ලෝකයේ විවිධ අයගේ විනෝදාංශ එකිනෙකට වෙනස්. අපේ රටේ සමහර අය මුද්දර, කාසි ආදිය එකතු කරද්දී ඇතැම් ධනවතුන් පැරණි කාර්, ගෙවල් ආදිය එකතු කරනවා. ඊට සාපේක්ෂව විදේශ රට වල ධනවතුන් තම වත්කමෙන් වැඩි කොටසක් වෙන් කරන්නේ කලා නිර්මාණ එකතු කිරීම සඳහායි. ඒ හරහා තමන්ගේ කලා රසඥතාවය වගේම තමන්ගේ වත්කම් වල ප්‍රමාණයත් වැඩි කරගැනීම ඔවුන් සිද්ධ කරනවා. පහුගිය දවස්වල හෙළිදරව් වුණු නිරූපමා රාජපක්ෂ, තිරු නඩේෂන් සම්බන්ධ සිද්ධියේදී ඔවුන් විසින් ද කලා නිර්මාණ කීපයක් ස්විස්ටර්ලන්තයේ තැන්පත් කළ බව කියවෙනවා. මේ නිසා අපේ රටේ ඉතාමත් සුළුතරයක් වන ධනවතුන් පිරිසක්ද කලා නිර්මාණ සඳහා ආයෝජනය කරන බව කියන්න පුළුවන්. අපි අද කතා කරන්න යන්නේ ලෝකයේ වැඩිම මුදලක් ගෙවමින් වෙන් කරගත්ත පැරණි කලා නිර්මාණ කීපයක් පිළිබඳව.
1. පියාපත් සහිත දෙවියාගේ පාෂාණ ප්‍රතිමාව (Stone Relief of a Winged Genius)
2018 වසරේදී ඇමෙරිකානු ඩොලර් මිලියන තිස් එකකට විකිණුනු මෙම නිර්මාණය සැලකෙන්නේ පැරණි කලා නිර්මාණයක් සඳහා යම්කිසිවකු විසින් ගෙවන ලද ඉහළම අගයක් සහිත නිර්මාණයක් ලෙසයි (ඇතැම් වාර්තා වලට අනුව තවත් කලා නිර්මාණයකට මීට වඩා වැඩි මුදලක් ගෙවා තිබුණත් එය සිදු වී තිබෙන්නේ 2007 වසරේදී). පුරාණ ඇසිරියානු රජමාළිගයේ අලංකාරයට ඉදිකර තිබෙන මෙම නිර්මාණය මගින් රජුගේ දේවත්වය නිරූපණය කළ බව කියවෙනවා. මෙම මාළිගය ගවේෂණය කළ පුරාවිද්‍යාඥයන් විසින් මෙම ප්‍රතිමාව රැගෙන ගොස් තිබුණ අතර, පසුව එය වෙන්දේසි වුණා.
2. හේඩ්රියන් අධිරාජ්‍යයාගේ කිරිගරුඬ ප්‍රතිමාව (Marble Statue of the Emperor Hadrian)
රෝම අධිරාජ්‍යයන් අතරින් විශිෂ්ටයෙකු ලෙස සැලකෙන හේඩ්රියන් අධිරාජයාගේ මෙම සම්පූර්ණ ප්‍රතිමාව සැලකෙන්නේ පුරාණ ලෝකයේ පිළිම ඇඹීමේ කලාවේ විශිෂ්ටත්වය නිරූපණය කරන සාක්කියක් ලෙසයි. නව රෝම අධිරාජයකු බලයට පත්වූ වහාම ඔහුගේ රුව රැගත් කාසි නිකුත් කිරීම සේම අධිරාජ්‍යය පුරා ඔහුගේ ප්‍රතිමා ස්ථාපනය කිරීම එකල සිදු කරනු ලැබුවා. මෙම ප්‍රතිමාවද එසේ ඉදිකරන ලද ප්‍රතිමාවක් ලෙස සැලකෙනවා. මෙම නිර්මාණය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 6 ක මුදලක් ගැනුම්කරු විසින් වැය කරනු ලැබූ අතර එම වෙන්දේසිය සිදුවූයේ 2018 වර්ෂයේදීයි.
3. ටූටන්කාමන්ගේ ලක්ෂණ රැගත් ආමෙන් දෙවියාගේ හිස (Head Of Amen with Features of Tutankhamen)
ඊජිප්තුව පාලනය කළ පාරාවෝ රජවරු අතරින් බාහිර ලෝකය වඩාත්ම දැන සිටින පාරාවෝවරයා ලෙස සැලකෙන්නේ ටූටන්කාමෙන් පාරාවෝවරයායි. ඊට හේතුව වන්නේ ඔහුගේ පිරමීඩය විවෘත කිරීමෙන් පසුව ඇතිවුණු ගුප්තමය මරණ වැලයි. මේ පිළිබඳව ප්‍රතිවාදී අදහස් පවතිනවා. කෙසේ නමුත් එහිදී හමුවූ එක්තරා ප්‍රතිමාවකින් ඊජිප්තු වාසීන්ගේ ගෞරවාදරයට පාත්‍ර වූ ආමෙන් දෙවියාගේ ස්වරූපය මෙන්ම ටූටන්කාමන් පාරාවෝවරයාගේ ස්වරූපය ද මිශ්‍රව නිරූපණය වුණා. පාරාවෝ යනු ජීවමාන දෙවියෙක්ය යන සංකල්පය ප්‍රවර්ධනය කිරීම සඳහා මෙම ප්‍රතිමා භාවිතා වී ඇති බව සිතන්නට පුළුවන්. මෙම කලා නිර්මාණය එදා 2019 වසරේ දී බ්‍රිතාන්‍ය පවුම් මිලියන 5ක මුදලකට වෙන්දේසියකදී විකිණුනා.
4. ඩිඩියස් ජුලියනස් අධිරාජ්‍යයාගේ උඩුකය ප්‍රතිමාව (Bust of Emperor Didius Julianus)
මෙම අධිරාජ්‍යයා රෝමය පාලනය කර ඇත්තේ මාස දෙකකට ආසන්න කාලයක් පමණයි. කෙසේ නමුත් ඊට පෙර සොල්දාදුවෙකු ලෙස ඔහු රෝමය තුළ ජනප්‍රියත්වයක් උසුලා තිබෙනවා. ඔහුගේ ශරීර ස්වභාවය මැනැවින් නිරූපණය වන පරිදි සකසා තිබෙන මෙම උඩුකය ප්‍රතිමාව ඇමෙරිකානු ඩොලර් මිලියන 5 ක මුදලකට 2018 වසරේදී විකිණුනේ සියළු දෙනාම පුදුමයට පත් කරමින්. වෙන්දේසිකරුවන් පවා මේ සඳහා බලාපොරොත්තු වී තිබුණේ ඩොලර් මිලියනයත් දෙකත් අතර මුදලක් පමණයි.
5. කවියෙකුගේ ප්‍රතිමාව (Sculpture of a Poet)
මෙම ප්‍රතිමාව පිළිබඳව අධ්‍යයනය කළ බොහෝ කලා විශේෂඥයන් විශ්වාස කරන්නේ මේ මගින් රෝම කවියෙකු නිරූපණය වන බවයි. සාමාන්‍යයෙන් මෙවැනි ප්‍රතිමා ඉදිකර තිබෙන්නේ එවැනි කලාකරුවන්ගේ අළු තැන්පත් කිරීම සඳහා වන නමුත් මෙම ප්‍රතිමාවේ එවැනි අළු තැන්පත් වීමක් සිදු කර ඇති බවට සාධක හමු වුණේ නැහැ. ගැනුම්කරුවෙකු විසින් 2019 වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන හතරක මුදලක් මේ සඳහා ගෙවනු ලැබුවා.
6. සෙක්මට් පාෂාණ ප්‍රතිමාව (Stone Figure of Sekhmet)
පුරාණ ඊජිප්තුවේ තීබ්ස් නගරයේ ඉදි කරවනු ලැබූ ප්‍රධාන පූජා ස්ථානය මෙවැනි ප්‍රතිමා 600 කින් සමන්විතව තිබූ බව පුරා විද්‍යාඥයන් විශ්වාස කරනවා. මෙම සියළු ප්‍රතිමා එකිනෙකට සර්වසමව නිම කර තිබූ අතර මේ මගින් යුද්ධයට අධිපති පාරාවෝවරුන්ගේ ආරක්ෂක දේවතාවා වන සෙක්මට් නිරූපණය වනවා. 2015 වසරේදී ඩොලර් මිලියන 4 ක මුදලකට මෙම ප්‍රතිමාව විකිණුනු අතර එහි අගය ඉහළ යෑමට සුප්‍රකට ගායක ජෝන් ලෙනන් එහි අයිතිකරුවකු වී සිටීමද එක හේතුවක් වූ බව පැවසෙනවා.
7. සියුස් හෝ ඇස්සෙල්පියස් දෙවියාගේ උඩුකය (Bust of Zeus or Asclepius)
මෙම ප්‍රතිමාවෙන් නිරූපණය වන්නේ ග්‍රීක දේව සභාවේ ප්‍රධානියා වන සියුස් ද එසේත් නැත්නම් වෙදකමට අධිපති දෙවියා වන ඇස්සෙල්පියස් ද යන්න පිළිබඳව විවාදයක් පවතිනවා ඇතැම් කලා විශේෂඥයන්ගේ මතය වන්නේ මෙම ප්‍රතිමාව පුරාණ ප්‍රතිමාවක අනුරුවක් ලෙස නිර්මාණය කළ බවයි. කෙසේ නමුත් 2015 වසරේදී මෙම නිර්මාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 3.1 ක මුදලකට විකිණුනා.
එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.
Leave a Reply