වැඩි දෙනෙක් නොදන්න චව් චව් රසට උයන්න රෙසිපීස් 5

වැඩිය දෙනෙක් කන්නෙ නැති සහ දන්නෙ නැති එළවළුවක් තමා චව් චව් කියන්නෙ. ගුණදායක චව් චව් වලින් හදන්න පුළුවන් කෑම ටිකක් කියලා දෙන්න හිතුවා. මේක අපි එළවළුවක් විදියට ගත්තට ඇත්තටම චව් චව් කියන්නෙ පළතුරක්. ලුණු ගම්මිරිස් ඉහළා අමුවෙන් වුණත් කන්න පුළුවන්. ඒත් ඉතින් අපිට හුරු උයල කන්නනෙ. ඒ හින්දා අද ගෙනාවෙ චව් චව් නොකන අයටත් කන්න හිතෙන රෙසිපි ටිකක්.

 

1. චව් චව් කරිය

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. චව් චව් ගෙඩියක්
  2. තෙල් ටිකක් 
  3. ලියාගත් සුදුළූණු බික් 2
  4. ලියාගත් රතුළූණු ගෙඩි 2
  5. රම්පේ හා කරපිංචා 
  6. උළුහාල් ටිකක් 
  7. මිරිස්කුඩු තේ හැඳි 1
  8. තුනපහකුඩු තේ හැඳි 1/2
  9. කහකුඩු තේ හැඳි 1/4
  10. ලුණු 
  11. අබ ටිකක් 
  12. කපාගත් අමුමිරිස් කරල් 2
  13. දියකිරි කෝප්ප 1/2
  14. මිටිකිරි කෝප්ප 1

 

  • චව් චව් ගෙඩිය පොත්ත සුද්දකරලා තරමක කෑලි කපාගන්න. මේකට කහ හා ලුණු ටිකක් අතගාලා පැත්තකින් තියන්න. 
  • මැටි ඇතිලියක් ලිපේ තියලා තෙල් ටිකක් දාලා රත්වෙනකොට අබ ටික දාලා පුපුරවගන්න. ඒකට කපාගත් ළූණු, සුදුළූණු, අමුමිරිස්, රම්පේ කරපිංචා, උළුහාල් දාලා බැදෙන්න අරින්න. මිරිස් හා තුනපහ ටිකත් එකතු කරන්න. 
  • ටිකකින් චව් චව් කෑලි ටික දාලා දියකිරි ටිකත් දාලා වහලා තැම්බෙන්න තියන්න. හොඳට තැම්බුනාම මිටිකිරි දාලා උතුරවගන්න. 

 

2. චව් චව් තෙම්පරාදුව

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. චව් චව් ගෙඩියක්
  2. අමුමිරිස් කරල් 2
  3. ඉඟුරු කෑල්ලක්
  4. කපාගත් පොල් කෑල්ලක්
  5. ලුණු
  6. සූදුරු තේ හැඳි 1
  7. කොත්තමල්ලි කොළ ටිකක් 
  8. තෙල් ටිකක්
  9. අබ ටිකක් 
  10. උඳු පරිප්පු ටිකක් 
  11. චොප්කරගත් ළූණු ගෙඩි 1
  12. කරපිංචා ටිකක් 
  13. වියළි මිරිස් කරල් 2
  14. කහකුඩු ටිකක් 

 

  • චව් චව් ගෙඩිය හීනි පෙති කපාගන්න. ග්‍රයින්ඩර් එකට අමුමිරිස්, ඉඟුරු, පොල් හා ලුණු දාලා මේකට සූදුරු හා කොත්තමල්ලි කොළ ටිකත් දාලා හොඳට ග්‍රයින්ඩ් කරගන්න. 
  • පෑන් එකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට අබ ටික දාගන්න. උඳු ඇට පරිප්පු දාලා බැදෙන කොට චොප්කරගත් ළූණු හා කරපිංචා ටික දාගන්න. 
  • ටිකකින් වියළි මිරිස් ටික දාලා තෙම්පරාදු කරගන්න. ළූණු ටික තෙම්පරාදු වෙනකොට චව් චව් ටික දාලා කහකුඩු දාගන්න. කලවම් කරලා ග්‍රයින්ඩ් කරගත් මිශ්‍රණය දාලා හොඳට කලවම් කරගන්න. 

 

3. චව් චව් කළුපොල් මාළුව

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. චව් චව් ගෙඩියක්
  2. අබ ටිකක් 
  3. චොප්කරගත් සුදුළූණු
  4. චොප්කරගත් රතුළූණු ගෙඩි 2 
  5. මිරිස්කුඩු තේ හැඳි 1
  6. කහකුඩු තේ හැඳි 1/4
  7. මස් කරි කුඩු තේ හැඳි 2
  8. උම්බලකඩ කෑලි ටිකක්
  9. රම්පේ හා කරපිංචා 
  10. කපාගත් තක්කාලි ගෙඩියක්
  11. කුරුඳු පොතු කෑල්ලක්
  12. උළුහාල් ටිකක් 
  13. දියකිරි කෝප්ප 2
  14. මිටි කිරි කෝප්ප ½
  15. බැදගත් හාල් මේස හැඳි 2
  16. බැදගත් පොල් මේස හැඳි 2

 

  • චව් චව් ගෙඩිය සුද්ද කරලා තරමක කෑලි කපාගන්න. තෙල් ටිකක් ලිපේ තියලා රත්වෙනකොට අබ ටික දාලා පුපුරවගන්න. ඊළඟට සුදුළූණු දාලා බැදෙනකොට මස් කරිකුඩු හා තුනපහකුඩු සියල්ලම දාලා බැදෙන්න අරින්න. 
  • පැහැය වෙනස් වේගෙන එනකොට චව් චව් කෑලි ටික දාලා රම්පේ, කරපිංචා, උම්බලකඩ, තක්කාලි, කුරුඳු පොතු හා එන්සාල් දාලා රස අනුව ලුණු දාලා ඒකටම බැදගත් හාල් පොල් දාලා දියකිරෙන් තම්බගන්න. හොඳට තැම්බුනාම මිටිකිරි දාලා උතුරවගන්න. 

 

4. චව් චව් අච්චාරු

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කොටු කපාගත් චව් චව් ගෙඩි 1
  2. කොටු කපාගත් තක්කාලි ගෙඩි 10
  3. චොප්කරගත් ළූණු ගෙඩි 5
  4. චොප්කරගත් බෙල්පෙපර් ගෙඩි 5
  5. ලුණු
  6. අමුමිරිස් කරල් 5
  7. විනාකිරි කෝප්ප 2
  8. කුරුඳු කුඩු ටිකක් 
  9. කරාබු නැටි 4
  10. සීනි තේ හැඳි 2
  11. මික්ස් ස්පයිස් තේ හැඳි 1

 

  • බෝල් එකකට තක්කාලි, චව් චව්, ළූණු, බෙල්පෙපර් හා ලුණු දාලා කලවම් කරලා රැයක් වහලා තියන්න.
  • උදේට මේකෙ වතුර උනලා තියෙනවා පෙනෙයි. දැන් මේක පෙරලා අරන් සීනි හා විනාකිරි දාලා කලවම් කරගන්න. 
  • පිරිසිදු රෙදි කෑල්ලක කරාබුනැටි, කුරුඳු පොතු හා මික්ස් ස්පයිස් ටික ඔතලා චව් චව් එකට දාලා විනාඩි 15ක් තම්බගන්න. නිවුණාම ජීවාණුහරණය කරගත් බෝතල් වල අසුරගන්න. 

 

5. චව් චව් කූටු 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. පොඩියට කපාගත් චව් චව් ගෙඩි 1
  2. තෙල් ටිකක් 
  3. කඩල පරිප්පු ටිකක් 
  4. වියළි මිරිස් කරල් 3
  5. ගාගත් පොල් කෝප්ප 1/4
  6. මුං පරිප්පු කෝප්ප 1/4
  7. කහකුඩු තේ හැඳි 1/4
  8. ලුණු ටිකක් 
  9. අබ ටිකක් 
  10. උඳු පරිප්පු තේ හැඳි 2
  11. කරපිංචා ටිකක් 
  12. චොප්කරගත් කොත්තමල්ලි කොළ ටිකක් 

 

  • පෑන් එකට තෙල් ටිකක් දාලා කඩල පරිප්පු ටික දාගන්න. අඩු ගින්දරේ බැදගන්න. මේකට වියළි මිරිස් හා පොල් ටිකත් දාලා බැදෙන්න අරින්න. මේ ටික ග්‍රයින්ඩර් එකට දාලා වතුර මේස හැඳි 2 වගේ දාලා හොඳට ග්‍රයින්ඩ් කරගන්න. 
  • වෙනම භාජනයකට මුං පරිප්පු හා කපාගත් චව් චව් ටික දාලා කහකුඩු හා ලුණු දාගන්න. මේකට වතුර ටිකක් දාලා තැම්බෙන්න තියන්න. හොඳට තැම්බුනාම මේකට ග්‍රයින්ඩ් කරගත් පේස්ට් එකත් දාලා විනාඩි 5ක් විතර පිසගන්න. 
  • ඒ අතරෙ වෙනම පෑන් එකකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට අබ ටික පුපුරවගන්න. මේකට උඳු පරිප්පු ටිකත් දාගන්න. කරපිංචා ටිකත් දාලා හොඳට තෙම්පරාදු උනාම සාදාගත් කරියට තෙම්පරාදුව එකතු කරන්න. උඩින් කොත්තමල්ලි කොළ ඉසගන්න. හොඳට කලවම් කරගන්න. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *