අභයගිරි විහාර සංකීර්ණයේ ඔබ නැරඹිය යුතුම ස්ථාන 7ක්

ලංකාවේ ඉතිහාසය අධ්‍යනය කිරීමේදී අභයගිරිය සැලකෙන්නේ ශාසනික වංශකතාවේ සන්ධිස්ථානයක් සටහන් කළ පූජා භූමියක් විදිහටයි. එතෙක් කල් ලංකාවේ ශාසනික මුදුන් මල්කඩ ලෙස සැලකුණු මහා විහාරයට ප්‍රතිපක්ෂව අභයගිරිය ගොඩනැඟෙනවා. ඒ සඳහා බලපාන්නේ වළගම්බා රජ දවස ඇතිවුණු විනය කරුණක් බවයි  මහා වංශය ඇතුළු මූලාශ්‍රවල සඳහන් වන්නේ. මුල් කාලයේ දී ථේරවාද බුද්ධාගමේම තවත් මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කළ අභයගිරිය පසුව ඉන්දියාවේ  ජනප්‍රිය වෙමින් පැවති  මහායාන බුද්ධාගමේ මෙරට ප්‍රධාන මධ්‍යස්ථානය බවට පත්වුණා. මේ නිසා වරින්වර මහා විහාරය සමග  අභයගිරියේ ගැටුම් ඇති වුණා. කෙසේ වෙතත් බොහෝ විචාරකයන් පවසන්නේ මහා විහාරයට සාපේක්ෂව අභයගිරිය සාහිත්‍ය කලා ආදියට විශාල සේවයක් කළ ආයතනයක්  බවයි. අපි අද මේ ලිපිය තුළින් අනුරාධපුරයට වන්දනාවේ යන ඔබ අභයගිරි විහාර සංකීර්ණයේ නැරඹිය යුතු ස්ථාන කීපයක් පිළිබඳව තොරතුරු ගෙන එනවා.

 

 

1. අභයගිරි දාගැබ

 වර්තමානයේදී මීටර හැත්තෑපහක පමණ උසින් වන දාගැබ සහ මළුව විහිදී යන භූමි ප්‍රමාණය අක්කර දාහතරක් වන බවට ගණනය කර තිබෙනවා. වංශකථා වලට අනුව වළගම්බා රජු විසින් මෙම දාගැබ නිර්මාණය කර තිබෙන අතර ගජබාහු රජු විසින් මෙම දාගැබ තවත් විශාල කොට සැකසීමට කටයුතු කොට තිබෙනවා. විවිධ අවස්ථාවල මෙම දාගැබ ප්‍රතිසංස්කරණයට ලක් වී ඇති අතර මහා පරාක්‍රමබාහු රජ සමයේදී අවසාන වතාවට එහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදු වී ඇති බවට පුරා විද්‍යාත්මක සාධක හමු වෙනවා. වර්තමානය වන විට  සංස්කෘතික ත්‍රිකෝණය මගින් මෙම දාගැබේ සංරක්ෂණ කටයුතු නිමකර තිබෙනවා.

 

 

2. ලංකාරාමය

 මහාවංශයේ සඳහන් වන ආකාරයට වළගම්බා රජු විසින් රුවන්වැලි සෑයට උතුරු දෙසින් ඉදිකළ  සිලා සොම්භ කණ්ඩක නම් දාගැබ වර්තමාන ලංකාරාමය වන බවට ඉතිහාසඥයන්ගේ මතය වනවා. එසේම වළගම්බා රජු විසින් සිය බිසව වන සෝමා දේවිය සිහිපත් කිරීම සඳහා ඉදිකළ මණිසෝමාරාමය ද මෙය වන බව තවත් මතයක් වනවා. අතීතයේදී  මෙම දාගැබ වටා චේතියඝරයක් පැවති බවටද සාධක හමු වනවා.

 

 

3. ප්‍රසාද ස්ථූපය 

 ස්වභාවික පර්වතයක් ආධාර කොටගෙන ඉදි කර තිබෙන මෙම ස්ථූපය සඳහා ඇතැම් ජනතාව දුටුගැමුණු සෑය, ඉඳිකටු සෑය ආදී විවිධ නම් භාවිතා කරනවා. කෙසේ නමුත් සිදු කරන ලද කැණීම් වලින් මෙම සෑය දුටුගැමුණු සෑය නොවන බවට තහවුරු වී තිබෙන අතර මෙය පොළොන්නරු යුගයේදී ඉදි කරන ලද සත්මහල් ප්‍රාසාදය වැනි නිර්මාණයක් වන බවට සාධක හමු වී තිබෙනවා.

 

 

4. මහායාන සතරැස් දාගැබ 

 මුල් කාලයේ දී පස් ගොඩැල්ලක් ලෙස පැවතුණු මෙම දාගැබ පිහිටා දැන් තිබෙන්නේ ඇත් පොකුණට බටහිර  දිසාවෙනි. කැණීම්වලදී මෙම දාගැබ ගොඩනඟා ඇත්තේ හතරැස් හැඩයේ වේදිකාවක් මත බවට තහවුරු වී තිබෙන අතර මෙවැනි දාගැබ් ලංකාවෙන් හමු නොවී ඇති තරම්. කෙසේ වෙතත් තායිලන්තය වැනි රටවලට මෙවැනි දාගැබ් ආගන්තුක වන්නේ නැහැ. මහායාන යන්‍ත්‍ර ලියන ලද ඊයම් ඵලකද මෙහි නිධන් කොට තිබූ හමු වී තිබෙනවා.

 

 

5. ශ්‍රී මහා බෝධිය සහ බෝධිඝරය

බොහෝ දෙනෙක් නොදන්නවා වුණාට  අතීතයේදී අභයගිරි විහාර සංකීර්ණයේ ද ශ්‍රී මහා බෝධියේ ශාඛාවක් පිහිටා තිබුණා. පාහියන් හිමියන් සඳහන් කරන ආකාරයට දඹදිව ජය සිරිමා බෝධියේම අංකුරයක් මෙරටට වැඩමවා රෝපණය කොට තිබෙනවා. වර්තමානයේදී මෙම බෝධීන්වහන්සේ දැකගැනීමට ලැබෙන්නේ නෑ. බෝධි මළුවේ නැගෙනහිර දොරටුව සංරක්ෂණය කිරීමෙන් පසුව වර්තමානයේ  බරෝස් මණ්ඩපය ලෙස හැඳින්වෙනවා.

 

 

6. රත්න ප්‍රාසාදය

 අභයගිරි විහාරයේ පොහොය ගෙය  වන්නේ රත්න ප්‍රාසාදයයි. මහල් පහකින් යුක්ත වූ රත්න ප්‍රාසාදය දිව්‍ය භවනක් ලෙස දිස් වූ බව සෙල්ලිපිවල සඳහන් වෙනවා. කණිට්ඨතිස්ස රජු දවස මෙය ඉදි වූ අතර විවිධ රජවරු අතින් මෙහි ප්‍රතිසංස්‍කරණ කටයුතු සිදු වී තිබෙනවා. එසේම දකුණු ඉන්දීය ආක්‍රමණවලදී  රත්න ප්‍රාසාදය කොල්ල කෑමට ද ලක්ව තිබෙනවා.

 

 

7. අභිෂේක මණ්ඩපය

 අභයගිරි දාගැබෙහි දකුණු දොරටුව අසල පිහිටා තිබෙන මෙම මණ්ඩපය බුදු ප්‍රතිමා සහ බෝසත් ප්‍රතිමා සුවඳ පැනින් නහවා  අභිෂේක කිරීමට භාවිතා වී තිබෙනවා. මෙසේ ප්‍රතිමා නැහැවීම මහායාන සම්ප්‍රදායක් වෙනවා.

 

 

එහෙම නම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *