ඉංග්‍රීසි ඉගෙනගන්න කියාපු ඇප් 7ක්

දැන් කාලේ ගොඩක් අය ආසයි ඉංග්‍රීසි ඉගෙන ගන්න. ඔයාට හොඳට ඉංග්‍රීසි බැරිවුණත්, මේ විදිහේ ඇප් එකක උදවුවෙන් ඉංග්‍රීසි දැනුම වැඩි දියුණු කරගන්න ඔයාට පුළුවන් වෙයි. එහෙනම් අද අපි දැනගනිමු ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන් ඇප් හතක් ගැන… 

 

1. Buddy Talk

මේ ඇප් එක ටිකක් විශේෂ ඇප් එකක්. ඔයාට මේ ඇප් එක භාවිතයෙන් පුළුවන් ඉංග්‍රීසි ඉගෙන ගන්න කෙනෙක් එක්ක හරි, හොඳ ඉංග්‍රීසි ගැන දැනුමක් තියෙන කෙනෙක් එක්ක හරි කතාකරන්න. අපි හැමෝම දන්නවනේ ඉංග්‍රීසි කතාකරන එකෙන් ඉංග්‍රීසි දැනුම සෑහෙන්න වර්ධනය වෙනවා කියලා. අන්න ඒ නිසා මේ ඇප් එක ඔයාට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. 

 

2. Cake

Cake ඇප් එක ගොඩක් සමානයි අපි කලින් කතා කරපු buddy talk ඇප් එකට. ඉතින් මේකෙත් අපිට පුළුවන් නොදන්න මිතුරියක්, මිතුරෙක් එක්ක කතාකරන්න. ආ තවදෙයක්… මේකේ පුළුවන් විවිධ දෙබස් අඩංගු වීඩියෝ පට නරඹන්නත්. ඉතින් ඒ හරහා ඔයාට පුළුවන් දැනුම තව වර්ධනය කරගන්න. ඉතින් මේ හරහා කතාකරන්නෙ ඔයා නොදන්න මිතුරන් එක්ක නිසා ලැජ්ජා වෙන්න දේකුත් නැහැ ඉංග්‍රීසි වැරදුනාට. 

 

3. English Conversation Practice

මේක ඉංග්‍රීසි කෝස් එකක්, ක්ලාස් එකක් වගේ දෙයක්. මේකේ දෙසීයකට වැඩිය පාඩම් ඉගෙනගන්න තියෙනවා. මේ හරහා තනිකරම කරන්නේ අපේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කරන එක සහ අපි ඉංග්‍රීසි කතා කරන විදිය වර්ධනය කරන එක. මීට අමතරව මේකේ තියෙනවා විශේෂ ප්‍රශ්න මාලාවකුත්. තව අපි කලින් කතා කරපු ඇප් දෙකේ වගේ කාත් එක්ක හරි කතාකරන්නත් පුළුවන් ඉංග්‍රීසි දැනුම වර්ධනය කර ගන්නට.

 

4. Cambly – English Teacher 

මේ ඇප් එකෙන් ඉංග්‍රීසි ඉගෙනගන්න නම් අපි පොඩි ගාණක් ගෙවන්න ඕනේ. මොකද මේකෙන් කරන්නේ ලෝකේ වටේ ඉන්න විවිධ ගුරුවරුන්, විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් සහ ඉංග්‍රීසි ගැන හොඳ දැනුමක් තියෙන අයත් එක්ක අපිට කතා කරන්න පහසුකම් සලසන එක. ඒකට පොඩි ගාණකුත් අපෙන් අය කරගන්නවා. නමු‍ත් මේ ඇප් එක පාවිච්චි කරපු අය කියන්නේ මේක සෑහෙන්න ඵලදායී එකක් කියලයි. ඉතින් ඔයාට ගැලපෙනවා නම් මේ ඇප් එකත් ෆෝන් එක දාගන්න පුළුවන්.

 

5. EngVarta

මේ ඇප් එක ඉන්දියාවෙන් නිෂ්පාදනය කරපු එකක්. ඉන්දියාවේ ගුරුවරු තමයි මේ හරහා අපේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කර ගැනීමට උදව් දෙන්නේ. ඉංග්‍රීසි ක්ලාස් එකක ඉන්නවා වගේ හැඟීමක් අපිට ලබාදෙන මේ ඇප් එකේ වීඩියෝ හරි විශේෂයි. මේ ගුරුවරු මේ වීඩියෝ හරහා අපිට විවිධ අභියෝග ලබා දෙනවා, අපේ වැරදි හදමින් අපිව දිරිමත් කරනවා. ඉතින් ඇත්තටම ක්ලාස් එකක් ඇතුළේ ඉන්නවා වගේ හැඟීමක් අපිට එන්නේ.

 

6. Grammarly

මේ ඇප් එක ගැන නම් ගොඩක් වෙලාවට ඔයා දන්නවා ඇති. හිතන්නකෝ අපි මොනාහරි දෙයක් ඉංග්‍රීසියෙන් ටයිප් කරනවා කියලා. එහි තියෙන ස්පෙලින්ග් මිස්ටේක්, ග්‍රැමර් අඩුපාඩු මේ ඇප් එකෙන් ගාණට හරි ගස්සලා දෙනවා. ඒ හරහා අපිට නිතර අපි අතින් සිද්ධ වෙන අඩුපාඩු හඳුනා ගෙන ඉංග්‍රීසි දැනුම ඔප් නංවා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේකත් ඔයාට සෑහෙන්නම වටින ඇප් එකක් වේවි අනිත් ඇප් වගේම.

 

7. Hello Talk

මේ ඇප් එකෙන් ඉංග්‍රීසි විතරක් නෙමෙයි, වෙන ඕනම භාෂාවක් අපිට ඉගෙනගන්න පුළුවන් ජපන්, ප්‍රංශ, කොරියන්, මැන්ඩරීන්, හින්දි වගේ එකී මෙකී නොකී භාෂා ගණනාවක් මේ හරහා අපිට ඉගෙනගන්න අවකාශය ලබා දීලා තියෙනවා. මේකේ විවිධ ගේම් වර්ගත් තියෙනවා. ඒත් මේකට අපි පොඩි මුදලක් ගෙවන්න ඕනේ. නැත්නම් මේකේ විවිධ විශේෂාංග අපිට ලැබෙන්නේ සීමා සහිතව.

 

ඉතින් මීට අමතරව තව ඉංග්‍රීසි දැනුම වර්ධනය කරගන්න පුළුවන් ඇප් ගැන ඔයත් දන්නවා නම් අපිට කමෙන්ට් එකකින් කියන්න. ඒ වගේම මේ ඇප් ඔයත් පාවිච්චි කරනවා නම්, මේ ඇප් වල හොඳ නරක ඔයාට දැනෙන ආකාරයත් අපිට අනිවාර්යයෙන්ම කියන්න.

 

 

ශශින් ප්‍රබෝද්

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *