ආකර්ෂණීය ශරීරයක් නිර්මාණය කරගත්තට පස්සේ? ඊලඟට මොකද කරන්නේ?

අපේ බාහිර පෙනුම කියන්නේ ඇත්තටම අපි ඕනම කෙනෙක් සෑහෙන්න හිතන දෙයක්නේ. ඒ කියන්නේ, පෙනුම නෙවෙයි ගතිගුණ තමයි වැදගත් වගේ කතන්දර ඇහුණට, ඇත්තටම ඔය පෙනුම ගැන උනන්දු වෙන කීයෙන් කී දෙනෙක් ඉන්නවද? අපි කෙනෙක්ව හරියට දැන අඳුනගන්නකොට ඔය පෙනුම කියන එක වැදගත් නොවී යන්න පුළුවන්. හැබැයි එහෙම වුණත්, ගොඩක් වෙලාවට මුලින්ම කෙනෙක්ව දකිනකොට වුණත්, කෙනෙක්ගේ හිතේ අපි ගැන ඇතිවෙන හැඟීමට ඔය පෙනුම කියන එක සෑහෙන්න දායකත්වයක් දක්වනවා.

හරි, ඔය පෙනුම ගැන කියනකොට ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් වෙන්නේ ඇඟ වුවමනාවට වඩා මහත් වෙලා කියන එකනේ. ඔන්න ඔය ප්‍රශ්නේ ගොඩදාගන්න පුළුවන් ඉතින්. හොඳ ඩයට් ප්ලෑන් එකකට ගිහිල්ලා, පොඩ්ඩක් එක්සයිස් එහෙම කරලා, ඉවසිල්ලෙන් කටයුතු කළොත්, ශරීරයට තමන්ට ඕන ගාණට ආයෙමත් ගේන්න පුළුවන්. 

හරි, ඔන්න ඉවසිල්ලෙන් ඉඳලා, ඩයට් එකත් කරගෙන ගිහිල්ලා, ජිම් එකේ යකඩත් උස්සලා, මාස හයක්, අවුරුද්දක් විතර ගිහිල්ලා ශරීරය ගොඩදාගත්තා කියමුකෝ. දැන් ඇඟ ගාණට, අවශ්‍ය ප්‍රමාණයට, ෆිට් එකට, හැඩට තියෙනවා. ඉතින් ඊට පස්සේ?

 

1. ඊට පස්සේ ගෘම් කරන්නත් වෙනවා

මේක තමයි ඇඟ හදාගත්තට පස්සේ මුලින්ම කරන්න ඕන. දැන් අපිට ඇඟ හදාගත්තා වගේම, ලස්සනට පේන්න ඉන්නත් ඕනනේ. එතකොට ඇඟ හැදුණට, ලස්සන වුණාට විතරක් මදි. අපි ලස්සන වෙන්නත් ඕන. ඇත්තටම මේවා කරන්න නම් ඇඟ හදාගන්න කල් ඉන්න ඕනැත් නෑ. කමක් නෑ, දැන් හරි පටන් ගමුකෝ. මුලින්ම ගන්න හොඳ හෙයාර් කට් එකක්. විශේෂයෙන්ම තමන්ගේ අඩු වුණු ඇඟට ගැලපෙන විදියේ හෙයාර් කට් එකක්. ඒ එක්කම රැවුල වවලා නම් ඉන්නේ, රැවුලත් හොඳ ස්ටයිල් එකකට කපා ගන්න එක හොඳයි. ඒ වගේම ඉතින් රැවුල වවලා නම් ඉන්නේ, ඒක දිගටම මේන්ටේන් කරන්න සිද්ධ වෙනවා. එහෙම රැවුල මේන්ටේන් කරන අතරෙම, ඔය නහයේ කණේ අරෙහෙ මෙහේ දිගට වැවිලා තියෙන අනවශ්‍ය රෝම කූප එහෙමත් කපාගන්න එක හොඳයි. ඊට පස්සේ අත් පා වල නියපොතු කපලා, හොඳට පිරිසිදු කරලා තියාගන්න ඕන. මැනික්‍යු පෙඩික්‍යු එකක් එහෙම කරගත්තටත් පාඩුවක් නෑ. ෆේෂල් එකක් එහෙමත් දැම්මට කමක් නෑ ඉඳලා හිටලා හරි.

පිරිසිදුවට ඉඳීම ගැන නම් ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ.

 

 

2. ඊට පස්සේ තමන්ගේ ස්ටයිල් එකක් හදාගන්න වෙනවා

මෙන්න මේක සෑහෙන්න වැදගත්. දැන් අපි ඇඟ මහත දෙහෙත කාලේ ඇන්දේ ඒ ඇඟට හරියන්න ඇඳුම්නේ. ඒවල ඉතින් එහෙමට ලොකු ෆැෂන් නැහැ. මොකද, ප්ලස් සයිස් වලට ගොඩක් වෙලාවට ෆැෂන් හොයාගන්න තියෙන ඉඩ අඩු නිසා. හැබැයි ගොඩක් මහතට ඉඳලා සෑහෙන්න ඇඟ අඩු කරගත්තු කෙනෙක්ට මහත කාලේ ඇඳපු තාලේ ඇඳුම් හරියන්නෙ නෑ. ඉතින් දුවලා ගිහිල්ලා තමන්ට ආස හිතෙන ආස හිතෙන ඇඳුම් මිලදී ගන්න කලින් විනාඩියක් නැවතිලා හිතලා බලන්න. තමන්ට ඇත්තටම ගැලපෙන ස්ටයිල් එකක් මොකද්ද කියලා. ඒ කියන්නේ, තමන්ටම ආවේණික විලාසිතාවක්. සමහරු ඉන්දියන් විදියට කැමති වෙයි. සමහරු ෆන්කි විදියට කැමති වෙයි. මේ මොකක් හරි, තමන්ගේ විදියට ගැලපෙන ස්ටයිල් එක මොකද්ද කියලා හිතලා බලන්න වෙනවා. විශේෂයෙන්ම තමන්ගේ මේ හදාගත්තු ඇඟත් එක්ක. ඕන නම් ඒකට ෆැෂන් ගැන එක්ස්පර්ට් යාළුවෙක්ගේ එහෙම උපදෙස් ගන්නත් පුළුවන්!

 

 

3. ඊට පස්සේ ඇඳුම් හොයන්න වෙනවා

ඔන්න ඉතින් ඊට පස්සේ තියෙන ආතල් වැඩේ. ඇඳුම් හොයන එක. ඒක ඉතින් අමාරු කාරියක් නෙවෙයි, ඉස්සර මහතට හිටපු කාලේ සයිස් එකටත් හිතටත් ගැලපෙන ඇඳුම් හොයන්න කාපු කට්ට ගැන හිතනකොට. හැබැයි ඇත්තටම ඒ කාලේ හිතට ගැලපුණු ඇඳුම් හම්බුණේ ඉතාම කලාතුරකින්. ඉතින් ඇඟ අඩු වුණාට පස්සේ තමන්ට සෙට් වෙන ඇඳුම් හොයන්න යන එක ඩබල් ආතල්!

හැබැයි ඊට කලින් පොඩ්ඩක් තමන්ගේම ඇඳුම් අල්මාරිය ගාවට යන්න. ගිහින් බලන්න අවුරුදු ගාණකට කලින් හරි අඳින්න බැරුව අයින් කරපු ඇඳුම් මොනවද තියෙන්නේ කියලා. ඔය සමහර තෑගි ලැබුණු ඇඳුම් එහෙම ඇති අල්ලලාවත් නැතුව, සයිස් පොඩි නිසා අයින් කරලා තියපු. ආන්න ඒ ඇඳුම් දැන් ඇඳලා බලන්න. (හරි හරි, අර උඩින් කියපු තමන්ගේම ස්ටයිල් එකට ඔය පරණ අඳින්න බැරුව අයින් කරපු ඇඳුම් සෙට් නොවෙන්න පුළුවන්. ඒත් ඉතින් අහල පහලට අඳින්න හරි ඔය ඇඳුම් පාවිච්චි කරමු).

ඊට පස්සේ පුළුවන්, උඩ කියපු තමන්ට ගැලපෙන ස්ටයිල් එකට හරියන ඇඳුම් කැඩුම් ටිකක් ෂොපින් කරලා ගන්න හරි, හොඳ ටේලර් ෂොප් එකකින් මහගන්න හරි.  

 

 

4. ඊට පස්සේ ආස කරන තව දේවල් මොනවද කියලා හිතන්න වෙනවා

මේක ඇත්තටම ගොඩක් අයගේ හිතේ තියෙන්න පුළුවන් දෙයක්. ඒ කියන්නේ, තමන්ගේ ශරීරය ගැන තියෙන ඉන්සෙකියුරිටි එකත් එක්ක ගොඩක් දෙනෙක් තමන් ආස දේවල් මෙච්චර කාලෙකට නොකර ඉඳලා තියෙනවා. උදාහරණයක් විදියට කිවුවොත්, ස්විමින්ග් කරන්න ආස කෙනෙක්, තමන් තරබාරුයි කියන හැඟීම නිසා ඒක නොකර ඉඳී. එතකොට ඩාන්සින් කරන්න ආස කෙනෙක්, තමන්ගේ මහත ශරීරයත් එක්ක මොන ඩාන්සින්ග්ද කියලා හිතලා ඒක නොකර ඉඳී. එතකොට මාෂල් ආට්ස් කරන්න ආස කෙනෙක්, තමන්ගේ සයිස් එකත් එක්ක කොහොමද මාෂල් ආට්ස් කරන්නේ කියලා ඒවා නොකර ඉඳී. ඔන්න ඔය වගේ, අපි කරන්න ආස, හැබැයි ඇඟ ගැන හිතේ තිබුණු අවුල නිසා නොකර හිටපු දේවල් තියෙනවා. 

ඉතින් දැන් ගැටළුවක් නැහැනේ. ඇඟ හදාගත්තනේ. ඇයි දැන් ඔය දේවල් කරන්න බැරි? හිතලා බලන්න තමන්ට කාලයක් තිස්සේ කරන්න වුවමනා වෙලා තිබුණු ඒ වගේ දේවල් මොනවද කියලා. ඩාන්සින්ග් ද? එහෙමනම් අදම හොයලා බලන්න ලඟ පාත හොඳ ඩාන්සින් ක්ලාස් එකක් තියෙනවද කියලා! 

 

 

5. ඊට පස්සේ හැසිරීමත් හදාගන්න වෙනවා

හැසිරීම? ඔව්. දැන් අපි ඇඟ හදාගත්තනේ. ඊට පස්සේ අපේ හැසිරීම පුරුදු පුහුණු කරගන්නත් ඕන. ඒ කියන්නේ අපි කොහොමද හිනාවෙන්නේ, කොහොමද කෙනෙක්ට අතට අත දෙන්නේ, කොහොමද හිටගෙන ඉන්නේ, කොහොමද ඇවිදින්නේ වගේ දේවල් ගැනත් අවධානය යොමු කරන්න ඕන. ඒක ටිකක් හිනායන කතාවක් වගේ නේද? ඇත්තටම නෑ. කොයි තරම් ලස්සන ඇඟක් තිබුණත් වැඩක් නෑ තමන්ට හොඳ හැසිරීමක් නැතිනම්. ඒ වගේම හොඳ ආත්ම විශ්වාසයකින් යුතුව, සෘජු කායකින් යුතුව ඉන්න, ඇවිදින්න බැරි නම්. උදාහරණයක් විදියට ගත්තොත්, ඇඟ මහත කාලේ කොන්ද නවාගෙන ඇවිදින්න හුරු වුණු කෙනෙක්, ඇඟ හදාගත්තට පස්සෙත් ඇවිදින්නේ ඒ විදියට නම්, අර හදාගත්තු ආකර්ශණීය ශරීරයෙන් වැඩක් වෙන්නෙත් නෑ. අන්න ඒ නිසා, මේ උඩ කියපු හැම දේම අපිට හිතලා නිර්මාණය කරගන්න පුළුවන්. ටික කාලයක් අපි හිතාමතාම ඒ දේවල් කරනකොට, නිකම්ම ඒවා අපිට පුරුද්දට යනවා!

 

 

6. ඊට පස්සේ මොළේටත් එක්සයිස් කරන්න වෙනවා

මේක ඉතින් වැදගත් කියලා අමුතුවෙන් කියන්න වුවමනා නැහැනේ. අපිට ශරීරය වගේම මොළයත් හොඳින් පවත්වා ගන්න නම්, ශරීරයට එක්සයිස් කරනවා වගේම මොළේටත් එක්සයිස් කරන්න ඕන. මෙතනදී ඇත්තටම ලොකු දේවල් කරන්න නැහැ. තමන් කරන ජොබ් එකට, තමන් ඉන්න ප්‍රොෆෙෂන් එකට අදාළව යමක් අලුතින් ඉගෙන ගැනීමේ ඉඳලා, පොත් පත් කියවීම දක්වා, රස වින්දනය දියුණු කරගන්න හොඳ චිත්‍රපටියක් බැලීමේ ඉඳලා හොඳ මියුසික් ඇසීම දක්වා ඕන තරම් දේවල් අපිට කරන්න පුළුවන්. ඒ වගේම, අපිට පුළුවන් මනසට අභියෝගයක් ලබාදෙන විදියේ ඔය චෙස් වගේ ගේම්ස් පවා ඉගෙන ගෙන ප්‍රැක්ටිස් කරන්න.

අන්න එතකොට ආකර්ෂණීය ශරීරයක් විතරක් නෙවෙයි, ආකර්ෂණීය බුද්ධි ප්‍රභාවකුත් තියෙන මනුස්සයෙක් ඉබේම නිර්මාණය වෙනවා!

 

 

7. ඊට පස්සේ ඔය ලයිෆ්ස්ටයිල් එක දිගටම කරගෙන යන්නත් වෙනවා

අන්තිමට වැදගත්ම දේ මොකද්ද? දැන් අපි සෑහෙන්න කැප කිරීමක් කරලා, සෑහෙන්න විනයකින් යුතුව වැඩ කරලා හොඳ ලයිෆ්ස්ටයිල් එකක් පවත්වගෙන ගිහිල්ලා මහතට දෙහතට තිබුණු ඇඟ ගාණකට අඩු කර ගත්තනේ. හැබැයි එහෙම අඩු කර ගත්තා කියලා මෙච්චර කල් පවත්වගෙන ගියපු ලයිෆ්ස්ටයිල් එක කඩාගන්න නම් එපා. වෙනදා වගේම හොඳ ඩයට් ප්ලෑන් එකක ඉන්න. වෙනදා වගේම ජිම් යන්න, එක්සයිස් කරන්න. සතියකට දවසක් ඉතින් ඔය තහනම් කෑම කෑවට කිසිම ගැටළුවක් නෑ. හැබැයි ඉතින් තමන්ගේ විනය හරියට තියාගන්න ඕන. සතියකට සැරයක් චීට් ඩේ එකක් කියලා පැණිරස ජාති, ජන්ක් ෆුඩ් කන එක සතියකට දෙසැරේ වෙලා, ඒක තුන් සැරේ වෙලා ඔහොම ඔහොම ගිහින් අන්තිමට අර මුලදිම තිබුණු කිසිසේත්ම සෞඛ්‍ය සම්පන්න නොවෙන ජීවන රටාවට අපි වැටෙනවා. දැන් ඇඟත් හදාගෙන හින්දා හිතෙන්න පුළුවන් ඒක අවුලක් නෑ කියලා. හැබැයි ඉතින් ඒකෙන් වෙන්නේ ආයෙමත් ටික කාලෙකින්ම අර පරණ මහත දෙහත ශරීරෙම ආයෙත් ලැබෙන එක තමයි!

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *