ලෝකයේ ආගම් වල පූජා ස්ථාන එම ආගම පැතිරෙන රටවල් වල නිර්මාණය වීම ස්වභාවික සංසිද්ධියක්. නමුත් ඉස්ලාම් ආගම දිහා බලද්දී මේ ස්වභාවය යම්තාක් දුරට වෙනස් බව පැහැදිළි වෙනවා. ඉස්ලාම් බැතිමතුන් විශ්වාස කරන විදිහට ඔවුන්ගේ ශුද්ධ වූ ස්ථාන සෑම රටකම පිහිටන්නේ නැහැ. ඔවුන් මොහොමඩ් නබි තුමා ඇතුළු මුල් කාලීන ආගමික ක්‍රියාධරයින් විසින් නිර්මාණය කරනු ලැබූ පූජා ස්ථාන ගෞරවාදරයෙන් සලකනවා. අපි අද ඔබට කියන්න යන්නේ මේ විදිහට ලෝකයේම ඉස්ලාමික බැතිමතුන්ගේ වන්දනාමානයට පත්වෙන පුදබිම් හතක් පිළිබඳව.
1. අල් මස්ජිද් අල් හරාම් (Al-Masjid Al-Ḥarām)
හජ් වන්දනා සමයේදී ලෝකය පුරා දස දෙසින් පැමිණෙන ඉස්ලාම් බැතිමතුන් මක්කම පිහිටි මෙම පුදබිම වෙත ඒකරාශී වනවා. ලෝකයේ පිහිටා තිබෙන විශාලතම මුස්ලිම් පල්ලිය වන මෙය වර්ග මීටර තුන් ලක්ෂ පනස් හය දහසක පමණ භූමි ප්‍රදේශයක විහිදී යනවා. කාබා ලෙස හැඳින්වෙන කුඩා කුටිය මැදි කරගෙන මෙම පුදබිම නිර්මාණය වී තිබෙනවා. ඇතැම් ඉතිහාසඥයන්ට අනුව අතිතයේදී පුරාණ දේවාලයක් මෙහි පිහිටා තිබී ඇති අතර ඒ මත මෙම පුදබිම නබීතුමා නිර්මාණය කර තිබෙනවා.
2. අල් මස්ජිද් අන් නබාවි (Al-Masjid an-Nabawī)
ඉස්ලාම් ලෝකයේ ගෞරවාදරයට පත්වන දෙවන පුදබිම වන්නේ මදීනාවේ පිහිටි මෙම පුද බිමයි. වසරේ ඕනෑම දිනක ඕනෑම වෙලාවක මෙම පුදබිම වන්දනාමාන කිරීමේ අවස්ථාව ඉස්ලාම් බැතිමතුන්ට හිමිවනවා. මොහොමඩ් නබිතුමා විසින්ම මෙම පුදබිමද නිර්මාණය කර තිබෙන අතර එතුමාගේ මෙන්ම එතුමාගේ සහායකයන්ව සිටි අබුබකර් සහ උමාර් යන අයගේ සිරුරු මිහිදන් කළ ස්ථානය ද මෙම පුදබිම වනවා.
3. අල් මස්ජිද් අල් අක්සා (Al-Masjid Al-Aqṣā)
පුරාන ජෙරුසලම නගරයේ පිහිටා තිබෙන මෙම පුදබිම ගොඩනැඟීම සඳහා උපදෙස් ලබා දී තිබෙන්නේ මොහොමඩ් නබි තුමා බවට විශ්වාස කෙරෙනවා. අතීතයේ දී මෙම පුදබිම සඳහා ඈතින්ම පිහිටි පුදබිම යන අර්ථය ලබාදෙන නාමයක් භාවිතා කළ බව සඳහන් වෙනවා. ඊට හේතුව වී තිබෙන්නේ ශුද්ධ වූ කාබා පූජා ස්ථානයෙන් පිටතින් පිහිටි දුරින්ම වන පූජා ස්ථානය මෙය වීමයි.
4. ඉමාම් අලි (Imam Ali)
ඉරාකයේ නජාෆ් හි පිහිටා තිබෙන මෙම පුදබිම ශියා බැතිමතුන් විසින් ඔවුන්ගේ තුන්වෙනි ශුද්ධ වූ ස්ථානය ලෙස සලකනු ලබනවා ( මෙයට අනෙකුත් ඉස්ලාමික නිකායන් එකඟ නෑ). ඔවුන්ගේ මූලාශ්‍රවලට අනුව මොහොමඩ් නබිතුමාගේ සහෝදරයා වන අලි නම් ඉමාම් වරයාගේ ශුද්ධවූ සොහොන පිහිටා තිබෙන්නේ මෙම පුදබිම තුළයි. ක්‍රිස්තු වර්ෂ නවසිය හැත්තෑ හතේ දී පමණ මෙහි වැඩ කටයුතු නිම වූ බව විශ්වාස කෙරෙනවා.
5. මස්ජිද් කුබාට් අස් ෂක්රා (Masjid Qubbat As-Sakhrah)
මෙම සිද්ධස්ථානයට අයිතිවාසිකම් කීමට ක්‍රිස්තියානි, මුස්ලිම් සහ යුදෙව් ජන වර්ග සියවස් ගණනාවක තිස්සේ නොනවතින සංවාදයක යෙදෙනවා. ජෙරුසෙලමේ පැරණි නගරයේ “Temple Mount” ලෙස හැඳින්වෙන ගිරි ශිඛරයේ පිහිටා තිබෙන මෙම පුදබිම පිහිටි පරිශ්‍රයෙහි මොහොමඩ් නබි තුමා ස්වර්ගාරෝහණය වූ බවට ඉස්ලාම් බැතිමතුන් විශ්වාස කරනවා. මෙම පුදබිම ලෝකය තුළ වඩාත් ප්රකටව ඇත්තේ “ඩෝම් ඔෆ් ද රොක්” ලෙසයි.
6. ජෙන්හි මහා පල්ලිය (Great Mosque of Djenne)
මෙම පල්ලිය මාලි රාජ්‍යයේ පමණක් නොව සමස්ථ අප්රිකාවේම සලකුණක් ලෙස සැළකෙනවා. මෙම පල්ලිය ඉදිකිරීමේ ආරම්භය දහතුන් වන සියවස දක්වා දිව යන බවට විශ්වාස කෙරෙනවා. කෙසේ නමුත් වර්තමාන හැඩය ගත් ප්‍රතිසංස්කරණය වීම සිදු වුණේ 1907 දී පමණ බවයි වාර්තා වෙන්නේ. කලාපයේ පළමු පල්ලියක් වන මෙය අප්‍රිකානු ගෘහ නිර්මාණ ශිල්පයේ විශිෂ්ට නිර්මාණයක් වනවා. මේ නිසාම අප්‍රිකානු ලෝක පුදුම හතට ද මෙය ඇතුළත් වනවා.
7. කූබා පල්ලිය (Quba Mosque)
මක්කම සිට මදීනාව වෙත පැමිණි මොහොමඩ් නබි තුමා විසින් මෙම පල්ලිය නිර්මාණය කිරීම සඳහා මුල්ගල තැබූ බවට ජනප්‍රවාද වල සඳහන් වනවා. සුදු පැහැය ගත් මෙම පල්ලිය පිහිටා තිබෙන්නේ පුරාණ මදීනා නගරයේ සීමාවෙන් පිටතයි. මෙම පල්ලිය තුළ යාච්ඤා කිරීම සැලකෙන්නේ ඉස්ලාම් බැතිමතෙකු ගේ ජීවිතයේ ඉතා විශිෂ්ටතම අවස්ථාවක් ලෙසටයි.
එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.
Leave a Reply