ආගම් වල තවමත් පවතින කෲරතර චාරිත්‍ර

ආගම් කියන්නේ ලෝකය සුවපත් කරන්න ආපු දෙයක් විදිහට තමයි පොදු විශ්වාසය තියෙන්නේ. ඒත් ආගම් කියන්නේ පරණ දේවල්. ආගම් වලින් අනාගතය දකිනවා කිව්වට අනාගත ලෝකය වෙනස් කරපු මොබයිල් ෆෝන්, කම්පියුටර් සහ තාක්ෂණය ගැන ආගම් වල සඳහන් වෙලා නැහැ. ආගම් වලින් අතීතය දකිනවා කිව්වට අතීතයේ සිටිය මැමත්, මිනිසාටත් වඩා වැඩි කලක් මිහිපිට රජකරපු ඩයිනෝසෝරයන් ගැන ආගම්වල සඳහනක් නැහැ. ඒත් ඒ කාලෙට ගැලපෙන්න වඩාත් ඉදිරිගාමී සමාජයක් හදන්න ආගම වැදගත් වුණා. නමුත් තවමත් ආගම් වල තියෙන සමහර දරුණු ගතිසිරිත් කිහිපයක් ගැන අපි දැනගමු. 

 

1. කාන්තා චර්ම ඡේදනය

මෙයින් කාන්තාවන්ගේ යෝනිය ආශ්‍රිතව තියෙන කොටස් කපා ඉවත් කිරීමක් සිද්ද වෙනවා. ක්ලිටෝරසය, ලේබියාව, යෝනියේ පිටත තිබෙන අතිශය සංවේදී කොටස් කපාදැමීම සිදුවන්නේ ආගමික චාරිත්‍රයක් වශයෙන්. දැනට ලෝකයේ උප සහාරා රටවල්, උතුරු අප්‍රිකානු රටවල් ආදී රටවල් 27ක මෙම චාරිත්‍රය තියෙනවා. ඒ වගේම ඉන්දියාවේ බෝරා මුස්ලිම් වර්ගය අතරත් මේ චාරිත්‍රය පැවතෙනවා. මෙය කාන්තාවන් වැඩිවිය පත්වීම එක්ක කෙරෙන චාරිත්‍රයක් වන අතර මෙමගින් අනවශ්‍ය ලිංගික ක්‍රියා පාලනය කිරීම ආදී දේ අපේක්ෂා කරනවා. 

 

2. වද වේදනා විඳීම 

තමුන්ගේ සිරුරට කස වලින්, දම්වැල් වලින් පහර දී ගැනීම මේ කොටසට අයිති වෙනවා. සිරුරට දුක් දීමක් වශයෙන් සිරුර හිල් කරලා, කටු ගහලා එල්ලාගෙන යන චාරිත්‍රයක් ඉන්දියාවේ ද්‍රවිඩ ජනයා අතර තියෙනවා. ඒ වගේම සිරුරට දැඩි ලෙස පහර කා ගැනීම පිලිපීනය, මැක්සිකෝව වැනි රටවල ක්‍රිස්තියානි ප්‍රජාව අතර මහ සිකුරාදා චාරිත්‍රයක් විදිහට පැවතෙනවා. ඒ වගේම පාකිස්තානය, ලෙබනනය, ඉරාකය වැනි රටවල උපවාස කාලය තුළත් මේ චාරිත්‍රය පැවැත්වෙනවා. 

 

3. සිරුර සිදුරු කරගැනීම 

පිහි වලින්, කඩු වලින්, බ්ලේඩ් වලින් සිරුර සිදුරු කරලා යක්ෂ ආත්මයට හානි පැමිණවීම මෙයින් දැක්වෙනවා. මේ චාරිත්‍රය ඉන්දියාවේ, දකුණු ඉන්දියානු ප්‍රදේශවල සුලබයි. ඒ වගේම තායිලන්තයේත් මෙවැනි වතාවත් තියෙනවා. මේ හරහා සිරුරට දෙවියන් ආරූඪ වී දෙවියන් විසින් සිරුර ආරක්ෂා කරන බවට විශ්වාසයකුත් ඒ බැතිමතුන් අතර තියෙනවා. 

 

 

4. දරුවන් උඩ දැමීම 

මෙහිදී දරුවන් විශාල ආගමික ගොඩනැගිල්ලක ඉහළ මහලේ සිට බිමට හෙලන අතර පියවරුන් සහ ඥාතීන් ඒ සිඟිති දරුවන් පහල සිට රෙදි කැබලි ආධාරයෙන් අල්ලා ගන්නවා. මෙය ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ සිරිතක් විදිහට පැවතෙනවා. මේ චාරිත්‍රය හරහා අලුත විවාපත් යුවළට ඉක්මනින් දරු සුරතල් බලන්නට ලැබේවා කියන ප්‍රාර්ථනාවත් ඇතුළත් වෙනවා. දෙසැම්බර් මාසයේ දවසක තමයි මේ චාරිත්‍රය සාමාන්‍යයෙන් සිද්ද වෙන්නේ. 

 

5. මැරෙන තුරු උපවාස කිරීම 

මෙය ඉන්දියාවේ ජෛන කොටසක් අතර කලකදී ජනප්‍රිය වූ ආගමික චාරිත්‍රයක් වුණා. ජෛනවරු සාමාන්‍ය ජීවිතයේදී මස් මාළු අනුභව කරන්නේ නැහැ. සතුන් පෑගෙනවාය යන බිය නිසා ඔවුන් ඇවිදින්නට පෙර පාර අතුගාලා ඇවිදිනවා. දිගම්බරා ආගමික කොටස සිරුරට ඇඳුම් අඳින්නෙත් නැහැ. මේ දැඩිමතධාරීන් අතර ජීවිතයේ කෙලෙස් ඉවත් කරගන්න උපවාස කිරීම ජනප්‍රිය වෙලා තිබුණා. ඉන්දියාවේ රාජස්ථානයේ මේ සිරිත වැඩිවීමත් එක්ක ඒ පළාතේ අධිකරණය මගින් මෙය වරදක් ලෙස දක්වා අත්අඩංගුවට ගැනීම් පවා සිද්ද වුණා. ඒත් තවමත් හොර රහසේ මෙවැනි උපවාස පැවැත්වෙන බවක් තමයි කියවෙන්නේ. 

 

6. බිලිපූජාව 

මේ බිලිපූජාවන් හින්දු සහ මුස්ලිම් ආගමික කොටස් අතර තවමත් තියෙනවා. දේව ආගම් වල දෙවියන් උදෙසා මෙවැනි පූජාවන් පැවැත්වෙනවා. මක්කම නගරයට වන්දනාවේ ගොස් එළුවෙකු, බැටළුවෙකු මරා භාරහාර වීම ඇතැම් මුස්ලිම් කොටස් අතර චාරිත්‍රයක් ලෙස පවතිනවා. එසේම හින්දු ආගමේ දෙවියන් උදෙසා එළුවන්, බැටළුවන් ආදී සතුන් බිලි දීම පුරාතනයේ පටන් පවතින චාරිත්‍රයක්. ඉන්දියාවේදී මෙම ඝාතන තහනම් කිරීම සමග නේපාලයේ පහළ කොටස් මේ යාග හෝම සඳහා යොදාගත් පුවත් මෑත කාලයේ වාර්තා වෙලා තිබුණා. 

 

7. සමෙහි කැටයම් මගින් දෙවියන් නැමදීම

 

පැපුවා නිව්ගිනියාවේ ගෝත්‍රිකයින් අතර සමේ විවිධ වර්ණ ගැන්වීම්, පච්චා ගැසීම් වාර්තා වෙනවා. ඒ වගේම ඔවුන් අතර සම කිඹුලකුගේ මෙන් වන්නට සූරා කපා සකස් ගැනීමේ චාරිත්‍රයක් තිබෙනවා. මේ හරහා කිඹුලකුගේ පිටක් මෙන් සිරුර සකස් කර ගැනීම ඔවුන්ගේ අභිලාශය වෙනවා. 

 

කලකට පෙර තුන් කුළුඳුල් දරුවන් නිධාන පිණිස බිලිදෙන සිදුවීම් අපේ රටින් වාර්තා වුණා. එසේම හින්දු ජනතාවගේ කූරු ගසා එල්ලා පද්දමින් සිරුරට වද දෙමින් රැගෙන යන දර්ශන තවමත් විටින් විට දකින්නට ලැබෙනවා. අතීතයේදී යම් හේතුවක් නිසා ආගම් අතරට පැමිණි මේ නොයෙක් විකාරරූපී අශිෂ්ට ගතිසිරිත් කුමක් හෝ හේතුවක් නිසා තවමත් තිබෙනවා. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *