තායි රසට කැමති අයට ගෙදරදී​ම රසවිඳින්න තායි රෙසිපි 5ක්

එක් එක් රටවල රෙසිපි හොයාගෙන යන අතරෙ ඔන්න අද අපි ආවා තායිලන්තයට ආවේණික වූ රෙසිපි ටිකක් හොයාගෙන. මේවා තායිලන්තෙට ගිහින්ම කාපු අයනම් ඒවයෙ රස හොඳටම දන්නවා. නොදන්න අයට දැනගන්න වගේම ගෙදරදීම හදලා රහ බලන්නත් එක්කම ඔන්න අද අපි තායිලන්ත කෑම ‍රෙසිපි ගැන කියල දෙන්නයි යන්නෙ. 

 

චිකන් සටේ විත් පීනට් සෝස් (Chicken Saute with Peanut Sauce)

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. කොත්තමල්ලි ඇට තේ හැඳි 1 1/2
  2. සූදුරු තේ හැඳි 1/2
  3. සේර මේස හැඳි 1
  4. තලාගත් ඉඟුරු තේ හැඳි 1
  5. ලුණු හා ගම්මිරිස්කුඩු 
  6. සූදුරු ටිකක් 
  7. කරාබු නැටි 2
  8. කහකුඩු තේ හැඳි 1/4
  9. උකු පොල්කිරි කෝප්ප 1 1/2
  10. විනාකිරි මේස හැඳි 1 1/2
  11. වතුර කෝප්ප 1/4
  12. කපාගත් කටු රහිත චිකන් ග්‍රෑම් 200
  13. මස් කරි පව්ඩර් මේස හැඳි 2
  14. රෝස්ට් කර අඹරාගත් පීනට් කෝප්ප 1/2
  15. අඹරාගත් තල ඇට මේස හැඳි 2
  16. රතු සීනි මේස හැඳි 2
  17. ෆිෂ් සෝස් මේස හැඳි 1
  18. සියඹලා මේස හැඳි 2

 

  • වංගෙඩියකට හෝ ෆුඩ් ප්‍රොසෙසර් එකකට කොත්තමල්ලි හා සූදුරු දාලා කුඩුකරගන්න. මේකට සූදුරු, සේර, ඉඟුරු, කරාබු නැටි දාලා හොඳට තලලා කහකුඩු ටිකත් දාගන්න. 
  • ඊළඟට පොල්කිරි කෝප්ප 1/4, විනාකිරි හා වතුර තලන ගමන්ම එකතු කරගන්න. මේක හොඳට කලවම් කරගන්න. 
  • කපාගත් චිකන් වලට මේ මිශ්‍රණය දාලා හොඳට අනාගන්න. මේක පැය භාගයක් වගේ මැරිනේට් කරගන්න. 
  • වෙනම භාජනයකට පොල්කිරි කෝප්ප 1/4 දාලා ලිපේ තියන්න. උතුරනකොට මස්කරි පව්ඩර් එක දාලා කලවම් කරන්න. ඒකට තව පොල්කිරි කෝප්පයක් දාලා  හැඳිගාන්න. 
  • මේකට පීනට් ටික දාලා තලඇට ටිකත් දාගන්න. සීනි ටිකත් දාලා කලවම් කරගන්න. ෆිෂ් සෝස් ටික දාලා සියඹලා යුෂ දාගන්න. හොඳට කලවම් කරගන්න. හොඳට උකු වෙනකොට රස අනුව ලුණු දාලා ලිපෙන් බාගන්න. 
  • මැරිනේට් කරපු චිකන් කෙබාබ් ස්ටික්ස් වල ගහගන්න. දැන් මේ ටික ග්‍රිල් හෝ බේක් කරගන්න. පීනට් සෝස් එකත් එක්ක පිළිගන්වන්න. 

 

2. තායි ඔයිස්ටර් ඔම්ලට් (Thai Oyster Omelette)

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. හාල්පිටි කෝප්ප 1
  2. වතුර ටිකක් 
  3. ඔයිස්ටර් සෝස් මේස හැඳි 1
  4. මඤ්ඤොක්කා පිටි කෝප්ප 1
  5. ස්වීට් චිලී සෝස් මේස හැඳි 3
  6. චිලී සෝස් මේස හැඳි 5
  7. පැ​ළමුං කෝප්ප 1
  8. ෆිෂ් සෝස් කෝප්ප 1/4
  9. සෝදාගත් ඔයිස්ටර් ග්‍රෑම් 200ක්
  10. ගසාගත් බිත්තර කහමද 1
  11. ලුණු හා ගම්මිරිස්කුඩු 
  12. චොප්කරගත් ළූණුකොළ ටිකක් 

 

  • හාල්පිටි වලට වතුර කෝප්පයක් දාලා දිය කරගෙන පැත්තකින් තියාගන්න. 
  • වෙනම භාජනයක මඤ්ඤොක්කා පිටි වලට වතුර ටිකක් දාලා ඔයිස්ටර් සෝස් දාලා කලවම් කරගන්න. මේකට රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු දාලා හොඳට විස්ක් කරගන්න. තික් බැටර් එකක් හදලා විනාඩි 20ක් වහලා තියන්න. 
  • වෙනම බෝල් එකකට චිලී සෝස් හා ස්වීට් චිලී සෝස් දාලා කලවම් කරගන්න. පෑන් එකකට තෙල් ටිකක් දාලා පැලමුං ටික දාලා පෑන් ෆ්‍රයි කරගන්න. මේකට ෆිෂ් සෝස් ටික දාගෙන තෙම්පරාදු කරන් පෑන් එකෙන් අයින් කරගන්න.
  • ඒ පෑන් එකටම තෙල් කෝප්ප 1/4ක් වගේ දාලා හාල්පිටි බැටර් එක දාලා ස්ප්‍රෙඩ් කරගන්න. ඊට උඩින් ඔයිස්ටර්ස් බැටර් එකත් දාලා ඒ එක්කම උඩින් බිත්තර කහමදය දාලා ස්ප්‍රෙඩ් කරගන්න. දැන් මේක වහලා හොඳට බැදුනම ලිපෙන් බාගන්න. උඩින් ගම්මිරිස්කුඩු හා චොප්කරගත් ළූණුකොළ ටික දාගන්න. හදාගත්ත ස්වීට් චිලි සෝස් එක සහ පැ​ළමුං එක්ක පිළිගන්වන්න.

 

3. කෝලිෆ්ලවර් ස්වීට් චිලී සෝස් (Cauliflower Sweet Chili Sauce)

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ගෝවාමල් කෝප්ප 1
  2. ලුණු හා ගම්මිරිස්කුඩු 
  3. කෝන්ෆ්ලා මේස හැඳි 2
  4. පාන්පිටි තේ හැඳි 4
  5. වතුර
  6. බිස්කට් කුඩු කෝප්ප 1/2
  7. බැදීමට තෙල්
  8. තල ඇට ටිකක් 

 

සෝස් එකට

 

  1. තෙල් මේස හැඳි 2
  2. තලාගත් ඉඟුරු හා සුදුළූණු තේ හැඳි 2
  3. චොප්කරගත් අමුමිරිස් කරල් 2
  4. චොප්කරගත් ළූණු 2
  5. සෝයාසෝස් තේ හැඳි 1/2
  6. ස්වීට් චිලී සෝස් කෝප්ප 1

 

  • කෝලිෆ්ලවර් සෝදලා තරමක කෑලි කපලා වතුර දාලා රස අනුව ලුණු දාලා තම්බගන්න. හොඳට තැම්බුනාම වතුර පෙරලා ගම්මිරිස්කුඩු, කෝන්ෆ්ලා හා පාන්පිටි දාලා කලවම් කරගන්න. මේකට වතුර යන්තම් දාලා හොඳට කලවම් කරගන්න. කෝලිෆ්ලවර් ටික බිස්කට්කුඩු වල තවරලා ගැඹුරු තෙලේ බැදගන්න. 
  • වෙනම පෑන් එකකට තෙල් ටිකක් දාලා තලාගත් ඉඟුරු හා සුදුළූණු ටික දාගන්න. මේකට කපාගත් අමුමිරිස් ටිකත් දාලා හොඳට තෙම්පරාදු කරගන්න. 
  • ඊළඟට ළූණු ටික දාලා තෙම්පරාදු කරගන්න. මේකට සෝයාසෝස් හා ස්වීට් චිලී සෝස් දාලා විනාඩි තුනක් විතර පිසගන්න. ඒකට කෝලිෆ්ලවර් ටික දාලා කලවම් කරගන්න. උඩින් තල ඇට ඉහලා ලිප ඕෆ් කරගන්න. 

 

4. පඩ් තායි නූඩ්ල්ස් (Pad Thai Noodles)

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. රයිස් නූඩ්ල්ස් ග්‍රෑම් 250
  2. වතුර
  3. ලුණු හා ගම්මිරිස්කුඩු 
  4. ‍රෝස්ටඩ් පීනට් මේස හැඳි 2
  5. තම්බාගත් චිකන් කෑලි 7-8
  6. ජම්බො ප්‍රෝන්ස් 7-8
  7. චොප්කරගත් සුදුළූණු තේ හැඳි 2
  8. බිත්තර 2
  9. කෑලි කපා රෝස්ට් කරගත් ටෝෆු කෑලි 10ක්
  10. පැ​ළමුං කෝප්ප 1/4
  11. චොප්කරගත් රතු මිරිස් කරල් 2
  12. චොප්කරගත් ළූණුකොළ ටිකක් 

 

පඩ් තායි සෝස් එකට

 

  1. ෆිෂ් සෝස් මේස හැඳි 2
  2. තායි චිලී සෝස් මේස හැඳි 1
  3. සියඹලා යුෂ මේස හැඳි 1
  4. රතු සීනි මේස හැඳි 1

 

  • නූඩ්ල්ස් ටික භාජනයකට දාලා, උතුරන වතුර පිරෙන්න දාලා, රස අනුව ලුණු දාලා විනාඩි 12-15ක් තැම්බෙන්න තියලා වතුර බේරගන්න. පීනට් ටික කුඩු කරගෙන පැත්තකින් තියාගන්න. 
  • වෙනම බෝල් එකකට දාලා ඒකට ෆිෂ් සෝස්, තායි චිලී සෝස් හා සියඹලා යුෂ දාලා සීනි ටිකත් දාලා හොඳට කලවම් කරගන්න.
  • පෑන් එකට තෙල් ටිකක් දාලා චිකන් කෑලි ටික පෑන් ෆ්‍රයි කරගන්න. චිකන් හොඳට බැදුනම ඉස්සො ටිකත් දාලා පෑන් ෆ්‍රයි කරගන්න. මේකටම චොප්කරගත් සුදුළූණු ටික දාලා රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු ඉසගන්න.
  • චිකන් හා ඉස්සො ටික තැම්බුනාම ඒකටම නූඩ්ල්ස් ටික දාලා කලවම් කරගන්න. ඊළඟට සාදාගත් සෝස් එකත් දාලා කලවම් කරගන්න. 
  • දැන් නූඩ්ල්ස් ටික පොඩ්ඩක් පෑන් එකේ අයිනට කරලා තෙල් ටිකක් දාලා බිත්තර 2 කඩලා දාගන්න. බිත්තර ටික යන්තම් ස්ක්‍රැම්බල් කරගෙන හොඳට නූඩ්ල්ස් එක්ක කලවම් කරගන්න. ඊළඟට ටෝෆු හා පීනට් පව්ඩර් දාගන්න. 
  • ඒ ටික කලවම් කරලා පැ​ළමුං හා චොප්කරගත් ළූණුකොළ උඩින් දාලා කපාගත් රතු මිරිස් ටික දාගන්න. මේ ටිකත් කලවම් කරලා ලිපෙන් බාගන්න. 

 

 

5. තායි අයිස්ඩ් ටී (Thai Iced Tea)

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. වතුර කෝප්ප 5
  2. තේකොළ කෝප්ප 1/2
  3. සීනි
  4. අයිස්කැට කෝප්ප 1
  5. ටින්කිරි කෝප්ප 1/2

 

 

  • වතුර ටික ලිපේ තියන්න. උතුරනකොට තේකොළ ටික දාගන්න. මේකටම සීනි ටිකත් දාලා කලවම් කරගන්න. සීනි දියවුණාම ලිපෙන් බාලා පෙරාගන්න. 
  • ජාර් දෙකකට අයිස්කැට දාලා තේ ටික වක්කරගන්න. උඩින් ටින්කිරි කෝප්ප 1/4 බැඟින් දාලා කලවම් කරගන්න. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *