එච්.අයි.වී/ඒඩ්ස් ගැන ඔබ දැන සිටිය යුතු කරුණු කාරණා කීපයක්!

එච්.අයි.වී/ඒඩ්ස් කියලා කියනකොටත් ටිකක් විතර බය හිතෙනවා නෙහ්? ඒකට හොඳ හේතුවක් තියෙනවා. එකක් තමයි, ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝග අතරින් භයානකම ආසාදනය එච්.අයි.වී කියලත්, ඒකෙන් අන්තිමට එන්න පුලුවන් භයානකම තත්වය ඒඩ්ස් තත්වය කියලත් අපේ ඔළුවල අදහසක් ඇතිවෙලා තිබීම. ඒ වගේම, එච්.අයි.වී/ඒඩ්ස් සුව කළ නොහැකියි, හැදුණොත් බඩුම තමයි කියලත් අදහසක් අපේ ඔළුවේ තියෙනවා. එතකොට ඔය ඉස්සර කාලේ එච්.අයි.වී/ඒඩ්ස් වැළැක්වීම ප්‍රවර්ධනයට පෙන්නපු ටීවී නාට්ටි වලිනුත් අපිට බොහොම බයානක චිත්‍රයක් මැවුණා. ඒ ඇරෙන්න, ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝගයක් වීම නිසාත් එච්.අයි.වී/ඒඩ්ස් සම්බන්ධයෙන් දැඩි සමාජ ගර්හාවක් ඇතිවුණා. දැන් ඔය කතන්දර වලින් කොයි තරම් දුරට දේවල් ඇත්ත වුණත්, බොරු වුණත්, කොයි තරම් දේවල් හරි වුණත්, වැරදි වුණත් අපිට පිළිගන්න වෙන ඇත්තක් තමයි එච්.අයි.වී/ඒඩ්ස් කියන්නේ සරලව ගන්න පුලුවන් දියවැඩියාව වගේ තත්වයක් හෝ කොවිඩ් වගේ ආසාදනයක් නෙවෙයි කියන එක. ඊට වඩා සෑහෙන්න සීරියස් හිතන්න ඕන දෙයක්. 

 

හැබැයි එච්.අයි.වී/ඒඩ්ස් සම්බන්ධයෙන් සීරියස් විදියට හිතනවා වගේම එච්.අයි.වී/ඒඩ්ස් සම්බන්ධයෙන් හරි තොරතුරු සහ නිවැරදි තොරතුරු දැනගෙන ඉන්න එක වටිනවා. විශේෂයෙන්ම දෙසැම්බර් 01 ලෝක ඒඩ්ස් දිනය දවසෙදී මේ තොරතුරු අපි දැනගෙන ඉන්න එක අපිට වටිනවා.

 

 

1. HIV සහ AIDS: මොකද්ද වෙනස?

ඇත්තටම මේක ලංකාවේ ජනමාධ්‍ය පවා වරදවා වටහා ගන්න කාරණාවක්. HIV කියන එකෙන් අදහස් වෙන්නේ human immunodeficiency virus කියන එක. වෙන විදියකට කියනවා නම්, HIV කියන්නේ වෛරස් එකක්. මානව ප්‍රතිශක්ති ඌණතා වෛරසය කියලා ඕන නම් කියන්න පුලුවන් සිංහලෙන්. මෙන්න මේ වෛරස් එක අපේ ශරීරයට ඇතුළු වුණාට පස්සේ අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ සෛල ක්‍රමයෙන් ආසාදනය කරන එක තමයි කරන්නේ. එහෙම ඒ සෛල විනාශ වෙනකොට, අපේ ශරීරයේ ප්‍රතිශක්තියත් ඒ විදියටම නැති වෙලා යනවා. ඉතින් එහෙම ශරීරයේ ප්‍රතිශක්තිය ඉතාමත්ම අඩු තත්වයකට පත් වුණාට පස්සේ ඒඩ්ස් කියන රෝග තත්වය ඇති වෙනවා. Acquired immunodeficiency syndrome නැතිනම් නතුකරගත් ප්‍රතිශක්ති ඌණතා සහලක්ෂණය කියන්නේ අන්න ඒකට. මේ තත්වයට ආවට පස්සේ රෝගියාට අතිශය සරල ආසාදනයකට හෝ රෝගයකට වත් ඔරොත්තු දෙන්න බැරි තරමටම දුර්වල වෙනවා.

 

 

2. එතකොට HIV ආසාදිතයෙක් කියන්නේ AIDS රෝගියෙක් ද?

නෑ. කලිනුත් කිව්වා වගේ ආසාදනය වෙන්නේ වෛරස් එක. ඒක නොසලකා හැරලා තියලා අන්තිමට දීර්ඝ කාලයක් ගියාට පස්සෙ තමයි සම්පූර්ණයෙන්ම ප්‍රතිශක්තිකරණ පද්ධතියට පහර දීලා ඒක දුර්වල කරලා, ඒ ආසාදිතයා රෝගියෙක් බවට පත් කෙරෙන්නේ. ඒකට ඇත්තටම අවුරුදු ගණනාවක් යනවා. සාමාන්‍යයෙන් තමන්ට HIV වෛරසය ආසාදනය වෙලා කියලා නොදැන, කිසිම ප්‍රතිකාරයක් ගන්නෙ නැතුව ඉන්න ආසාදිතයෙක් AIDS රෝගියෙක් බවට පත් වෙන්න අවුරුදු 10 ක් විතර යනවා කියලා තමයි වෛද්‍යවරු කියන්නේ. හැබැයි මේ සාමාන්‍යයෙන් ගත වෙන කාලය. ඒ කාලය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන්න පුලුවන්. ඒ වගේම ප්‍රතිකාර ලබාගැනීම ඔස්සේත් වෙනස් වෙන්න පුලුවන්. හැබැයි කොහොම කළත් HIV වෛරසය ආසාදනය වෙලා සතියෙන් දෙකෙන් මාසෙන් කෙනෙක් AIDS රෝගියෙක් බවට පත් වෙන්නේ නම් නෑ!

 

 

3. HIV ආසාදනය වෙලා කියලා කොහොමද දැනගන්නේ?

මෙන්න මේක ටිකක් සංකීර්ණ කාරණයක්. වෛරසය ආසාදනය වුණු සමහරුන්ට උණ ගතිය, උණත් එක්ක එන වෙහෙසකර ගතිය, ඔළුවේ කැක්කුම, උගුරේ වේදනාව, මාංශපේෂීන් වල සහ සන්ධි වල වේදනාව වගේ රෝග ලක්ෂණ පළවෙනි සති දෙකත් හතරත් අතර කාලයේදී එන්න පුලුවන්. සමහරුන්ට නම් සමේ ආසාදන එහෙමත් ඇතිවෙන්න පුලුවන්. හැබැයි සමහරුන්ට කිසිම රෝග ලක්ෂණයක් මේ කාලෙදී පෙන්නන්නෙ නෑ කියලත් විශේෂඥයෝ කියනවා. ඒකයි මේක සංකීර්ණ කරුණක් කියලා කිව්වේ. ඊට පස්සේ අවුරුදු ගණනාවක් ගිහිල්ලා ආසාදනයේ අවසාන අවස්ථාවට එනකොට වඩාත් දරුණු රෝග ලක්ෂණ ඇතිවෙන්න පටන් ගන්නවා. හැබැයි ඒ රෝග ලක්ෂණත් වෙනත් වෙනත් රෝග කියලා වරදවා වටහා ගන්න පුලුවන්.

එතකොට කොහොමද දැනගන්නේ තමන්ට වෛරසය ආසාදනය වෙලා කියලා? ඒක දැනගන්න පුලුවන් තමන්ටමයි. තමන්ට යම් කිසි අනාරක්ෂිත ලිංගික ක්‍රියාවක් නිසා හරි, වෙනත් ඒ වගේ රුධිර තරල හුවමාරු වෙන අවස්ථාවක් නිසා හරි වෛරසය වැළඳිලා කියලා සැක හිතුණොත්, වහාම, ඒ කියන්නේ සැකය ඇතිවෙලා සති 2 ත් 8 ත් අතර කාලයකදී රුධිර පරීක්ෂාවක් කරගන්න ඕන. ඒක නෙගටිව් වුණොත් ආයෙ මාස 3 කින් ආයෙ රුධිර පරීක්ෂාවක් කරගන්න එක කෝකටත් හොඳයි.

 

 

4. කොහෙන්ද ඔය රුධිර පරීක්ෂාවන් කරගන්නේ?

ඒකට තැන් ගණනාවක් තියෙනවා. එක්කෝ ලංකාව පුරා රජයේ රෝහල් වල තියෙන ලිංගාශ්‍රිත රෝග සායනයන්ගෙන් මේ පරීක්ෂාව කරගන්න පුලුවන්. එහෙම නැතිනම් ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස්‌ මර්දන වැඩසටහන යටතේ තියෙන පූර්ණ කාලීන පර්යන්ත සායන 31 හරි ශාඛා සායන 23 හරි ඔස්සේත් මේ පරීක්ෂාව කරගන්න පුලුවන්. මේ රුධිර පරීක්ෂාව මේ තැන් වලින් නොමිලේම කරගන්න පුලුවන්. ඒ වගේම, මේ රුධිර පරීක්ෂණ වල ප්‍රතිඵලය මොකක් වුණත්, සම්පූර්ණයෙන්ම අපේ රහස්‍ය භාවය සුරැකෙනවා කියලත් වගකීමකින් කියන්න පුලුවන්. දැන් ඔය පුද්ගලික රසායනාගාර වලත් HIV සඳහා රුධිර පරීක්ෂාවන් කෙරෙනවා. හැබැයි එහෙම තැනකින් රුධිර පරීක්ෂාව කරගන්න කලින් තමන්ගේ වෛද්‍යවරයවරයා හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂක හෝ මහජන සෞඛ්‍ය හෙද සොහොයුරිය දැනුවත් කරලා උපදෙස් ලබාගන්න එක වටිනවා.

 

 

5. කොහොමද HIV බෝ වෙන්නේ?

ඇත්තටම මේ වෛරස් එක බෝ වෙන්නේ සරලවම යම් යම් ශරීර තරල හුවමාරුවක් මගින්. ඒක රුධිරය වෙන්න පුලුවන්. එහෙම නැතිනම් යෝනි ශ්‍රාවය හෝ ශුක්‍රානු වෙන්න පුලුවන්. එතකොට HIV වෛරසය ලේසියෙන්ම බෝ වෙන ක්‍රමය වෙන්නේ විශ්වාසවන්ත නොවෙන කෙනෙක් එක්ක සිදුකරන අනාරක්ෂිත ලිංගික හැසිරීමකින්. ඇත්තටම අපේ රටේත් වැඩියෙන්ම HIV වෛරසය කෙනෙක්ගෙන් තව කෙනෙක්ට බෝ වෙන්නේ මෙන්න මේ ක්‍රමයට කියලා තමයි කියන්නේ.

ඒ ඇරෙන්න ඔය මත්ද්‍රව්‍ය එහෙම ශරීර ගත කරගන්න අනාරක්ෂිතව ජීවානුහරණය නොකරපු එන්නත් කටු හවුලේ පාවිච්චි කරන එකෙනුත් HIV වෛරසය බෝ වෙන්න විශාල අවදානමක් තියෙනවා. එතකොට HIV ආසාදනය වෙලා ඉන්න අම්මා කෙනෙක්ගෙන් දරු ප්‍රසූතියේදී සහ මව්කිරි දීමේදීත් HIV වෛරසය බෝ වෙන්න පුලුවන්. එතනින් ගියහම රුධිරය හෝ රුධිර නිෂ්පාදන ඔස්සේ, ශුක්‍ර පරිත්‍යාග ඔස්සේ, ආසාදනය කළ කෙනෙකුගේ ඉන්ද්‍රීයන් බද්ධ කිරීම් ඔස්සේ, ජීවානුහරණය නොකරන ලද එන්නත් කටු මගින් හෝ අසාදිත රුධිර පාරවිලයනය ඔස්සේත් HIV වෛරසය බෝවෙන්න පුලුවන්. හැබැයි දැන් මේ අන්තිමට කියපු දේවල් දැඩිව නිරීක්ෂණය කෙරෙන නිසා, රෝහලකදී HIV ආසාදනය වෙන්න තියෙන්නේ සෑහෙන්න අඩු ඉඩක්.

 

6. ඇයි HIV වෛරසය මෙච්චර භයානකයි කියන්නේ?

අපි මුලින් කිව්වනේ වෛරසය ආසාදනය වුණාට පස්සේ පළවෙනි කාලය ඇතුළත රෝග ලක්ෂණ පෙන්නන්නත් පුලුවන්, නොපෙන්නන්නත් පුලුවන් කියලා. හැබැයි රෝග ලක්ෂණ පෙන්නුවත්, නොපෙන්නුවත්, ඒ කාලයේ ඉඳලා දිගටම HIV ආසාදිතයෙක්ට පුලුවන් තවත් අයට වෛරසය ලබාදෙන්න. ඒක වෙන්නේ එයාවත් දන්නෙ නැතුවනේ. එතකොට හිතන්න, HIV ආසාදිතයෙක් තමනුත් නොදැනම ලිංගික සහකරුවෝ හරි සහකාරියෝ හරි ගණනාවක් එක්ක ලිංගිකව හැසිරුනොත්, ඒ හැමෝටම ආසාදිතයෝ වෙන්න සිද්ධ වෙන්නෙ නැද්ද කියලා. ආන්න ඒක එක භයානක පැත්තක්.

ඒ වගේම, HIV ආසාදනය වෙලා කියලා පරීක්ෂාවක් කරලා බලන්නෙ නැතුව හිටියොත්, ආයෙමත් රෝග ලක්ෂණ පහළ වෙන්නේ තත්වය සෑහෙන්න බැරෑරුම් වුණාට පස්සේ. එතකොට ඉතින් ගොඩක්ම දුරට මරණය තමයි උරුම වෙන්නේ. ඒක තවත් භයානක හේතුවක්.

 

 

7. බෙහෙත් තියෙනවද?

ඇත්තටම කියනවා නම්, HIV වෛරසය සම්පූර්ණයෙන්ම නැති කරලා දාන්න මේ වෙනකොටත් ලෝකේ කිසිම බෙහෙතක් හොයාගෙන නැහැ. එතකොට AIDS තත්වයට ආවට පස්සේ වුණත් තත්වය සම්පූර්ණයෙන්ම පාලනය කරලා රෝගියාව සුව කරන්න පුලුවන් ක්‍රමයක් තාමත් වෛද්‍ය විද්‍යාවෙන් හොයාගෙන නැහැ. හැබැයි අපිට HIV වෛරසය වැළඳුනාට පස්සේ මුල් කාලෙදීම රුධිර පරීක්ෂාවකින් හොයාගත්තොත්, නිවැරදි ප්‍රතිකාර එක්ක ඒ ආසාදිතයාට ගැටළුවක් නැතුව සාමාන්‍ය විදියට ජීවිතේ ගත කරන්න පුලුවන්. එතනදී වෛරසය ගුණනය වීම පාලනය කරන්න ප්‍රතිවෛරස ඖෂධ යොදාගන්නවා. ඒකෙන් ශරීරයේ තියෙන වෛරස ප්‍රමාණය අඩු කරලා, ආසාදිතයාගේ ප්‍රතිශක්තිය ආයෙමත් නගා සිටුවලා, එයාට සාමාන්‍ය විදියට ජීවත් වෙන්න ඉඩ හදලා දෙනවා. සමහරුන්ගේ ශරීරයේ තියෙන HIV වෛරස් ප්‍රමාණය හඳුනාගන්න බැරි තරමටම අඩු කරන්නත් මේ ප්‍රතිවෛරස් ඖෂධ වලින් පුලුවන්. ඒත් HIV වෛරසය මරා දාන්න බෙහෙතක් හොයාගෙන නෑ.

එතකොට කරන්න තියෙන්නේ මොකද්ද? සැකයක් තියෙනවා නම් වහාම HIV සඳහා රුධිර පරීක්ෂාවක් කරගන්න එක.

 

ඉතින් අපි එච්.අයි.වී/ඒඩ්ස් සම්බන්ධයෙන් බය වෙන්න ඕනද? බය වෙන්න නෙවෙයි ඕන, සීරියස්ව, සැළකිලිමත්ව හිතන්න තමයි ඕන. ඒ වගේම, එච්.අයි.වී ආසාදිතයන් හෝ ඒඩ්ස් රෝගීන්ව සමාජයෙන් කොන් නොකිරීමටත් හිතට ගන්න ඕන!

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *