අපි කලිනුත් කතා කරලා තියෙනවනේ කොහොමද ආයෙමත් අත්අකුරු හදාගන්නේ, අත්අකුරු වලින් ලියන්න පටන් ගන්නේ කියන එක. ඇත්තටම අද වෙනකොට අපි ලියන්නේම කම්පියුටරේ, ටැබ් එකේ නැතිනම් ස්මාට්ෆෝන් එකෙන් නේ. ඉතින් අත්අකුරින් ලියන එක අමතකම වෙලා යන එක පුදුමයක් නෙවෙයිනේ. හැබැයි අදටත් පුංචි ළමයින්ට අත්අකුරින් ලියන්න පුරුදු පුහුණු කරනවනේ. අන්න ඒකට හේතුවක් තියෙනවා. ඒ තමයි අත්අකුරින් ලියන එකෙන් විවිධ වාසි තිබීම. අන්න ඒ වාසි නිසා තමයි අපි කියන්නේ අද වෙනකොට සම්පූර්ණයෙන්ම අපි ඩිජිටල් උපාංග වල ටයිප් කරන්න පුරුදු වෙලා හිටියත්, ටික ටික හරි අත්අකුරින් ලියන්න පුරුදු වෙන්න කියලා.
ඒකට හොඳ මෝටිවේෂන් එකක් වෙයි, අත්අකුරින් ලියන එකේ තියෙන මේ කියන වාසි ගැන දැනගන්න එක!
1. භාෂා පුහුණුව
අපි අද ලියන කියන ඩිජිටල් ක්‍රම වලින් ඇත්තටම අපිට ලියන්න වඩාත් පහසුවක් ලැබිලා තියෙනවා. උදාහරණයක් විදියට ගත්තොත්, කැපිටල් අකුරක් ලියන්න ඕන තැනදී සිම්පල් අකුරක් ලියවුණොත් ඒක ඔටෝකරෙන්ට් වෙනවා. වැරදි අක්ෂර වින්‍යාස ඔටෝ කරෙක්ට් වෙනවා, වැරදි එව්වා පෙන්නනවා. ව්‍යාකරණ වුණත් වැරදුනොත් පෙන්නනවා. අපිට තියෙන්නේ ටයිප් කරගෙන ගිහිල්ලා, ඊට පස්සේ ක්ලික්ස් කීපෙකින් වැරදි ටික හදන එක විතරයි. හරිම ලේසියි. හැබැයි ඒ ලේසියත් එක්ක අපේ භාෂා දැනුමත් මොට වෙන්න ගන්නවා.
හැබැයි අත්අකුරින් ලියන්න පටන් ගත්තහම අපේ භාෂා දැනුමත් නොදැනුවත්වම වර්ධනය වෙනවා. අක්ෂර වින්‍යාස වැරදි, ව්‍යාකරණ වැරදි ගැන අපි සවිඥාණික වෙනවා. කොටින්ම කියනවා නම් අපි ලියන කියන දේවල් ලියන කියන විදිය සිහියෙන් ලියන්න පටන් ගැනෙනවා.
2. මතක ශක්තියට
ඔය එක්ස්පර්ට්ලා කියන දෙයක් තමයි, අපි ස්ක්‍රීන් එකක දේවල් ටච් කරමින් හරි, කීබෝඩ් එකකින් ටයිප් කරමින් හරි වැඩ කරනවට වඩා, අතින් දේවල් ලියනකොට අපේ මතක ශක්තිය වර්ධනය වෙනවා කියන එක. ඒකට එක හේතුවක් වෙන්නේ, උඩ කියපු විදියට අපි සවිඥාණිකව දේවල් ලියන එක. ඒකෙන් ලියන දේ වඩාත් හොඳින් මතකයේ රැඳෙනවා. උදාහරණයක් විදියට අපි ගමු වචන. අපි වර්ඩ් ඩොකියුමන්ට් එකක ටයිප් කරනකොට මොකක් හරි වචනයක් ඕන වුණහම කෙලින්ම තිසෝරස් එකට ගිහින් හරි ගූග්ල් සර්ච් කරලා හරි අරගෙන අර ඩොකියුමන්ට් එකට කොපි පේස්ට් කරනවා. එතකොට අපිට ඒ වචනේ මතකේ රැඳෙනවා අඩුයි. හැබැයි අපි අතින්, අත්අකුරින් ලියනකොට ඒ වචනේ අකුරෙන් අකුර ලිවීමෙන් ඒ වචනේ අපේ මතකයේ රැඳෙනවා.
3. ලිවීමේ නිර්මාණශීලීත්වය සහ නව අදහස් වර්ධනයට
දන්නවද මේ ඩිජිටල් යුගයේදී වුණත් ගොඩක් ලේඛකයෝ තාමත් තමන් කතාවක් හරි වෙනත් නිර්මාණශීලී රචනයක් හරි කරනකොට අතින් ලියන්න කැමතියි කියලා? අඩුමගානේ පළමුවෙනි කටු සටහන හරි ලියන්නේ අතින්. ඒකට ලොකු හේතුවක් තියෙනවා. අතින් ලියන එක යම් කිසි කාර්යාවලියක්. ඒක ඩිජිටල් උපාංගයක ලියන තරම් පහසු නෑ. ලියන්න ඕන. සංස්කරණය කරන්න ඕන. කෙටි සටහන් යොදන්න ඕන. ආයෙමත් ලියන්න ඕන. හැබැයි මේ ප්‍රොසෙස් එක නිසා නිර්මාණශීලීත්වය වඩාත් හොඳින් යොදවන්න පුළුවන් වෙනවා. ඩිජිටල් ක්‍රමයට ලියන ගමන් එඩිට් කිරීම වෙනුවට, වෙනම සංස්කරණ කොටසක් සිද්ධ වෙන නිසා, ඒකෙන් ඒ ලිවීම නිර්මාණශීලීත්වය අතින් වඩාත් ඔප් නැංවෙනවා.
අනික් කාරණාව, සමහරු කියන දෙයක් තමයි, ඩිජිටල් ස්ක්‍රීන් එකක ටයිප් කරනවට වඩා, අතින් ලියනකොට වඩාත් නව අදහස් ගලා එනවා කියන එක. ගොඩක් වෙලාවට ඒ කතාවේ ඇත්තක් තියෙන්න පුළුවන්!
4. හොඳින් හිතන ගමන් ලියන්න ඉඩක්
ඇත්තටම අපි ටයිප් කරන වේගෙන් අපිට අතින් ලියන්න බැහැනේ. ඒක තමයි ඇත්ත. හැබැයි අපි ටයිප් කරන වේගෙන්ම හිතන්නත් පුළුවන්ද? ඇත්තටම ඔව්. ටයිප් කරනවට වඩා වේගෙන් අපිට හිතන්න පුළුවන්. හැබැයි ගැටළුව මේකයි. අපි යම් කිසි දෙයක් -විශේෂයෙන්ම නිර්මාණශීලී දෙයක්- ලියනකොට වේගෙන් හිතන එක නෙවෙයි අවශ්‍ය වෙන්නේ. ඒකාග්‍රව හිතන එක. ඇත්තටම අපි ලියනකොට හිතන ප්‍රොසෙස් එකේ ඉඩ තියෙන්න ඕන. හිතුවිලි වලටත් හුස්ම ගන්න ඉඩක් ඕන. ආන්න ඒක ලස්සනට ලැබෙනවා අතින් ලියනකොට. එතකොට වඩාත් නිර්මාණශීලීව හිතන්න, නව අදහස් නිර්මාණය කරන්න ඉඩක් ලැබෙන්න පුළුවන්. ඒ වගේම, තමන්ගේ ලිවීම වඩාත් හොඳින් ගලාගෙන යන විදියට පෙළගැහෙනවා අතින් ලියනකොට.
5. මොළයට හොඳ ව්‍යායාමයක්
ඔය මොළය සම්බන්ධයෙන් විශේෂඥ දැනුමක් තියෙන අය කියන දෙයක් තමයි, අපි අතින් ලියනකොට මොළය වඩාත් හොඳින් ක්‍රියාකාරී වෙනවා කියලා. අපිට ඒක විශ්වාස කරන්නත් පුළුවන් නේද? මොකද, අපි ඩිජිටල් උපාංගයක ලියන කොට අපිට ලියන එක පහසු කරගන්න ඕනෑ තරම් පහසුව සැපයෙනවා. අපි වෙනුවෙන් ලියලා දෙන එක විතරයි නොකෙරෙන්නේ. හැබැයි අතින් ලියනකොට එහෙම බෑ. එතනදී අපි අවධානයෙන් ලියන්න ඕන. චිත්ත ඒකාග්‍රතාවයෙන් ලියන්න ඕන. මොළය වෙහෙසන්න ඕන. අන්න එතකොට අපේ මොළය වඩාත් හොඳින් ක්‍රියාකාරී වෙනවා කියන එක හිතාගන්න පුළුවන්. ඔය ගැන පර්යේෂණ කරපු අය කියන්නේ, අතින් ලියනකොට අපේ මතකය, භාෂා ඥාණය වගේම කියැවීමේ හැකියාවත් ඔය එක්කම වර්ධනය වෙනවා කියලා තමයි. මේ හැමදේම එකතු කරලා ගත්තහම, උගෙනීමේ හැකියාවත් වර්ධනය වෙනවා කියන්න පුළුවන්.
6. ලියවිලි වලට වඩාත් පෞද්ගලික හැඟීමක්
එක් එක් පුද්ගලයෙක්ගේ අත්අකුරු ඒ ඒ පුද්ගලයාට සුවිශේෂයි. එතකොට තමන්ගේ ඒ සුවිශේෂී අත්අකුරු අපි කලිනුත් කියලා තියෙන විදියට ප්‍රැක්ටිස් කරලා, ලස්සන කරලා ගන්න එකෙන් ඒ පුද්ගලයාට අනන්‍යතාවයක් ලැබෙනවා. ඒක තමන්ගේ අත්සනේ වුණත් තියෙන බව අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. එතකොට අපි ඕනෑම මොහොතක අතින් දෙයක් ලියන්න වෙන තැනකදී -උදාහරණයක් විදියට සමරු සටහනක්, නැතිනම් සුභපැතුමක් වගේ දෙයක්- ඒ ලියන දේට අපේ අනන්‍යතාවය එක්ක අපූරු සුවිශේෂී බවක් එකතු වෙනවා.
ඉස්සර මේ තරම් දියුණු තාක්ෂණය, ඉන්ස්ටන්ට් මැසේජස්, ඊමේල්, කෙටි පණිවුඩ තියා මොබයිල් ෆෝන්ස් වත් නොතිබුණු කාලේ මතකද අපි ලියුම් වලින් ගනුදෙනු කළා? හැබැයි දැන් ඒවා අභාවයට ගිහිල්ලා. හැබැයි නිකමට හිතලා බලන්න, දැන් කාලෙත් අපිට ආදරේ කරන කෙනෙක්ට එහෙම ලියමනක් යවන්න පුළුවන් නම්, ඒක කොයි තරම් අපූරු දෙයක් වෙයිද? හැබැයි ඒක නිකම්ම ටයිප් කරපු ප්‍රින්ට් අවුට් එකක් විදියට යවනවට වඩා, අතින්, තමන්ගේම අත්අකුරින් ලියලා යවන එකෙන් ඒකට වඩාත් පර්සනල් ටච් එකක් ලැබෙනවා. හා නැද්ද? ඒ විතරක් නෙවෙයි, උපන්දින සුබපැතුමක් වුණත් තමන්ගේම අත්අකුරින් ලියලා යවන එකේ තමයි තමන් කෙයාර් කරනවා කියන හැඟීම තියෙන්නේ.
7. භාවනාමය අත්දැකීමක්
අන්තිමට කියනවා නම්, අත්අකුරින් දේවල් ලියන්න පුරුදු වෙන එක එක්තරා විදියකට භාවනාවක්. අපි ඩිජිටල් ස්ක්‍රීන් එකක ලියනකොට අපිට සෑහෙන්න අවධානය වෙනතකට යොමු වෙන දේවල් සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි අපේ ස්මාට්ෆෝන්, කම්පියුටර්ස් පැත්තකින් තියලා පොතයි පෑනයි අරගෙන පැත්තකට වෙලා ලියනකොට, අපේ අවධානය එතනට පූර්ණ වශයෙන් යොමු වෙනවා. එතකොට අපි ඒ ලියන දේට සහ ලිවීමට අපෙ ශක්තිය සහ අවධානය යොමු කරනවා මිසක්, වෙනත් දේවල් වලින් ඩිස්ට්‍රෑක්ට් වෙන්නෙ නෑ. ඒක ඉතින් භාවනාවක් නෙවෙයි ද?
දවසකට පැය භාගයක් විතර අරගෙන එහෙම පොතක නියම පෑනකින් තමන්ට ඕනම දෙයක් ලියන්න පුළුවන් නම්, ඒක ගොඩක් දුරට පැය භාගයක් භාවනා කළා වගේ තමයි!
එහෙමනම්, අදම හොඳ තීන්ත පෑනකුයි, සටහන් පොතකුයි අරගෙන ලියන්න පටන් ගමුද?
Leave a Reply