නායකත්වය කියන්නේ ඉබේම ලැබෙන දෙයක් නෙමෙයි. කොපමණ ධනය, බලය සහ සුදුසුකම් තිබුණත් නායකත්වය ලෙහෙසියෙන් කෙනෙක්ට හිමිවන්නේ නැහැ. හිමිවුණත් ඔවුන් සාර්ථක නායකයෝ වෙන්නෙත් නැහැ. යහපත් නායකයා කියන්නේ හැමෝටම දැනෙන චරිතයක්. ඒ කියන්නේ නායකයා දවසක් දෙකක්, මාසයක් නැති වුණාට පස්සේ “අඩේ අපේ කෙනා නැහැ නේද?” කියලා මිනිසුන්ට මතක් වෙනවා. ඔහු අස් වෙනකොට ඒ හිදැස තියෙනවා. ඉතින් අපි නායක ගතිගුණ කිහිපයක් ගැන බලමු…
1. නායකයා ගැටුම් වලට මුහුණ දිය යුතුයි… ඒවා විසඳිය යුතුයි
තිබෙන ගැටුම්, ගැටළු හැමදාම එහෙමම තියාගෙන නායකත්වය ගෙනියන්න අමාරුයි. නායකයාගේ මූණට ප්‍රශ්න එනවා. ඒත් ඒවා සඳහා විසඳුම් ඔහු ළඟ තිබිය යුතු වෙනවා. තමුන්ට යම් ගැටළු විසඳන්න බැරි නම් ඒ සඳහා අවශ්‍ය පිරිස් යොදාගන්න හැකියාව නායකයාට තියෙන්නට ඕනි. නායකයා කියන්නේ සෑම ප්‍රශ්නයකටම විසඳුමක් කෙලින්ම දෙන්න පුළුවන් ඉන්ද්‍රජාලික මනුස්සයෙක් නෙමෙයි. ඒත් තිබෙන ප්‍රශ්න සමනය කරන්න, ඒවා විසඳන්න අවශ්‍ය කරන පසුබිම සැකසීම නායකයාට පුළුවන් වෙන්නට ඕනි.
2. හැදෙන මිනිස්සු
ජනප්‍රිය නායකයින් වුවත් හැමදාම දක්ෂයින් නෙමෙයි. නායකයින් සාර්ථක ලෙස බැබලෙන්න එක්තරා කාලසීමාවක් තියෙනවා. ඒත් හැම නායකයෙක්ගෙම වගේ හැදෙන ගතිගුණය තියෙනවා. ඒ කියන්නේ එකතැනක පල් වෙවී ඉන්නේ නැතිව ඉහළට යන ගතිගුණයක්, ව්‍යාප්ත වෙන ගතියක් නායකයා තුළ ඉබේම තියෙනවා. ඇතැම් තැන්වල දුර්වල නායකයින් තමුන්ගේ පහළ සිටින සේවකයින් ඉහළ යනවාට බාධා කරන අවස්ථා තියෙනවා. ඒත් නිවැරදි නායකයෙක් නම් නිතරම සිය කණ්ඩායමේ දක්ෂතා, හැකියාවන් වලට පිබිදෙන්නට දී ඒවායෙන් ප්‍රයෝජන ගන්නට සේවකයින් දිරිමත් කරනවා.
3. කස්ටමර් විතරක්ම නෙමෙයි, ස්ටාෆ් එකත්…
ආයතනයක් වුණාම, යම් සමිති සමාගමක් වුණාම ඒකට අදාළ කාර්යමණ්ඩලයක් ඉන්නවා. ඒ කාර්යමණ්ඩලය නැතිනම් සේවක පිරිස සේවාව සපයන්න වැදගත් දායකත්වයක් දක්වනවා. සේවාව ලබන පාරිභෝගිකයින්ගේ පැමිණිලි වලට අවනත වෙලා කෙලින්ම සේවකයින්ට දෝෂාරෝපණය කරන නායකයින් ඉන්නවා. ඒත් ඒක විය යුතු දෙයක් නෙමෙයි. මොකද සේවකයින් වග කියන්නේත් පාරිභෝගිකයින්ට වග කියන්නෙත් එකම නායකයෙක් තමයි. යම් විදිහක සේවකයින්ගේ, කාර්යමණ්ඩලයේ දුබලතාවයක් තියෙනවා නම් එහි සම්පූර්ණ වගකීමම ඒ අයට බැර වෙන්නෙ නැහැ. සේවකයින් යාවත්කාලීන කිරීම, ඔවුන්ගේ ආකල්ප වර්ධනය කිරීම නායකයාගේ කාර්යයක්.
4. වැඩකරන තැන ආසා හිතෙන තැනක් කිරීම
වැඩට යෑම අපි ගොඩ දෙනෙක්ට ටිකක් එපා හිතෙන වැඩක්. ඒත් නිවැරදි නායකත්වයක් තියෙන තැනක වැඩට යෑම කියන එක අප්‍රියජනක වැඩක් නෙමෙයි. ඒ වගේ තැන්වල ආයතනය සහ සේවකයා අතර හොඳ බැඳීමක් තියෙනවා. මේ වගේ දේවල් ඉබේම ළඟා කරගන්න අමාරුයි. ඒත් සේවකයින්ගේ හඬට, ඉල්ලීම් වලට, ඔවුන්ගේ නැවුම් අදහස් වලට තැනක් ලැබෙනවා නම් සේවකයා සක්‍රීය සාමාජිකයෙක් බවට ඉබේම පත් වෙනවා. ඔවුන් එතකොට ඒ පද්ධතියේම තවත් වැදගත් කොටසක් බව ඔවුන් විසින්ම අවබෝධ කරගන්නවා. එවැනි පසුබිමක් ඇතිකිරීමට නායකයාට යම් කැපවීම් කරන්නට වෙනවා. ඒත් එහෙම හදාගත්තොත් එහි ලොකු අයට සේවකයින්ව නිතරම පීඩනයට ලක් කර සේවය ලබාගන්නට උවමනා වෙන එකක් නැහැ.
5. ඇහුම්කන් දීම
ලංකාවේ ආයතනවල, පුද්ගලික ආයතනවල පවා එක් එක් සේවක මට්ටම් අනුව සේවක හඬට ලැබෙන තැන වෙනස් වෙනවා. ඒත් නියම නායකත්වයක් තියෙන ආයතනයක සේවකයින්ගේ හඬ, ඔවුන්ගේ අදහස් යෝජනා ආදිය ගැන තරාතිරම නොබලා සලකා බලන්නට හැකි වන්නට ඕනි. ඇත්තටම ආයතනයක පද්ධතියක වඩාත්ම පැමිණිලි වලට ඇහුම්කන් දෙන්නේ පහළ මට්ටමේ සේවකයින්. ඔවුන්ට නිසි පරිදි ඇහුම්කන් දෙන්න නායකත්වය ක්‍රියා කළොත් ඒ අදහස් සහ යෝජනා ඉදිරි වැඩ කටයුතු සාර්ථක කරගන්න යොදාගන්න නායකයාට පුළුවන් වෙනවා.
6. අවංක බව සහ විශ්වාසය
ලංකාවේ දේශපාලක උතුමන්ලාට එහෙම ලේසියෙන් වරදින්නේ නැහැ නේ. එයාලට එයාල කරන හැම සියළු දේම සාධාරණයි සහ හරි. ඒත් නායකයෙක් නම් එහෙම වෙන්නෙ නෑ. නායකයින්ට ගන්න වෙන තීරණ තියෙනවා. අකමැත්තෙන් කරන්න වෙන දේවල් තියෙනවා. ඒවා අවසානයේ හැම වෙලාවේම හොද ප්‍රතිඵල ලැබෙන්නේ නෑ. නායකයා කරන හැම දේම සුබවාදීව, හැමදේම සාර්ථකව නිමා වෙන්නෙත් නැහැ. ඒ වගේ තැන්වලදි සාම්ප්‍රදායික දේශපාලනඥ භූමිකාව දාලා “හැම දේම වෙන්නේ හොඳට ඒකෙනුත් වාසි වුණා” කියලා කියන එක හොඳ නායකත්ව ගතිගුණයක් නෙමෙයි. මෙතන වැරැද්ද සම්පූර්ණයෙන් පිළි අරගෙන නිකන් ඉඳීම නෙමෙයි කළ යුත්තේ. ඒ අවස්ථාවේ වුණු බැරිවීම්, අතපසුවීම්, අපේක්ෂා කළ දේ නොලැබීම් ගැන විවෘතව කතා කිරීම තුළින් සේවකයින්ට, කාර්යමණ්ඩලයට නායකයා ගැන සැබෑ ලැදියාවක් ඇති වෙනවා.
7. ආදරය සහ රැකවරණය
නායකයාගෙන් උපදෙස් සහ වැඩ වගේම රැකවරණයත් ඉබේම අපි හැමෝම වගේ බලාපොරොත්තු වෙනවා. රාජකාරි පැවරෙන විට ඒවා කරනවා වගේම කළාට පස්සේත් සේවකයින් සහ කාර්යමණ්ඩලය ගැන සොයාබැලීම හොඳ නායකත්ව ගතිගුණයක්. වැඩක් සාර්ථකව නිම කළාට පස්සේ එහි ගෞරවය සහ එහි වාසිය බෙදාහදා ගැනීමත් හොඳ නායකයකුගේ ගතිගුණයක්.
නායකත්වය කියන්නේ ආයතනික ඉලක්ක කරා යෑමම නෙමෙයි. එතනින් එහාට ගිය සාධාරණ වැඩ වටපිටාවක් සැකසීම නායකයාගේ වගකීමක් වෙනවා. නායකයින් තෝරාගැනීම සමාජයේ දැඩි ලෙස කතාබහට ලක්වෙන මාතෘකාවක්. ඒ අතර ඉන්න තැන මූනිච්චාවට හිනාවෙන අය ගොඩක් වටකරගෙන ඉන්නවාට වඩා වෘත්තීය වශයෙන් තරඟකාරී නැතිනම් විරුද්ධ කණ්ඩායම් වල පවා ගෞරවයට පාත්‍ර වෙන සැබෑ නායකයෙක් වෙන්න උත්සාහ කිරීම වැදගත්.
Leave a Reply