහුණේ සම වියළීමේ තත්ත්වයක් ඇතිවෙන්න පුළුවන්. ස්වභාවයෙන්ම වියළි සමක් තියෙන කෙනෙක්ට මේ තත්ත්වය ටිකක් දරුණු විදිහට බලපාන්න පුළුවන්. ඉතින් කාලයක් මේ තත්ත්වය පැවතුණොත් තවත් සමේ ගැටළු ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා ඔයාගේ සමේ මේ වගේ තත්ත්වයක් ඇති වෙලා තියෙනවා නම් ඉක්මනින් ප්‍රතිකර්මයක් කළයුතු වෙනවා. හොඳ වර්ගයේ මොයිස්චරයිසින් ක්‍රීම් එකක් භාවිතා කිරීමෙන් වගේම නිතර මුහුණට හොඳ සත්කාරයන් කරගැනීමෙන් මේ තත්ත්වය පාලනය කරගන්න පුළුවන්.
2. කුරුලෑ
කුරුලෑ ඇතිවීම කියන්නෙ සම වියළීම කියන ගැටළුවට පස්සේ වැඩිපුරම අහන්න ලැබෙන ගැටළුවක්. වැඩිපුර තෙල් සහිත සමක් තියෙන අයට ඇතිවෙන ගැටළුවක් වුණත් සාමාන්‍යයෙන් කුරුලෑ නැති කෙනෙක්ට වුණත් ෆේස් මාස්ක් එකක් නිතර වැඩි කාලයක් පැළඳීම නිසා සමේ කුරුලෑ හටගන්න පුළුවන්. කුරුලෑ ඇති වීම හරහා පසුකාලීනව සම අවපැහැවීම වගේ ගැටළුත් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ ගැටළුවට විසඳුමක් වෙන්නෙ නම් මාස්ක් පැළඳගෙන ඉන්න අතරෙත් නිතර මුහුණේ සම පිරිසිඳු කිරීමයි. හෝදන්න අපහසු එළිමහන් තැනකදීනම් හොඳ වර්ගයක වෙට් ටිෂූ එකක් භාවිතා කරලා මුහුණ පිරිසිඳු කරගන්න පුළුවන්.
3. තොල් වියළීම සහ ඉරි තැලීම
තොල් වියළීම සහ ඉරි තැලීමත් ගොඩක් අයට තියෙන ගැටළුවක්. මාස්ක් එක පැළඳීම නිසා වෙන තවත් දෙයක් තමයි වතුර පාවිච්චිය අඩු වෙන එක. ඒ හේතුව නිසාත් ගොඩක් තොල් වලට අවශ්‍ය වාතාශ්‍රය නොලැබීමත් නිසා මේ විදිහට තොල් වියළීම ඇති වෙන්න පුළුවන්. තොල් වියළීමේ පසු අවස්ථාව විදිහට තොල් ඉරිතැලීම් ඇති වීම දකින්නට ලැබෙනවා. ඉතින් මේ ගැටළුවට තියෙන එක විසඳුමක් තමයි නිතර ජලය පානය කිරීම. ඒ වගේම ලිප් බාම් එකක් භාවිතයෙනුත් තොල් ආරක්ෂා කරගන්න පුළුවන්.
4. සමේ රෝග ඇතිවීම
මුහුණේ සම නිතර මාස්ක් එක නිසා ආවරණය වී තිබීම, මුහුණට අවශ්‍ය වාතාශ්‍රය නොලැබීම සහ දහදිය සහ දුහුවිලි මාස්ක් එක ඇතුළත රැඳීම කියන කාරණා නිසා ඇති වෙන්න පුළුවන් තව ගැටළුවක් තමයි නොයෙක් සමේ රෝග. ඒ කියන්නෙ රෑශස් වගේ දේවල් ඇති වීම. මේ ගැටළුව පොදුවේ හැමෝටම තියෙන ගැටළුවක් නොවුණත් සමහර අයට මාස්ක් එක නිසා නොයෙක් සංකූලතා ඇති වෙන්න පුළුවන්. ඒකට ඔයාගේ සාමාන්‍ය සමේ තත්ත්වයත් බලපානවා. ඔයාට දැනටමත් යම් සමේ රෝගයක් තියෙනවා නම් මුහුණේ ඒ වගේම තත්ත්වයක් මාස්ක් එක නිසා ඇති වෙන්න පුළුවන්. මේකටනම් වෛද්‍ය උපදෙස් ලබාගැනීම තමා එකම විසඳුම.
5. කන් තුවාල වීම
හැමෝටම පොදුවේ තියෙන ප්‍රශ්නයක් තමයි මාස්ක් එකක් නිතර පැළඳීම නිසා කන් පිටුපස වේදනා හටගැනීම සහ තුවාල වීම. නිතර මාස්ක් එක බෙල්ලටයි නහයටයි මාරු කරනවා නම් තව වැඩියෙන් වේදනාව ඇති වෙන්න පුළුවන් වගේම කන් පිටුපස තුවාල ඇතිවෙන්න පුළුවන්. මේ ගැටළුව විසඳගන්න පිටුපසින් ගැටගසන මාස්ක් පාවිච්චියත් මාස්ක් එක රඳවන්න හිස පිටුපසින් සවිකරගන්න පුළුවන් කුඩා අයිතමයක් මිලදී ගැනීමත් තෝරාගන්න පුළුවන්.
6. මුඛ දුර්ගන්ධය
තවත් ගොඩක් අයට තියෙන ගැටළුවක් තමයි මාස්ක් එක පැළඳීම නිසා මුඛයේ දුර්ගන්ධයක් වාහනය වීම. කලින් කිව්වා වගේ මුඛය අවට වාතාශ්‍රය අඩුවීම නිසා මේ වගේ ගැටළු ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම ජලය පානය කිරීම අඩු වීමත් මේ ගැටළුව ඇතිවෙන්න එක හේතුවක් වෙනවා. මාස්ක් එක නිසා මුඛයේ දුර්ගන්ධය පිටට නොදැනුණාට ඒක තමන්ටම අමිහිරි අත්දැකීමක් වෙන්න පුළුවන්. ඒ වගේම හදිසියේ මාස්ක් එක ගලවලා කතාකරන්න වෙන අවස්ථාවක් වුණොත් දෙපාර්ශවයම අපහසුතාවයට පත්වෙන්න පුළුවන්. මේකට විසඳුමක් විදිහට නිතර මින්ට් වැනි ටොෆි වර්ග හෝ බබ්ල්ගම් ආහාරයට ගැනීමත්, හොඳ වර්ගයක මවුත් වොෂ් එකක් භාවිතා කිරීමත් සිදුකරන්න පුළුවන්.
7. කණ්ණාඩි පැළඳීමේදී ඇති වෙන ගැටළු
ෆේස් මාස්ක් පැළඳීම නිසා කණ්ණාඩි පළඳින අයට ඇති වෙන විශේෂ ප්‍රශ්නයක් තමයි මේ. ඇස් කණ්ණාඩි පළඳින අයට හුස්ම ගැනීමේදී වාතය නාසය දෙපසින් පිට වී කණ්ණාඩි වීදුරුවේ පටලයක් බැඳීම තමයි මේ ගැටළුව. ඉතින් කණ්ණාඩි පළඳින අයට කරන්න පුළුවන් පිළියමක් තමයි කුඩා ප්ලාස්ටර් කැබලි දෙකක් ඒ වාතය එහා මෙහා යන සිදුරු වැහෙන විදිහට අලවන එක. ඒකෙන් ඒ ප්‍රශ්නය වගේම විෂබීජ ඒ කුහර හරහා ශරීරයට ඇතුළු වීමත් අවම වෙනවා.
Leave a Reply