වැඩිය කතා බහට ලක් නොවෙච්චි සිංහල නවකතා හතක් ගැන අපි මීට කලින් දවසක කතා කළා.
මෑත කාලයේ ආ, වැඩි දෙනෙක්ගේ අවධානයට ලක් නොවූ Underrated සිංහල නවකතා හතක්
ඉතින් අපි හිතුවා අද එම ලිපියේ දෙවැනි දිගහැරුම ගේන්න. එහෙනම් අද අපි කතාකරමු තවත් අන්ඩර්රේටඩ් සිංහල නවකතා හතක් ගැන.
1. ගුරු
ගුරු කියන්නෙත් වැඩිය කතා බහට ලක් නොවුණු, මෑත කාලයේ පළවුණු විශිෂ්ට කෘතියක්. මේ පොතට පාදක වෙන්නේ තමන්ගේ සිහින අතහැර ගුරු වෘත්තිය තෝරගත් ගුරුවරියක් ගැන. ඉතින් ගුරුවරු කියන්නෙත් අපි වගේම හීන දකින මිනිස්සු කියලා තමයි මේ පොත හරහා කියන්නේ. සරලවම රසවිඳින්න පුළුවන් ලස්සන පොතක්. මේ පොත රචනා කරන්නේ තාරකා වාසලමුදලිආරච්චි.
2. කෙලෙස් පර්වත
මීට වසර කිහිපයකට කලින් අපි අතරින් වියෝ වුණු අග්‍රගණ්‍ය කතුවරයෙක් තමයි සමරවීර විජයසිංහ කියන්නෙ. එතුමා රචනා කළ පොත් රැසක් අතිශය ජනප්‍රිය වුණා. ‘ස්වයංජාත’ ඒකට හොඳම උදාහරණයක්. අපි මේ කියන කෙලෙස් පර්වත පොතට ඒ වසරේ රාජ්‍ය සම්මානයත් හිමිවුණා. මේ පොතට පාදක වෙන්නේ හුදකලාව ජීවත් වෙන ගුප්ත චරිතයක් වුණු උපතිස්ස කියන චරිතයයි.
3. ඉස්කිරීම
ඉස්කිරීම කියන්නෙත් වැඩිය කතා බහට ලක් නොවුණු විශිෂ්ට නවකතාවක්. දක්ෂ කවියෙක් වුණු දමිත් උදයංග දහනායක තමයි මේ පොත රචනා කරන්නේ. ඔහු රචනා කළ ‘තෙමි තෙමිම මම’ කාව්‍ය සංග්‍රහයටත් මේ පොත නෑකම් කියනවා. අපූරුම පෙම් කතාවක් ගැන කියවෙන මේ කතා පුවත අනිවාර්යයෙන් ඔයා හදවතින්ම වැළඳගනියි කියල අපි හිතනවා.
4. මේ රහස් කවුළුවෙන් එබෙන්න
පසුගිය වසරක අතිශය ජනාදරයට පත් වුණු ‘නිම්නාගේ ඉතිහාසය’ කෘතියේ රචකයා වන කෞශල්‍ය කුමාරසිංහ තමයි මේ පොත රචනා කරන්නේ. මෙය ඔහුගේ නිම්නාගේ ඉතිහාසය තරම් වැඩිය කතාබහට ලක්නොවුණු කෘතියක්. ඒත් විවිධ භාෂාවලටත් මේ පොත පරිවර්තනය වුණා. මේ පොත ලියවෙන්නේ කුරුල්ලෙක්ගේ දෘෂ්ටියෙන්. ඉතින් නවමු කියවීමක් වෙයි මෙයත් අනිවාර්යයෙන්ම.
5. ජයන්
ජයන් කියන්නේ අපේ රටේ අතිශය ජනප්‍රිය සම්මානනීය ලේඛිකාවක් වන සුනේත්‍රා රාජකරුණානායක මහත්මියගේ කෘතියක්. ඒත් අවාසනාවකට මේ කෘතිය ඇගේ අනෙක් කෘති තරම් ජනප්‍රිය වුණේ නැහැ. මේ කෘතියට පදක වෙන්නේ මේ පොතේ ප්‍රධාන චරිතයක් වන ජයන්ගේ චරිතයයි. ඒ චරිතය හරහා කතුවරිය පරම්පරා කිහිපයක් ගැන කතා කරනවා . ඇගේ අනෙක් පොත්වල වගේ කතා අස්සේ තවත් කතා දිගහැරෙන ශෛලිය මේ පොතෙත් දකින්න තියෙනවා.
6. දෑවාන
සේපාලි මායාදුන්නේ කියන්නේ අපේ රටේ ඉන්න අතිශය දක්ෂ කතුවරියක්. ඇය ලියූ ‘මහාසාමි’ කෘතිය සමහර විචාරකයන් පවසන විදියට මෑත කාලයේ ලංකාවේ බිහිවුණු විශිෂ්ටම නවකතාවක්. ඉතින් ඇගේ දෑවාන කෘතියත් වැඩිය ඇගයුම් නොබලපු, ඒත් කියවිය යුතුම පොතක්. මේ කෘතියට මූලිකවම පාදක වෙන්නේ අභයගිරිය සහ මහා විහාරයේ විරසකය සම්බන්ධ කතාවයි…
7. වෑ කඩවර
සුජීව කුමාර කෝවිලතැන්න රචනා කරපු මේ “වෑ කඩවර” කෘතිය ඵෙතිහාසික ප්‍රබන්ධ තේමාවෙන් බිහිවුණු කෘතියක්. මේ කතාව දිග හැරෙන්නේ 1818 විමුක්ති සටනින් පසු කැළෑ වදින බෝගමුවේ නිලමේ සහ පවුල් කීපයක් වටායි. සමහර විට මේ කතාව කියවාගෙන යාමේදී මාණික්කාවත, සෙංකොට්ටන් පොත්ද මතකයට නැඟෙන්නට පුළුවන්. ඉතින් ඒ කතාවල වගේ රසයක් විඳින්න කැමති නම් අනිවාර්යයෙන් මේ පොත කියවලා බලන්න.
ඉතින් මීට අමතරව ඔයා කියවලා තියෙන අන්ඩර්රේටඩ් සිංහල නවකතාත් ගොඩක් ඇති. ඒ පොත් ගැනත් අපිට අමතක නොකර කමෙන්ට් එකකින් කියන්න.
ශශින් ප්‍රබෝද්
Leave a Reply