ක්‍රිකට් ලෝක කුසලාන ඉතිහාසයේ අමතක නොවන කඩුලු ත්‍රිත්ව

ඔන්න ඉතින් කාලෙකට පස්සේ වැලි කතරට දිය බින්දුවක් වැටුණා වගේ කොදෙව්වන් එක්ක තිබුණු පළවෙනි ටෙස්ට් තරගයෙන්ම ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක් ලබාගන්න හැකියාව ලැබුණා. ඒ ජයග්‍රහණය වගේම පහුගිය T20 ලෝක කුසලාන තරගාවලිය දිහාත් බැලුවම සියළු ආකාරයේ ක්‍රිකට් ෆෝමැට් වල අලුත් බලාපොරොත්තු ඇති කරගන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. ඉස්සර නම් අපේ කට්ටිය ගහපු මැච් වල අලුතින් රෙකෝර්ඩ් පවා බිහි කළා. එහෙම අතීතයක් තමයි අපේ ක්‍රිකට් වල තිබුණේ. ඉතින් නුදුරේදීම ආයේ ඒ වගේ දක්ෂතා පෙන්නලා අපේ හිත්වල කලින් තිබුණු ගැම්ම ඇති කරන්න හැකිවෙයි කියල අපි හිතනවා. ඔන්න ඔය හිතට ආපු ගැම්මෙන්ම එහෙනම් කියවගෙන යන්න මේ ක්‍රිකට් ලෝක කුසලාන ඉතිහාසයේ වාර්තා වුණු කඩුලු ත්‍රිත්ව ලබාගත් අවස්ථා. මේක කියෙව්වම ඔය තියෙන ගැම්ම කොහොමත් තව ටිකක් වැඩි වෙයි. 

 

 

1. චේතන් ශර්මා (ඉන්දියාව)

ලෝක කුසලාන ඉතිහාසයේ පළවෙනි වතාවට කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමේ ගෞරවය අයිති වෙන්නෙ චේතන් ශර්මාට. චේතන් ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු දක්ෂ වේග පන්දු යවන්නෙක්. ඔහු මේ කඩුලු ත්‍රිත්වය ලබාගත්තේ 1987 පැවතුණු ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් ගෘප් ස්ටේජ් මැච් එකේ නවසීලන්ත කණ්ඩායමට එරෙහිව. එහිදී චේතන්ගේ පන්දු යැවීම හමුවේ කඩුලු දැවී ගිය ක්‍රීඩකයින් තමයි කෙන් රදර්ෆර්ඩ්, ඉයන් ස්මිත් සහ එවෙන් චැට්ෆීල්ඩ්. විශේෂම කාරණාව වෙන්නෙ අන්තර්ජාතික මට්ටමින් පැවතිච්ච ක්‍රිකට් තරගයක ඉන්දියානු ක්‍රීඩකයෙක් කඩුලු ත්‍රිත්වයක් වාර්තා කරපු පළවෙනිම අවස්ථාවත් මේක. ඒ වගේම දැනට ඔහු ඉන්දියානු ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති විදිහට කටයුතු කරනවා. 

 

 

2. සක්ලේන් මුෂ්ටාක් (පකිස්ථානය)

සක්ලේන් මුෂ්ටාක් පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ හිටපු දක්ෂ දකුණත් දඟ පන්දු යවන්නෙක්. ඔහු තමයි එක අවුරුද්දක් තුළ වැඩිම එක්දින කඩුලු ලබාගැනීමේ වාර්තාවටත් හිමිකම් කියන්නෙ. ඉතින් සක්ලේන් මේ කඩුලු ත්‍රිත්වයක් ලබාගැනීමේ දක්ෂතාවය පෙන්නුම් කළේ 1999 අවුරුද්දේ පැවතුණු ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේදී, සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව. මේ තරගයේ සිම්බාබ්වේ කණ්ඩායම ඉතාම අසීරු අඩියක තමයි හිටියේ. පකිස්ථානය ලබාගත් ලකුණු 271 හඹා යද්දී සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 110 කට කඩුලු 7ක් දැවී ගිහින් තිබුණා. ඒ අවස්ථාවේදී තමයි සක්ලේන් තමන්ගේ කඩුලු ත්‍රිත්වය ලබාගත්තු පන්දු ඕවරය ක්‍රියාත්මක කරන්නෙ. ඒ ඕවරයේදී පිළිවෙලින් හෙන්රි ඔලොන්ගා, ඇඩම් හකල් සහ පෝමී ම්බන්ග්වා තමන්ගේ කඩුලු සක්ලේන්ට පූජා කරමින් පකිස්ථානයට තරගයේ ජයග්‍රහණයත් පූජා කරනවා. 

 

 

3. චමින්ද වාස් (ශ්‍රී ලංකාව)

ඔන්න ඉතින් ලංකාවේ ගැම්ම. වැඩි විස්තර කියන්න ඕනෙත් නෑ මේ තරගය ගැන. 2003 පවත්වපු ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දහවෙනි තරගයේ, ඒ කියන්නෙ වැලන්ටයින් දිනය දවසේ, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තිබුණු තරගයේ පළවෙනිම පන්දු තුනෙන් අපේ වේග පන්දු දැවැන්තයා බංග්ලාදේශ මුල්පෙළ පිතිකරුවන් තුන් දෙනෙක් විවේකාගාරයට හරවා යවන්න සමත් වෙනවා. ඒ වගේම ඒ පන්දු ඕවරයේදීම වාස් තවත් එක කඩුල්ලක් ලබාගන්න සමත් වෙනවා. මේ විදිහට වාස් ට තමන්ගේ කඩුලු පූජා කරපු ක්‍රීඩකයින් තමයි හනන් සර්කාර්, මොහමඩ් අෂ්රෆුල් සහ එහ්සනුල් හක්. 

 

 

4. බ්‍රෙට් ලී (ඔස්ට්‍රේලියාව)

ලිස්ට් එකට අකමැත්තෙන් වුණත් දාන්න වෙනවා මේ මහත්තයව. මෙයා ශ්‍රී ලංකා ක්‍රිකට්වල එක්තරා සතුරෙක්නෙ. ඒවා අමතක කරන්නකෝ. වාස් තමන්ගේ කඩුලු ත්‍රිත්වය වාර්තා කරලා දවස් එකොළහකට පස්සේ ඒ ලෝක කුසලාන තරගාවලියේදීම බ්‍රෙට් ලී සමත් වෙනවා ඔහුගේ නම ඉස්සරහත් කඩුලු ත්‍රිත්වයක් සටහන් කරගන්න. ඒ කෙන්යා කණ්ඩායමට එරෙහිව. ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් කෙන්යා කණ්ඩායම ඔවුන්ගේ තුන්වන පන්දු ඕවරයේදී බ්‍රෙට් ලීගේ පන්දු යැවීම හමුවේ ඉතාම අසරණ වෙනවා. තුන්වෙනි පන්දු ඕවරයේ හතරවෙනි පන්දුවේදී බ්‍රෙට් ලී කෙන්යානුවන් දඩයම පටන් ගන්නවා. ඒ අනුව පළවෙනි කඩුල්ල විදිහට කෙනඩි ඔටියෙනෝ සහ පිළිවෙලින් බ්‍රිජාල් පටෙල් සහ ඩේවිඩ් ඔබුයා කියන ක්‍රීඩකයින් ක්‍රීඩාගාරය වෙත හරවා යවන්න බ්‍රෙට් ලී සමත් වෙනවා. 

 

 

5. ලසිත් මාලිංග (ශ්‍රී ලංකාව)

ඔන්න තවත් අපේ ක්‍රිකට් දැවැන්තයෙක් මේ ලැයිස්තුවේ. ඒ තමයි අපේ යෝකර් රජු, ලසිත් මාලිංග. 2007 අවුරුද්දේ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ 26 වෙනි තරගය විදිහට පැවැත්වුණු සුපර් 8 වටයේ දකුණු අප්‍රිකාව එක්ක ක්‍රීඩා කරපු තරගයේදී ලසිත් මාලිංග සමත් වෙනවා කඩුලු ත්‍රිත්වයක් ලබාගන්න. මේ තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වුණත් මේ ලබාගත්තු කඩුලු ත්‍රිත්වය ශ්‍රී ලංකා කණ්ඩායමට වටිනාකමක් එකතු කළා. පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියල්ලන් දැවී ලකුණු 209ක් ලබාගන්නවා. ඊට පිළිතුරු විදිහට දකුණු අප්‍රිකා කණ්ඩායම තමන්ගේ ලකුණු ලබාගැනීම ආරම්භ කරලා, ඔවුන්ගේ ජයග්‍රහණය ඔන්න මෙන්න තියෙද්දී තමයි මාලිංග කඩුලු ත්‍රිත්වයක් ලබාගන්නේ. ඒ 44 වෙනි ඕවරයේ 5 වෙනි පන්දුවේදී ෂෝන් පොලොක් දවාගනිමින්. ඉන් පස්සේ ඒ ඕවරයේ අවසන් පන්දුවේදී ඇන්ඩ්රූ හෝල් දවාගන්නවා. ආයේ මාලිංගට පන්දු යවන්න ලැබෙන්නේ 46 වෙනි ඕවරය. ඒකෙ පළවෙනි පන්දුවෙන් ජාක්ස් කලිස්ව දවාගත්තු මාලිංග කඩුලු ත්‍රිත්වයක් තමන්ගේ නම ඉදිරියෙන් ලියාගන්නවා. ඔහු එතනින් නවතින්නේ නැහැ. ඊළඟ පන්දුවෙන් මකායා න්ටිනිව දවාගෙන ලෝක ක්‍රිකට් ඉතිහාසයේ පිට පිට පන්දු හතරකින් කඩුලු හතරක් දවා ගත් පළමු ක්‍රීඩකයා බවට පත් වෙන්න සමත් වෙනවා. 

 

 

6. කෙමාර් රෝච් (බටහිර ඉන්දීය කොදෙව්)

කෙමාර් රෝච් තමයි පළවෙනි වතාවට ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියක බටහිර ඉන්දීය කොදෙව්වන් වෙනුවෙන් කඩුලු ත්‍රිත්වයක් වාර්තා කළේ. මේ දක්ෂතාවය රෝච් දැක්වුවේ 2011 අවුරුද්දේ පැවැත්වුණු ලෝක කුසලාන තරගාවලියේදී. ඒ තරගාවලියේ 13වෙනි තරගය විදිහට මූලික වටයේ තරගය පැවැත්වුණේ කොදෙව්වන් සහ නෙදර්ලන්තය අතර. මුලින් පන්දුවට පහර දෙමින් කොදෙව්වන් නෙදර්ලන්තයට ලකුණු 330ක දැවැන්ත ඉලක්කයක් ලබාදෙනවා. ඊට පිළිතුරු ලෙස, පිටියට පැමිණුනු නෙදර්ලන්ත ක්‍රීඩකයන් සියළුදෙනා ලකුණු 115කට දැවී යනවා. ඒකෙදී 31වෙනි පන්දු ඕවරය ක්‍රියාත්මක කරමින් කෙමාර් රෝච් පළවෙනි පන්දු තුනෙන් ප්‍රතිවාදීන්ගේ අවසන් කඩුලු තුන බිඳ හෙලනවා. ඒ විදිහට දැවී ගියේ නෙදර්ලන්ත කණ්ඩායමේ පීටර් සිලාර්, බර්නාඩ් ලුට්ස් සහ බර්නාඩ් වෙස්ට්ඩිජ්ක් කියන ක්‍රීඩකයින්. 

 

 

7. ලසිත් මාලිංග (ශ්‍රී ලංකාව)

ඔන්න ලසිත් මාලිංග ආයෙත්. මාලිංග ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියකදී වැඩිම කඩුලු ත්‍රිත්ව ලබාගත් ක්‍රීඩකයා විදිහට වාර්තා පොත් වලට එකතු වෙනවා. ඉතින් 2011 දී කඩුලු ත්‍රිත්වයක් ලබාගත්තු මාලිංග මේ තරගයේ මුළු කඩුලු 6ක් දවාගන්න සමත් වෙනවා. මුලින් පන්දුවට පහර දුන් කෙන්යානුවන් ලකුණු 142කට සීමා කරන්නට මාලිංග ඇතුළු පන්දු යවන්නන් සමත් වෙනවා. එහිදී කෙන්යානුවන්ගේ අවසන් කඩුලු තුන 43 වෙනි ඕවරයේ පළවෙනි පන්දු තුනෙන් දවාගත්තු මාලිංග ලෝක කුසලානයක තවත් කඩුලු ත්‍රිත්වයක් තමන්ගේ නම ඉදිරියෙන් වාර්තා කරගන්න සමත් වෙනවා. ලසිත් මාලිංගට කඩුලු ත්‍රිත්වයක් ලබාගන්නට කඩුලු පූජා කළේ කෙන්යානු කණ්ඩායමේ ටන්මේ මිශ්රා, පීටර් ඔන්ගොන්ඩෝ සහ ශේම් එන්ගොචේ කියන ක්‍රීඩකයින්.

 

මිට අමතරව 2015දී  එංගලන්ත ක්‍රීඩක ස්ටීවන් ෆින් ඔස්ට්‍රේලියාවට එරෙහිවත්, එම වසරේම දකුණු අප්‍රිකානු ක්‍රීඩක ජේ පී ඩුමිනි ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිවත් කඩුලු ත්‍රිත්ව වාර්තා කරන්නට සමත් වෙලා තියෙනවා. ඉතින් මේ ලැයිස්තුවේ වැඩි වාර ගණනක් ශ්‍රී ලාංකික ක්‍රීඩකයින්ගේ නම් සඳහන් වීම ශ්‍රී ලාංකිකයින් විදිහට අපි හැමෝටම ආඩම්බර වෙන්න පුළුවන් දෙයක්. ආයෙමත් මේ වගේ දක්ෂතා දක්වන්න ඔවුන්ට හැකියාව ලැබෙන්න කියල අපිත් ප්‍රර්ථනා කරනවා. 

 

Leave a Reply

Your email address will not be published.