ගොඩක් දෙනෙක් අහලවත් නැති, ඒත් අතිශයින්ම ප්‍රයෝජනවත් වෙබ් අඩවි ලැයිස්තුවක්! – 5 කොට​ස

මේ වෙනකොට අපි කම්පියුටර් එකකින් කරගන්න වැඩ සෑහෙන කොටසක්, ඒ කියන්නේ කම්පියුටර් එකට ඉන්ස්ටෝල් කරපු සොෆ්ට්වෙයාර් වලින් කරගන්න වැඩ සෑහෙන්න කොටසක් ඉන්ටර්නෙට් එක හරහා කරගන්න තැනට ගිහින් තියෙනවා. ඒ වගේ එක එක වැඩ කරගන්න අවශ්‍ය වෙන වෙබ් අඩවිත් සෑහෙන්න ඉන්ටර්නෙට් එකේ තියෙනවා. ඉන්ටර්නෙට් එකේ තියෙන වෙබ් අඩවි ප්‍රමාණය එන්න එන්නම ගුණනය වෙනවා මිසක් අඩු වෙන්නෙ නෑනේ. උදාහරණයක් විදියට කිවුවොත්, 1992 අවුරුද්දේ ඉන්ටර්නෙට් එකේ වෙබ් සයිට් තිබිලා තියෙන්නේ 10 යි. එතකොට 1994 වෙනකොට ඒක තුන්සිය ගුණයකින් විතර වැඩි වෙලා වෙබ්සයිට් 3000 ක් විතර නිර්මාණය වෙලා තියෙනවා. එතකොට දැන් වෙනකොට ඒ ගාණ මිලියන ගුණයකින් වැඩි වෙලා තියෙනවා. දැන් ඉන්ටර්නෙට් එකේ වෙබ්සයිට් බිලියන 1.7 කටත් එහා තියෙනවා කියලා තමයි කියන්නේ. ඒ අතරින් සක්‍රීය තත්ත්වයේ තියෙන වෙබ් අඩවි ගාණ මිලියන 200 ක් විතර වෙනවලු.

 

ඉතින් ඔය තරම් තියෙන වෙබ් කන්දරාවෙන් ඇත්තටම අපි දන්නේ බොහොම පොඩි, සුළු ප්‍රමාණයක්. ඒ අපි නොදන්නා වෙබ් අඩවි අතර තියෙනවා, අපිට ප්‍රයෝජනවත් වෙන විදියේ, විවිධ වැඩ කටයුතු කරගන්න උදවු වෙන තාලේ අපූරු වෙබ් අඩවි එහෙමත්. හැබැයි ගොඩක් දෙනෙක් මේ වෙබ් අඩවි ගැන එහෙමට දන්නෙ නෑ. අන්න ඒ නිසා තමයි අපි හිතුවේ, ගොඩක් දෙනෙක් අහලවත් නැති, ඒත් අතිශයින්ම ප්‍රයෝජනවත් තව වෙබ් අඩවි ලැයිස්තුවක් අරගෙන එන්න!

 

1. 2050 Earth

ඇත්තටම තව අවුරුදු 49 කින්, ඒ කියන්නේ 2050 දී ලෝකේ මොන වගේ වෙයිද? හොඳ ප්‍රශ්නයක් නේ? අපි ඒ වෙනකල් ජීවත් වෙලා ඉඳියිද කියන්න බෑ. හැබැයි 2050 දී ලෝකේ මොන වගේ දියුණු වෙලා තියෙයිද කියලා බලාගන්න කැස්පර්ස්කි ලැබ්ස් අපිට ඉඩක් ලබාදීලා තියෙනවා. මේ Earth 2050 කියන වෙබ් සයිට් එකට ගිහිල්ලා ලෝකේ විවිධ රටවල් මත ක්ලික් කරලා බැලුවහම, ඒ ඒ රටවල් 2050 දී මොනවගේ පෙනෙනු ඇතිද කියලා අපිට පෙන්නනවා. ඇත්තටම මේ අනාගත පූර්වකථන කරලා තියෙන්නේ ප්‍රසිද්ධ futurologists නැතිනම් අනාගතාවබෝධ විද්‍යාඥයින් විසින්. ඒවා ලස්සනට ඇඳලා නිර්මාණය කරලා තියෙන්නෙත් ප්‍රසිද්ධ චිත්‍රශිල්පීන් සහ සාමාන්‍ය පුද්ගලයින් කියන දෙගොල්ලන්ගේම දායකත්වයෙන්. එහෙම ඇඳලා පෙන්නනවට අමතරව, ඒ ඒ රටවල් ඒ කාලයේදී ලබාගෙන තියෙන තාක්ෂණික ජයග්‍රහණයන් මොනවද කියලාත් අපිට මේ වෙබ් එකෙන් කියනවා. ඒ වගේම, ඕන නම් 2030 දී ලෝකේ රටවල් කොහොමද, 2040 දී ලෝකේ රටවල් කොහොමද කියලත් බලාගන්න මේ වෙබ් එකෙන් ඉඩකඩ ලබාදීලා තියෙනවා!

 

2. Framesynthesis Google Driving Simulator

කාර් ගේම් වලට එහෙම කවුද අකමැති නේ? ඒකනේ අපි පුංචි කාලේ ඉඳලා පණ දාගෙන Need for speed එහෙම ගහන්නේ. කොහොම හරි ඒක පැත්තකින් තිබ්බොත්, ගූග්ල් මැප්ස් වල අපි සමහර වෙලාවට සැටලයිට් වීව් එක දාලා ඔය එක එක තැන් බලාගෙන බලාගෙන යන ආතල් එකක් ගන්නවනේ. කොහොමද අපිට කාර් එකක් ඩ්‍රයිව් කරගෙන යන ගමන් ගූග්ල් මැප්ස් බලන්න පුළුවන් නම්? ආන්න ඒක කරන්න පුළුවන් මේ වෙබ් අඩවියට ගියහම. අපිට අහසේ ඉඳන් පේන වීව් එකෙන් ගූග්ල් මැප් එකේ අපිට ඕන ලොකේෂන් එකක් දීලා, එතන ඉඳන් කාර් එකක් එලවගෙන යන්න පුළුවන්. හැබැයි ඉතින් මේක Need for speed වගේ රියලිස්ටික් නැති ප්‍රාථමික කාර් ගේම් එකක් වගේ තමයි. හැබැයි ගූග්ල් මැප්ස් වල සැටලයිට් වීව් එක ඔස්සේ ලෝකේ දකින ගමන් මේ කාර් එකක් එලවගෙන යන වැඩේ මරු!

 

3. Synthesia

අපිට මොකක් හරි දෙයක් කියන වීඩියෝ එකක් හදන්න ඕන වුණොත්, ඒක සෑහෙන්න වැඩක් නේ? වීඩියෝ කරන්න ඕන, ඕඩියෝ රෙකෝඩ් කරන්න ඕන, ඊට පස්සේ ඒක එඩිට් කරන්න ඕන. එතකොට වඩාත් ප්‍රොෆෙෂනල් විදියට එන්න නම් පසුතලයේ ඉඳන් නිර්මාණය කරගන්න ඕන. හැබැයි මේ වෙබ්සයිට් එකට ගියහම අපිට ආටිෆිෂල් මනුස්ස රූපයක් හරහා අපිට ඕනම දෙයක් කියෝගන්න හැකියාව ලැබෙනවා. කරන්න තියෙන්නේ අපිට කියන්න ඕන දේ ස්ක්‍රිප්ට් එකක් විදියට හදලා, මේකේ තියෙන සරල පියවර කීපය අනුගමනය කරන එක විතරයි. ඕන්න අපි තෝරගන්න ඕනෑම ආටිෆිෂල් ෆිගර් එකක් ඇත්තටම අපේ ස්ක්‍රිප්ට් එකේ තියෙන දේවල් කියන්න පටන් ගන්නවා. දැන් ඕක ඩවුන්ලෝඩ් කරගන්න විතරයි තියෙන්නේ! මේක භාෂා 50 කටත් වැඩි ප්‍රමාණයකට සපෝර්ට් කරනවා කියලත් අහන්න ලැබෙනවා.

 

4. Kinetix tech

අපේම විඩීයෝ එකකින් ඇනිමේෂන් එකක් හදමුද? ඒ කියන්නේ ඔය වට්ස්ඇප් ස්ටිකර්ස් වගේ අතිසරල ඇනිමේෂන් නෙවෙයි. සෑහෙන්න සීරියස් ප්‍රොෆෙෂනල් ලෙවල් එකේ ඇනිමේෂන් එකක්? ආන්න ඒකට හරියනම වෙබ්සයිට් එකක් තමයි මේ Kinetix tech කියන්නේ. අපිට කරන්න තියෙන්නේ අපේ මොකක් හරි වීඩියෝ එකක් මේකට අප්ලෝඩ් කරන එක. ඒ විඩීයෝ එක යූටියුබ් ක්ලිප් එකක් හරි MP4 එකක් හරි වෙන ඕනෑම එකක් හරි වෙන්න පුළුවන්. දැන් ඒ වීඩියෝ එකෙන් අපිට අපේ චරිතය ත්‍රිමාණ ඇවටාර් එකක් විදියට හදලා, ඒකෙන් ඇනිමේෂන් එකක් හදාගන්න පුළුවන්. අපිට ඒ ඇනිමේෂන් එකට පසුතලයක්, ප්‍රොප්ස් පවා ඇතුළත් කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, මේ ඇනිමේෂන් එක ඕනම 3D ඇනිමේෂන් සොෆ්ට්වෙයාර් එකක් එක්කත් පහසුවෙන් වැඩ කරන නිසා, අපේ ඕනම ඇනිමේෂන් ප්‍රොජෙක්ට් එකකට මේක යොදාගන්නත් පුළුවන්. 

 

5. How normal Am I

අපි ඇත්තටම සාමාන්‍යද? ඒක උත්තර දෙන්න බොහොම අමාරු ප්‍රශ්නයක්. හැබැයි අපිට පුළුවන් අපේ මුහුණ සහ පෙනුම අනුව අපි ගැන දළ විශ්ලේෂණයක් ලබාගන්න ආටිෆිෂල් ඉන්ටෙලිජන්ට් වෙබ්සයිට් එකකින්. මේක ටිකක් අමුතු වැඩක්. අපිට මේ වෙබ් එකට අපේ වෙබ්කැම් එකට ඇක්සස් ලබාදෙන්න වෙනවා මුලින්ම. ඊට පස්සේ මේකෙන් අහනවා අපේ වයස, ඊට පස්සේ අපේ මූණේ විදියට අපේ ඇත්තටම පේන වයස, අපේ සුන්දරත්වය, BMI එක, ජීවිත අපේක්ෂාව වගේ දේවල් විතරක් නෙවෙයි, අපේ මුඩ් එක පවා පුරෝකථනය කරනවා. ඊට පස්සේ මේ හැමදෙයක්ම අදාළ කරගෙන අපි කොයි තරම් සාමාන්‍යද, කොයි තරම් අසාමාන්‍යද කියන එකත් කියනවා. කෙනෙක්ට මේක විකාරයක් වගේ පේන්න පුළුවන්. හැබැයි කෙනෙක්ට තමන්ගේ පෙනුම වැඩිදියුණු කරගන්න, තමන්ගේ සෞඛ්‍ය මට්ටම වැඩිදියුණු කරගන්න වගේ දේකට මේක හොඳ පිටුවහලක් වෙන්න පුළුවන්. අන්තිමට මේ වෙබ්සයිට් එකෙන් කියනවා කොහොමද ඉන්ටර්නෙට් එකේ ආරක්ෂිතව ඉන්නේ කියන එක ගැනත්!

 

6. Hemingway Editor

අර්නස්ට් හෙමින්ග්වේ ගැන අපි අහලා තියෙනවනේ. බොහොම ප්‍රසිද්ධ ලේඛකයෙක්. හැබැයි ඉතින් එයාට සම්බන්ධයක් නැති වුණත්, මේ Hemingway Editor වෙබ් අඩවියෙන් අපිට බොහොම ප්‍රයෝජනවත් වැඩකටයුත්තක් ඉටු කරලා දෙනවා. දැන් හිතන්න අපි මොනවා හරි දෙයක් ඉංග්‍රීසියෙන් ලිව්වා කියලා. සමහර විට රචනාවක් කියමු. දැන් මේ රචනාව ඊට වඩා පොලිෂ් කරන්න අපිට දැනුමක් නැති වෙන්න පුළුවනිනේ. ආන්න එතකොට තමයි මේ වෙබ්සයිට් එකේ උපකාරය වැදගත් වෙන්නේ. කරන්න තියෙන්නේ අපි ලියපු රචනාව මෙතනට කොපි පේස්ට් කරන එක තමයි. අන්න එතකොට ඒ ටෙක්ස්ට් එක ඇනලයිස් කරලා බලලා අපිට උපදෙස් ලැබෙනවා භාෂාව අනුව අපි ලියපු දේ කොහොමද වැඩි දියුණු කරගන්නේ කියන එක ගැන.

 

7. Taste Atlas

කැමති නැද්ද ලෝකේ තියෙන විවිධ රටවලට අදාළ සාම්ප්‍රදායික කෑම වර්ග ගැන ඉගෙන ගන්න. විවිධ රටවල කෑම බීම ගැන උනන්දු වෙන කෙනෙක්ට මේ Taste Atlas වෙබ්සයිට්‍ එක නිධානයක් වගේ. මේ වෙබ්සයිට් එකට ගිහින්, ලෝකේ තියෙන විවිධ රටවල් වල විවිධ කෑම බීම හොයාගන්න පුළුවන්. ඕන නම් අපිට මොකක් හරි අපි කැමති රටක් ඇතුළත් කරලා සර්ච් කරන්න පුළුවන්. එහෙම නැතිනම් මේකේ තියෙන මැප් එකෙන් කැමති රටක් සිලෙක්ට් කරන්නත් පුළුවන්. දැන් මේකෙන් පෙන්නනවා ඒ රටේ තියෙන සාම්ප්‍රදායික කෑම වර්ග මොනවද කියලා. ඒ විතරක් නෙවෙයි. ඒ අපි තෝරගන්න රට ගැන විස්තරයක් සහ, ඒ සාම්ප්‍රදායික කෑම වර්ගය ගැන විස්තරයකුත් ඇතුළත් වෙනවා. ඒ වගේම ඒක හදාගන්න රෙසිපි එකත් ඇතුළත් වෙනවා. ඒ විතරකුත් නෙවෙයි, ඒ කෑම වර්ගය ලබාගන්න පුළුවන් ලෝකේ තියෙන අවන්හල් ගැනත් විස්තරයක් මේකේ ඇතුළත් වෙනවා!

 

අපි කතා කරපු මේ වගේ තව වෙබ් අඩවි ගණනාවක් හොයාගන්න, පහළ තියෙන ලිපි කියවන්න!

 

ගොඩක් දෙනෙක් අහලවත් නැති, ඒත් අතිශයින්ම ප්‍රයෝජනවත් වෙබ් අඩවි ලැයිස්තුවක්! – පළමු කොටස

ගොඩක් දෙනෙක් අහලවත් නැති, ඒත් අතිශයින්ම ප්‍රයෝජනවත් වෙබ් අඩවි ලැයිස්තුවක්! – දෙවෙනි කොටස

ගොඩක් දෙනෙක් අහලවත් නැති, ඒත් අතිශයින්ම ප්‍රයෝජනවත් වෙබ් අඩවි ලැයිස්තුවක්! – තුන්වෙනි කොටස

ගොඩක් දෙනෙක් අහලවත් නැති, ඒත් අතිශයින්ම ප්‍රයෝජනවත් වෙබ් අඩවි ලැයිස්තුවක්! – හතරවෙනි කොටස

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *