බෞද්ධයන් නැති බෞද්ධ පුදබිම්

අපි හිතුවා අතීතයේ දී බෞද්ධ රටවල් වෙලා තිබිලා, වර්තමානයේදී බෞද්ධ නමක් ගෑවිච්ච පුද්ගලයෙක්වත් නැති වෙලා තියෙන රටවල් කීපයක දැනට ඉතිරි වෙලා තියෙන බෞද්ධ පුදබිම් ගැන ඔබව දැනුවත් කරන ලිපි පෙළක් ගෙන එන්න. ආරම්භයක් විදිහට වර්තමාන පාකිස්ථානයේ ඉතිරිවෙලා තියෙන බෞද්ධ පුදබිම් ගැන තොරතුරු දෙන්න අපි හිතුවා. පුරා අතීතයේදී දඹදිව කොටසක් විදිහට පැවතුණු පාකිස්ථානය බුද්ධාගමේ කේන්ද්රස්ථාන විදිහට සැලකුණු ගන්ධාර ආදී රාජ්යයන් වල වර්තමාන උරුමකරුවායි. පාකිස්ථානය දැනට වසර ගණනාවක පටන් තමන්ගේ බෞද්ධ උරුමය ආරක්ෂා කිරීමට සහ එය ප්රවර්ධනය කිරීමට උත්සාහ දරමින් සිටින බවද විශේෂයෙන් සඳහන් කළ යුතු වෙනවා.

 

 

1. අම්ලුක් ධාරා පුදබිම

පාකිස්ථානයේ ස්වාත් නිම්නයේ පිහිටා තිබෙන මෙම පුදබිම අතීතයේදී ගන්ධාර ශිෂ්ටාචාරයේ බෞද්ධ ආභාෂයට නිහඬ  සාක්කි සපයනු ලබනවා. සියවස් ගණනාවක් තිස්සේ අමතකව ගිය මෙම ස්ථූපය යළිත් ලෝකයට විවර කරන ලද්දේ බ්රිතාන් පුරාවිද්යාඥයන් විසින්. කෙසේ නමුත් නිරන්තර නිදන් හොරුන්ගේ සහ අන්තවාදීන්ගේ ග්රහණයට ලක් වුණු මෙම පුදබිම සංරක්ෂණය කළ යුතු පුදබිමක් වනවා.

 

 

2. නිමෝග්රාම් පුදබිම 

විශාල ස්ථූප 3 කින් සහ අනු කුඩා ස්ථූප 56 කින් සමන්විත මෙම පුදබිම දෙවැනි සහ තුන්වැනි සියවස් අතර කාලයට අයත් වන බවට ඉතිහාසඥයන් විශ්වාස කරනවා. මේ ආශ්රිතව සිදු කරන ලද කැණීම් වලින් විවිධ කැටයම් සහ මූර්ති ගණනාවක් පාදා ගෙන තිබෙන අතර ඒවා වර්තමානය වන විට කෞතුකාගාරයේ ආරක්ෂා සහිතව තැන්පත් කොට තිබීම අගය කළ යුතු දෙයක්.

 

 

3. මන්කි​යලා පුදබිම

පුරා කතා වලට අනුව පාරමීදම් පිරූ බෝධිසත්වයාණන් වහන්සේ බඩගින්නේ සිටි කොටි දෙනෙකගේ පැටවුන් උදෙසා ජීවිතය පරිත්යාග කළ ස්ථානයේ මෙම ස්ථූපය ගොඩනැගී තිබෙනවා. ඉතිහාසඥයන් අනුමාන කරන්නේ මෙම ස්ථූපයේ ඉදිකිරීම කුෂාණ රාජවංශය සමයේදී සිදු වූ බවයි. කෙසේ නමුත් අශෝක රජු විසින් ඉදිකරන ලද අසූ හතර දහසක් වූ වෙහෙර විහාර අතර මෙම විහාරයද එකක් බවට මතයක් පවතිනවා.

 

 

4. කුණාල ස්ථූපය 

  මෙම ස්ථූපය කණිෂ්ක රජ දවස ඉදි කරන ලද ස්ථූපයක් ලෙස සැලකෙන නමුත් එහි ඉතිහාසය අශෝක රජු සමය දක්වා දිව යන බවට මතයක් පවතිනවා. රජුගේ බිසවක් විසින් රජුගේ පුත්රයකු වන කුණාල කුමරුගේ ඇස් අන්ධ කිරීමෙන් අනතුරුව මෙම ප්රදේශයේ දී ඔහුට යළිත් පෙනීම ලැබුණු බවට ජනප්රවාදයක් පවතිනවා. මේ නිසාම අක්ෂි රෝග සහිත බෞද්ධයන් අතීතයේ දී මෙම විහාරය වන්දනාමාන කොට එම ගැටළුවලින් තමන්ව නිදහස් කරන දෙන ලෙසට බාර හාර වූ බවට මතයක් පවතිනවා.

 

 

5. කණිෂ්ක ස්ථූප​ය

 ඇතැම් ඉතිහාසඥයන්ට අනුව පුරාණ ලෝකයේ පැවති උසම ඉදිකිරීම් අතරට කණිෂ්ක ස්ථූපය ඇතුළත් වනවා. කණිෂ්ක රජු විසින් මෙම ස්ථූපයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කළ අතර පසුව විවිධ කාලවල යළි යළිත් මෙම ස්ථූපය ප්රතිසංස්කරණය කොට එහි උස වැඩි කිරීම සිදු කළ බව කියවෙනවා. මෙම ස්ථූපය කැණීමෙන් ලැබුණු සර්වඥ ධාතු මේ වන විට බුරුමයේ පුද පූජා වලට ලක් වෙනවා.

 

 

6. ධර්මරාජික ස්ථූපය

අතීතයේ දී බෞද්ධ අධ්යාපනයේ කේන්ද්රස්ථානයක් පැවති පුරාණ තක්ෂිලාවේ පිහිටා තිබෙන ප්රධාන ස්ථූපය වන්නේ ධර්ම රාජික ස්ථූපයයි. මෙම ස්ථූපය අශෝක රජු විසින් කරනු ලැබූ  පුදබිමක් ලෙස සැලකෙන අතර කණිෂ්ක රජු දවස එය විශාල කළ බව කියවෙනවා. සියවස් ගණනාවක් තිස්සේ පුද පූජාවට ලක් වූ මෙම පුදබිම බෞද්ධ විරෝධී මිහිරකුල රජ සමයේ දී විනාශ වූ බවට විශ්වාස කෙරෙනවා. මෙම පුද බිම ආශ්රිතව සිදු කරන ලද කැණීම් මගින් සර්වඥධාතූන් වහන්සේලා ලැබුණු අතර 2016 වසරේ දී ලංකාවට උන්වහන්සේ වැඩම කරනු ලැබුවා.

 

 

7. බුට්කාරා පුදබිම

මෙම පුදබිම අශෝක රජු දවස ඉදි කරන ලද පුදබිමක් ලෙස සැලකෙන අතර ඉන්පසු අවම වශයෙන් අවස්ථා 5 කදී වත් විශාල කොට ඉදිකර තිබෙන බවට කැණීම් වලින් සාධක හමුවී තිබෙනවා. එහිදී හමු වී තිබෙන එක් බුද්ධ ප්රතිමා වහන්සේ නමක් වයඹදිග ඉන්දියාවෙන් හමු වූ පැරණිතම බුද්ධ ප්රතිමාව ලෙස සැලකෙනවා.

 

එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *