වැසිකිළිය කියන්නේ ටිකක් අප්‍රසන්න දෙයක්. ඒත් වැසිකිළි ඉතිහාසය කියන්නේ මිනිස් ඉතිහාසයේ වැදගත් පියවරක්. මිනිස්සු තමුන්ගේ අවශ්‍යතා සඳහා නගරවලට එක්රැස් වෙන්න ගනිද්දි ඔවුන්ගේ වැසිකිළි අපද්‍රව්‍ය මුදාහැරීම ගැටළුවක් වුණා. ඒ සඳහා විවිධ විසදුම් එකල පටන් තිබුණා. ඒත් ලංකාවට යුරෝපීයයන් ආපු 1500 ගණන් වලදිත් ඔවුන්ට මේ මළ අපද්‍රව්‍ය මුදා හැරීම පිළිබඳ පැහැදිළි ක්‍රමවේදයක් තිබුණේ නැහැ.
1. රෝමානු සහ පෙර යුගයේ වැසිකිළි
වැසිකිළි කියන්නේ අද ඊයේ ඇති වූ දෙයක් නෙමෙයි. ලෝකයේ බිහිවුණු සෑම දියුණු පැරණි ශිෂ්ටාචාරයකම පාහේ මළ අපවහනය ගැන විශේෂයෙන් සැළකිලිමත් වුණා. රෝමානු යුගයේදී වැසිකිළි කියන්නේ දුම්රිය ස්ථානවල තියෙන විවේකාගාර වගේ පහසුකමක් වුණා. ඔවුන් වැසිකිළියේ වාඩි වී මළපහ කරන අතර එකිනෙකා හා සතුටු සාමීචියේ යෙදුනා. වැසිකිළි අපද්‍රව්‍ය ඒ ආසනවල නිමවා තිබුණු සිදුරු අතරින් පහළට වැටුනා. වර්තමානයේ මෙන් සැඟවී වෙන්වී මළපහ කිරීමක් නොවූ එකල රෝමානු නගරවල වූ එවැනි පොදු වැසිකිළි නටබුන් තවමත් දකින්නට තියෙනවා.
2. ආගම් වල වැසිකිළි ගැන සටහන්
බුදුදහමේ වැසිකිළි කැසිකිළි යෑම සම්බන්ධ කාරණා විනය නීති වල සඳහන් වෙනවා. බුදුන් වහන්සේ ජීවත්ව සිටි කාලයේම වැසිකිළි බඳුන් වල ජලය ඉතිරි කර යෑම ගැන වාද විවාද තත්ත්වයක් පැන නැගී එයින් සංඝයා අතර භේදයක් පවා වාර්තා වුණා. අල් කෝරාණයෙත් කැසිකිළි ගිය පසු පිරිසිදු කරගන්නා සැටි ඇතුළත් වෙනවා. පුරාතනයේ මේ මළ අපද්‍රව්‍ය ආහාර වලින් ඈත්කරගැනීම වැදගත් වුණා. ඒ නිසා පැරණි ආගම් වල මේ වැසිකිළි ගැනත් එය පාවිච්චිය ගැනත් සඳහන් වෙලා තියෙනවා.
3. ඉපැරණි ශිෂ්ටාචාරවල වැසිකිළි
ආදි මෙසපොතේමියාවේ වැසිකිළි ඔවුන්ගේ ගොඩනැගිලි වල වෙනමම තැනක පිහිටලා තිබුණා. ඒ මළ අපද්‍රව්‍ය වෙනමම නාලිකා ඔස්සේ නගරයේ අපජලය ගෙනයන පද්ධතිය හා සම්බන්ධ වුණා. මෙවැනිම වැසිකිළි පද්ධති අනෙක් ඉන්දු නිම්න ආදී ශිෂ්ටාචාර වලත් දකින්නට තියෙනවා. ඉපැරණි ඉන්දීය ක්‍රිස්තු පූර්ව යුගයේ සාහිත්‍ය කෘති වල මළ ඉවත් කිරීමට වෙනමම කුලයක් දක්වා තිබෙනවා. ඒ අනුව එකල වැසිකිළි අපද්‍රව්‍ය ඉවත් කිරීම වැදගත් කාර්යයක් ලෙස සලකා එයට වෙනමම පිරිස් පත්කර තිබූ බවට සිතාගන්නට පුළුවන්.
4. මළ අපද්‍රව්‍ය ගැන මෙතරම් සැළකුවේ ඇයි?
පුරාතන නගර වල වැසිකිළි සැලසුම් කරන්නටත්, ඒවායේ අපවහනය විධිමත් කරන්නටත් පැහැදිළි හේතු තිබුණා. දැන් සොයාගෙන තියෙන විදිහට කොළරාව. උණ සන්නිපාතය සහ විවිධ බැක්ටීරියා ආසාදන වලට මේ මළ අපද්‍රව්‍ය හේතුවන්නට පුළුවන්. පුරාතනයේ අපේ ගම්මානවල වැසිකිළිය යනු නිවසට යාබද දැන් පිහිටා තියෙන ආකාරයේ එකක් වුණේ නැහැ. වත්තේ කෙළවරක තැනූ වැසිකිළිය නිවසින් සැළකිය යුතු දුරකින් නිම කරවන්නට එකල මිනිසුන් කටයුතු කළා. වැසිකිළි අපද්‍රව්‍ය සහ ඒ පද්ධතිය නිවසින් සහ ආහාර වලින් ඈත් කිරීම එහි අරමුණක් වන්නට ඇති.
5. මළ අපවහන පද්ධති
පුරාතන රෝම සහ වෙනත් නගර වල තිබුණේ ජලයට වැටෙන මළ අපද්‍රව්‍ය ජලය මතින්ම ගසාගෙන ගොස් නගරයෙන් ඉවත් කිරීමේ ක්‍රමයක්. ඒ වගේම වැටෙන මළ අපද්‍රව්‍ය එවෙලේම වගේ වියෝජනය කිරීමට උදව් වීමට පුරාතන චීනයේ ඌරන් යොදාගෙන තියෙනවා. ආදී චීනයේ සහ ඉන්දියාවේ මේ මළ අපද්‍රව්‍ය කරත්ත මගින් නගරයෙන් පිටතට රැගෙන ගොස් තිබෙන අතර එය එකල නාගරික සේවාවක් වුණා. මධ්‍යතන යුරෝපයේදී මේ මළ අපද්‍රව්‍ය ඉවත් කරන අය රාත්‍රියේ හෝ උදෑසනම වැඩ පටන් ගත් අතර නගරයේ කටයුතු ආරම්භ වන්නට පෙර ඔවුන් මළ ඉවත්කිරීමේ කටයුතු කළුවරේම සිදුකළා.
6. කොමොඩ් එකේ ඇරඹුම
කොමඩ් එක මුලින්ම ලෝකයට එන්නේ එංගලන්තයෙන්. එහිදී මළ පහ කරන්නට තිබුණු ලී පෙට්ටිය එකල කොමොඩ් ලෙස හැඳින්වුණා. එකල රාජකීයයන්ට සහ රදළයින්ට වඩාත් අලංකාර වැඩ දැමූ කොමොඩ් පෙට්ටි උරුම වුණා. එසේම සිංහල රජතුමාගේ ශරීර කෘත්‍යයන්ට උපකාර වූ සට්ටැඹියන් මෙන් එකල යුරෝපයේ රාජකීයයන්ටද වැසිකිළි කාර්යයට සහාය වන අය සිටියා. ඔවුන් එකල රජතුමාට බලපෑම් කළ හැකි ප්‍රබල තනතුරක්ද වුණා.
7. අලුත් වැසිකිළියේ ආරම්භය
අප දැනට බහුලව පාවිච්චි කරන ජල මුද්‍රිත වැසිකිළිය ජෝන් හැරිංග්ටන් විසින් 1500 ගණන් වලදී වික්ටෝරියා රැජින වෙනුවෙන් සකස් කළ එකක් වුණා. මේ ජල මුද්‍රිත වැසිකිළිය අනෙක් වැසිකිළි වලට වඩා හැම අතින්ම වාසිදායක වුණා. වැසිකිළි වලේ තිබෙන අප්‍රසන්න දුගඳ ජල තලය මගින් වැසිකිළිය තුළට ඒම නැවතුණා. මේ වැසිකිළි වල හා කට වතුර වලින් බ්ලොක් කරන නැම්ම හඳුන්වා දෙනු ලැබුවේ ස්කොට්ලන්ත ජාතික ඇලෙක්සැන්ඩර් කුන්මින් විසින්. ඒ 1775 දී.
අද වනවිට වැසිකිළි භාවිතය අප රටේ පැතිර ගිය දෙයක්. වැසිකිළි නැති පිරිස සීමිතයි. එහෙත් ලොව පුරා බිලියන 2ක ජනතාවකට තවම වැසිකිළි නැහැ. තවත් බිලියන 2ක පිරිසකට හරිහැටි මළ අපද්‍රව්‍ය මුදාහරින, ඒවා ප්‍රතිචක්‍රීකරණයට ලක් කරන පද්ධතියක් නැහැ. ඉතින් වැසිකිළි වගේ මූලික අවශ්‍යතාවයන්වත් සම්පූර්ණ කරගන්න ලෝකයා අනෙක් දුප්පත් රටවලට උදව් දිය යුතු වනවා. අපේ රටේත් ඈත දුෂ්කර පළාත්වල වැසිකිළි නැති පිරිස් සිටිනවා නම් ඔවුන්ව දේශපාලන ඉත්තන් ලෙස යොදා නොගෙන වැසිකිළි හදාගන්නට උපකාර කිරීම වැදගත් වෙනවා.
Leave a Reply