අපි කලිනුත් කතා කළා මතක ඇති ටික් ටොක් එකේ ඉන්න අමුතුම තරු ජාති ගැන. ටික් ටොක් කියන්නේ ඉතින් එක කාලෙක විදග්ධ සෙට් එක පයට පෑගෙන දූවිල්ලක් තරං වත් ගණන් ගත්තෙ නැති, හැබැයි අද වෙනකොට හෙනම සීරියස් සෝෂල් මීඩියා යූසර්ස්ලත් බැහැලා ඉන්න ස්පොට් එකක් කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ඉතින් ඔහොම ඔය ටික් ටොක් ඩයිනමික්ස් වෙනස් වෙනකොට, ටික් ටොක් එකේ ඉන්න හාදයෝ හාදියෝ එහෙමත් ටික ටික වෙන් වෙන් වශයෙන් අඳුනගන්න හැකියාව ලැබුණා. අන්න ඒ අය ගැන තමයි අපි කලින් කිව්වේ, සෙක්සි නංගිලගෙන් පටන් ගත්තහම, දැනුමට යමක් එකතු කරන කට්ටිය, පොර සෝකෙන් පෙළෙන උන්දැලා, මෝටිවේෂන් සිරිපාලලා, පොෂ් සීන් ඩයල්ස්, නටන්න බැරි අහිංසක ඩයල්ස්, ඇඟ පෙන්නන නංකිලා, මාකටින් ඩයල්ස්, අඳෝනා ඩයල්ස් දක්වා එකී මෙකී නොකී ජාති ඉන්නවා කියලා. ඉතින් ඔය සෙට් ඇරුණහම ටික් ටොක් එකේ වාසය කරන තව සත්ව කොට්ඨාස කීපයක් ගැන කියන්න අපි තීරණය කළා අදත්!
1. මං පොර ඩයල්
අපිට ඉතින් මේ සමාජේ කොහේ ගියත් මං පොර ජාතකෙන් ඉන්න ඩයල්ස් මුණගැහෙනවනේ. ඉතින් ටික්ටොක් එක කියලා අමුතු වෙනසක් නෑ. එතනත් ඉන්නවා මං පොර ඩයල්ස්. මෙතනින් සමහරු නං ඇද නැතුවම ටික් ටොක් එකේ තමන්ගේ පම්පෝරිය ගහනවා. ආයෙ කතාව නං දහයකට ගහන්න, හැබැයි පිම්බොත් හුළඟට යන ලුක් එකක් තියෙන්නේ. තව සමහරු කෙළින්ම පම්පෝරිය ගහනවට වඩා ටිකක් ඇඩ්වාන්ස්. උන් කරන්නේ පම්පෝරිය පෙන්නන එක. ඒ කියන්නේ ඔන්න එක්කෝ අතේ කරේ පුරෝගෙන ඉන්න රත්තරන් ටික හොල්ල හොල්ලා ඩාන්ස් එකක් දානවා. එහෙම නැතිනං තමන්ට සෑහෙන්න ලොකු කාර් එකක් තියෙනවා කියලා පේන විදියට ටික් ටොක් එකක් කරල දානවා. ඔය එක විදියක් විතරයි ඉතින්. තව සමහරු මං පොර වෙන්න ටික් ටොක් එකේ ඉන්න අනික් එවුන්ගේ වීඩියෝ එක්ක ඩුවට් කරලා ගේම ඉල්ලනවත් එක්ක!
2. ෆයිට් සීන් තග් ඩයල්
දැන් ඔය වලි වලට බහින චණ්ඩි ඉන්නව නෙහ්! උන් ටික් ටොක් එකෙත් ඉන්නවා. හැබැයි එහෙම ලයිසන් චණ්ඩි නෙවෙයි. කැමරාවට චණ්ඩි. හැබැයි ඒ සමහරුන්ගේ ස්ක්‍රිප්ට් එහෙමත් හෙන ආතල්. ඔන්න අපේ ටික් ටොක් චණ්ඩියා පාරක් අයිනේ ලගා ගහගෙන ඉන්නකොට කොල්ලෙක් ඇවිත් ඇඟේ හැප්පෙනවා. ඊට පස්සේ ඇඟේ හැප්පුණු කොල්ලම අපේ චණ්ඩියගෙ මූණට ඇඟිල්ල තියලා යන්න යනවා. එතකොට චණ්ඩියා පස්සෙන් ගිහින්, අර කොල්ලගෙ පිටට තට්ටු කරලා, ඌ ආපිට බැලුවහම උඩ පැනලා ගහනවා එකක් අරූ එහෙමම බිම වැටෙන්න. එහෙම කරලා සඟ දාගෙන චණ්ඩියා වෝක් එකෙන් යනකොට පාර දෙපැත්තේ ඉන්න එවුන් දණ ගහනවා! පිස්සු කොර අම්මපා!
3. පැරඩි ඩයල්
පැරඩි කිව්වහම ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. මේ පැරඩි ඩයල් වලත් නැගලම යන පැරඩි සූරයෝ තමයි ටික් ටොක් එකේ ඉන්න වෙන වෙන මැන්ටල් ඩයල්ස් කරන මැන්ටල් වීඩියෝ අල්ලගෙන හිනාවෙන උන්දැලා. උන් කරන්නේ ඒ වගේ ටිකක් මෝඩ පහේ වීඩියෝ එකක් සෙට් කරගෙන, ඒකට ඩුවට් එකක් කරනවා. ඩුවට් එකේ වෙන්නේ ඒ මෝඩ පහේ වීඩියෝ එකයි, ඒක කරපු එකයි බයිට් කරන වදන් ටිකක් ඉෂූ කරන එක තමයි. හැබැයි ඇත්තම කතාව, ටික් ටොක් එකේ තියෙන සමහර ලොන්ත වීඩියෝ වුණත්, මෙහෙම පැරඩි ඩයල් එකක් අරගෙන වෙනම සීන් එකකින් වදන් ටිකක් එක්ක ඉදිරිපත් කරන කොට හිනා යනවා. හැබැයි තව සමහර පැරඩි ඩයල් වල නම් එකෙන්ම තියෙන්නේ කුහකකම විතරයි. අන්න එවුන් නං ෂුවර් එකට ලඟදිම ටික් ටොක් එකේ පැරඩි හිංසනයට ලක් වුණු එකෙක් ගෙන් බඩ කට පුරා කනවා!
4. ආතල් ඩයල්
ආතල් ඩයල් නං ඉතින් කොහෙත් ඉන්නවනේ. ඒ වගේම, ටික් ටොක් එකෙත් ආතල් ඩයල් වල අඩුවක් නෑ. හැබැයි අපි මේ කියන්නේ බොරු කතන්දර, වදන් කියලා තමන්ම හිනා වෙලා අපිව හිනස්සන්න හදන වෙන්ඩ ආතල් ඩයල් ගැන නෙවෙයි. තව මනුස්සයෙක්ව හිනස්සන්න පුළුවන් හැකියාව උපතින්ම පිහිටලා තියෙන සිරාම කොමඩි ලෙවල් ටික් ටොකර්ස්ලා ගැන. සමහරුන්ට කරන්න තියෙන්නේ නිකම්ම තමන්ට වුණු සිද්ධියක් කියන එක විතරයි. ඒක අහන අපිට බඩ අල්ලං හිනා. තවත් සමහර ආතල් ඩයල්ස් ඔය පොඩි පොඩි කොමික් ඩ්‍රාමා කෑලි ගාණට ස්ක්‍රිප්ට් එකක් එහෙම හදාගෙන කරනවා. එව්වත් මරේ මරු. ඇත්තටම ටික් ටොක් වල ඉන්න ඕනත් දෙයක් උගන්නන ඩයල්ස්, මේ වගේ ආතල් ඩයල්ස් වගේ එව්වෝ තමා!
5. සූටි ලව් කපල්
ලව් බලන්න ඕන නං එන්න ටික් ටොක් එකේ සූටි කපල් ලව් කරන හැටි බලන්න. ආයෙ නුවර වැව රවුමේ, කුරුණෑගල වැව රවුමේ, දියත උයනේ වගේ ලොකේෂන් වල තමයි මේ ලව් සීන් ටික් ටොක් ෂූට් කෙරෙන්නේ. දැක්ක ගමන් තේරෙනවා ඕලෙවල් පංති යන පොඩි එකෙක් පොඩි එකියක් තමයි මේ ඉන්නෙ කියලා. හැබැයි ඉතින් දෙන ඇක්ෂන් වලට ගාමිණී මාලිනී එහෙමත් පදිරි. ඔය ලව් සීන් ඩ්‍රාමා වලට ලස්සන බැක්ග්‍රවුන්ඩ් මියුසික් එහෙමත් සෙට් කරල තියෙන්නේ. හැබැයි තව එකක්. ඔය සමහර ලව් ඩ්‍රාමා නං හෙනම කුජීතයි. කෙල්ල වෙන අඳුනන කොල්ලෙක්ට හායි කිව්වත් කෙල්ලට කණට ගහලා යන තාලේ ගොං අදහස් ඩ්‍රාමා එහෙමත් මේ වල තියෙනවා.
6. ආච්චිලා සහ සීයලා
මේ දවස් වල ටික් ටොක් එකේ තරු බවට පත් වෙලා ඉන්න සෙට් අතරේ ආච්චිලා සීයලත් ඉන්නවා කියහංකෝ. එව්වා තමයි ටික් ටොක් ආතල්. ආච්චියෙක් සීයෙක් ඇවිත් සිංදුවක් කියාගෙන, රංගනයක් කරගෙන හිටියට නං කමක් නෑ. ආයෙ වයසයි කියලා ඔව්වා කරන්න තහනමක් නෑනේ. හැබැයි ඉතින් සමහර හැට පැනපු සීයලා අවුරුදු දාහතරේ ඉස්කෝලෙ ළමයි වගේ රංගනයන් දාන එක, හැට පැනපු ආච්චිලා ඇවිත් සෘතිය කාලා සිංදු කියලා හතර අතේ බණින්න පටන් ගන්න එක එහෙම නං අජූවයි ඈ! ඔය සමහර ආච්චිලා ඉන්නවා ලංකාවේ ඉන්න නළු නිළියන්වත් ඇදගෙන ගේම ඉල්ලනවා. ඉතින් ටික් ටොක් එකේ ඉන්න කොල්ලො කුරුට්ටොත් උන්දැලව බයිට් එකට ගන්නවා.
7. නළු බට්ටෝ සහ බට්ටියෝ
මේක නං ටික් ටොක් නිසා සිද්ධ වෙච්ච හොඳක් කියලා කියන්නත් පුළුවන්. ඔය සිංදු කෑලි වලට, එහෙම නැතිනම් ෆිල්ම්ස් වල එහෙම තියෙන ඩයලොග්ස් වලට රංගනයෙන් දායකත්වය දක්වන සෙට් එක ගැන තමයි මේ කියන්නේ. ඉස්සර වැඩි හරියක් හිටියේ වේදිකා නාට්ටියක රඟපාන්නවත් යන්න ලැජ්ජා කොල්ලො කෙල්ලොනේ. එහෙව් එකේ ටික් ටොක් නිසා ඔහොම කොල්ලො කෙල්ලො බය නැතුව රඟපාන එකත් මදෑ. එහෙම රඟපාන සමහරුන්ට නං ඔය ලොකු ප්‍රඩක්ෂන් වලට එහෙම දායක වෙන්නත් චාන්ස් ආවා කියලා තමයි කියන්නේ. සමහරුන්ගේ රංගනයන් දැක්කහම නං බල්ලෙක් පූසෙක් වත් අහල පහල ඉන්නෙ නෑ. ඒක වෙනම කතාවක් ඉතිං!
8. වදන් ඔස්තාර්ලා
ඔන්න කොල්ලෙක් ඉන්නවා ටික් ටොක් එකේ කොණ්ඩෙත් අමුතු විදියට වවාගෙන ටින්ට් කරපු. පොර කණ්ණාඩියක් ඉස්සරහා ෆෝන් එක අල්ලගෙන ටික් ටොක් එකක් කරනවා. “දන්නවද මචං, ඉස්සර, ඔයා නැතුව මට ඉන්න බෑ රත්තරං කියලා අපිට කියපු කෙල්ලෝ, අද වෙන කොල්ලෙක්ගේ කරේ එල්ලිලා පියඹලා යන්නේ, පාරේ පයින් යන අපි දිහා ඇස් කොනෙන් බලන ගමං”! ආන්න එහෙම වදන දීලා ඉවරවෙනකොටම ඕන්න කොහෙන්ද ආපු මියුසික් එකක් හරි සිංදුවක් හරි ප්ලේ වෙනවා. කොලුවා හෙන ලෝක ප්‍රසිද්ධ වෙන උධෘත පාඨයක් කිව්වා වගේ ස්ලෝ මෝෂන් ආඩම්බරේට හිනාවෙනවා. ආයෙ ඉතින් මේ තමයි වදන් ඔස්තාර්ලා. සමහර වදන් ඔස්තාර්ලට ටික් ටොක් එකේ කුණුහරුපත් කියවෙනවා. හැබැයි ඉතින් මේ ගොඩක් වදන් ඔස්තාර්ලා දන්නෙත් නෑ තමන් විරහ ලෙවල් එකේ මියුසික් එකක් බැක්ග්‍රවුන්ඩ් එකට දාලා දෙන මේ වදන් වල තේරුමක් තියෙනවද කියලා වත්!
Leave a Reply