දැන් ඔය ගෑණු ළමයි වැඩි දෙනෙක් කැමතියි සර්ප්‍රයිස් වලට. ඒ කියන්නේ එයා එන මග හැංගිලා ඉඳලා බුහාහා ගාගෙන ඇඟට පනිනවා වගේ සර්ප්රයිසස් නෙවෙයි. අපේ ගර්ල්ෆ්රෙන්ඩ්ස්ලා අපි ගැන ආදරෙන් පිරිලා ඉතිරෙන විදියේ, හොඳ විදියේ පුදුම කරවීම් නැතිනම් සර්ප්‍රයිස් ගැන තමයි අපි මේ කියන්නේ. උදාහරණයක් විදියට ගත්තොත් බර්ත්ඩේ එකට එයාට දෙන සර්ප්‍රයිස් ගිෆ්ට් එකක් දෙන්න පුළුවන්. එහෙම නැතිනම් වැලන්ටයින්ස් ඩේ එකට එයාව සර්ප්‍රයිස් වෙන විදියේ දවසක් ප්ලෑන් කරන්න පුළුවන්. අන්න ඒකෙන් ඉතින් අනිවාර්යයෙන්ම එයාලා අපි ගැන තියෙන ආදරේ තවත් වැඩි වෙයි. ගර්ල්ෆ්‍රෙන්ඩ් නම් ඉතින් හෙටම බඳිමුද අහයි. වයිෆ් නම් අපි ආයෙත් බඳිමුද අහයි. හරි, ඒක කෝක වුණත්, ඇත්තටම ගර්ල්ෆ්‍රෙන්ඩ්ට හරි වයිෆ්ට හරි සර්ප්‍රයිස් එකක් දීලා, එයා සතුටු වෙන හැටි බලන අපිටත් හරිම සන්තෝසයිනේ, හා නැද්ද?
ආන්න ඒ අදහසත් හිතේ තියාගෙන, අපි හිතුවා කොල්ලෙක්ට තමන්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ව සර්ප්‍රයිස් කරන්න පුළුවන් විදියේ මරු අයිඩියාස් කීපයක් ලබාදෙන්න.
1. එයා වෙනුවෙන් පොතක් ලියමුද?
පණ යන වැඩක් වගේද හිතෙන්නේ? නෑ නෑ, අපි කියන්නේ සම්පූර්ණ නවකතාවක් ලියන්න කියලා නෙවෙයි. අපි ගමු ලස්සන ලෙදර් බැම්මෙන් බැඳපු නෝට් පොතක්. ඕන නම් පොකට් සයිස් චූටි එකක් ගත්තත් කමක් නෑ. දැන් අපි ලස්සනට අපේ අත්අකුරෙන් ලියමු එයා වෙනුවෙන්ම ලව් නෝට්ස් ටිකක්. ලව් ලෙටර්ස් වුණත් කමක් නෑ. ඕන නම් නෝට් පොත පිරෙන්න දෙන්නගේ ලව් ස්ටෝරි එක කතන්දරයක් වගේ ලියන්නත් පුළුවන්. ඊට පස්සේ තියෙන්නේ ඔන්න ඔය අත්අකුරෙන් ලියපු නෝට් පොත එයාගේ බර්ත්ඩේ එක දවසට තෑගි දෙන්න. එයත් ඔය ලියන කියන වැඩවලට ආස කෙනෙක් නම්, අපිට පුළුවන් එයාටත් ලස්සන නෝට් පොතකුයි, හොඳ ෆවුන්ටන් පෑනකුයි, තීන්ත බෝතලේකුයි තෑගි කරන්න. එතකොට එයාටත් පුළුවන් ලව් නෝට්ස් ලියන්න ඔයා වෙනුවෙන්!
2. ක්ලැසික් මල්, කේක්, චොක්ලට්!
ඇත්තටම මල් කළඹකුයි, කේක් එකකුයි, එහෙම නැතිනම් චොක්ලට් එකකුයි දුන්නා කියලා ගර්ල්ෆ්‍රෙන්ඩ් සර්ප්‍රයිස් වෙයිද? ඇත්තම කිව්වොත් නෑ. මොකද, විශේෂයෙන්ම වැලන්ටයින් එක හරි බර්ත්ඩේ එක හරි වගේ විශේෂ අවස්ථාවක් නම්, අපි ඔය වගේ මොනවම හරි දෙයි කියලා එයා දන්නවා. හැබැයි එයා ඔෆිස් එකට යනකොට පාරේ අහම්බෙන් හම්බුවෙන මනුස්සයෙක් එයාට කේක් එකක් දුන්නොත්? ඊට පස්සේ තව ටිකක් එහායින් ඉන්න තව මනුස්සයෙක් චොකලට් එකක් දුන්නොත්? නෑ නෑ ගුටිකන්න වෙන්නෙ නෑ. හැබැයි ඉතින් ගර්ල්ෆ්‍රෙන්ඩ් අඳුනන්නෙ නැති යාලුවෙක් දෙන්නෙක් වැඩේට සෙට් කරගන්න වෙනවා. ඕන නම් එයා යන තැනක එයාගේ නම ගහපු මල් බොකේ එකක් තියලා තියන්නත් පුළුවන්!
3. සර්ප්‍රයිස් බර්ත්ඩේ පාටි!
අපි ෆිල්ම්ස් වලත් දැකල තියෙනවනේ ගර්ල්ෆ්‍රෙන්ඩ් මොකුත් නොදැන ගෙදරට එනකොට තැන් තැන් වල හැංගිලා ඉන්න සෙට් එකම ලයිට් දාගෙන එක පාරට “සර්ප්‍රයිස්” කියලා කෑ ගහනවා. ඒකත් මරු. හැබැයි ඉතින් පරණයි. ඒ වෙනුවට අපි වෙන විදියට සර්ප්‍රයිස් බර්ත්ඩේ පාටි එකක් ලැහැස්ති කරමුද? ඔන්න බර්ත්ඩේ එක වෙනුවෙන් එයත් එක්ක අපි යනවා හොඳ රෙස්ටුරන්ට් එකකට. ඔන්න රෙස්ටුරන්ට් එකේ කෑම කකා හිටපු මනුස්සයෙක් යන ගමන් අපි ඉන්න තැනට ඇවිත් එක්ස්කියුස් කරලා එයාට විෂ් කරනවා බර්ත්ඩේ එකට. ඔය වගේ දෙක තුනක් වෙනකොට එයා ෆුල් සර්ප්‍රයිස් තමයි. එහෙම නැතිනම් මුළු රෙස්ටුරන්ට් එකේ ඉන්න හැමෝම එක මොහොතක නැගිටලා හැපි බර්ත්ඩේ ටූ යූ කියලා ගායනා කරන්න වගේ දෙයක් කරන්නත් පුළුවන්. මෙව්වා ඉතින් කලින් නූලට තිතට ලැහැස්ති කරලා තියන්න ඕන. බැරිම නම්, රෙස්ටුරන්ට් එකේ වේටර්ලා, මැනේජර් එහෙම ඇවිත් හැපි බර්ත්ඩේ කියලා විෂ් කරලා යන්න සෙට් කළත් කමක් නෑ!
4. සර්ප්‍රයිස් ට්‍රිප් එකක්!
දැන් බර්ත්ඩේ එක හරි ඒ වගේ එයාගෙ ජීවිතේ විශේෂ දවසක් අල්ලලා ට්‍රිප් එකක් යන එක සර්ප්‍රයිස් එකක් නෙවෙයිනේ. ට්‍රිප් වගේ කලින් සූදානම් වෙන්න ඕන දේවල් වලට සර්ප්‍රයිස් හරියන්නෙ නෑ. හැබැයි ඉතින් ට්‍රිප් එකේ වෙන්නෙ මොනවද කියන දේවල් නම් සර්ප්‍රයිස් විදියට තියාගන්න පුළුවන්. උදාහරණයක් විදියට, දවල්ට කන්න නවත්තනවා එයා නොහිතන රෙස්ටුරන්ට් එකක. මෙන්න ඕඩර් කරන්නත් කලින් එයාගේ ෆේවරිට් සී-ෆුඩ් ඩිෂ් එකක් මේසේ උඩට එනවා! ආන්න සර්ප්‍රයිස්. ඕන නං අතරමග ඔය වගේ සර්ප්‍රයිස් කීපයක්ම රෙඩි කරලා තියන්න පුළුවන්. ඒ වගේම, යන්නේ කොහෙද කියන එක හරියටම නොකියා, දෙන්නම යන්න ආසාවෙන් හිටපු හොඳ ලක්ෂරි හොටෙල් එකකට යන්න පුළුවන්. ආන්න එතකොට බලාගන්න පුළුවන් එයා සර්ප්‍රයිස් වෙන හැටි!
නැත්නම්, එයා යන්න හරිම ආසාවෙන් හිටපු තැනකට, එයාට නොකියා ට්‍රිප් එකක් එක්කගෙන ගියත් මේ විදියටම තමයි සර්ප්‍රයිස් වෙන්නේ!
5. ට්‍රෙෂර් හන්ට්!
මේක ගැලපෙන්නේ ඉතින් ඔය ටිකක් ඇඩ්වෙන්චරස් ගතිය තියෙන ගෑණු ළමයෙක්ට තමයි. වැඩේ වෙන්නේ මෙහෙමයි. දැන් එයාට බර්ත්ඩේ තෑග්ග විදියට ලැබෙනවා මැප් එකක්. ඒකත් කුරියර් කෙනෙක්ගේ අතේ යවන්න පුළුවන්. මේ මැප් එක ඇත්තටම නිධන් සිතියමක්, නැතිනම් ට්‍රෙෂර් මැප් එකක්. ඒකේ ලකුණු කරලා තියෙනවා නිධානේ ගන්න යන්න ඕන තැන්. ඕන නම් පළවෙනි තැනට ගියහම එයාට හම්බුවෙන ගිෆ්ට් එකේ, දෙවෙනි ගිෆ්ට් එක තියෙන තැන ගැන තොරතුරක් තියලා තියන්න පුළුවන්. ඔය වගේ එයා තැන් කීපෙකට ගිහින් එයාගේ බර්ත්ඩේ ගිෆ්ට්ස් ටික එකතු කරගත්තට පස්සේ ඔන්න යනවා අන්තිම ට්‍රෙෂර් ස්පොට් එකට. එතන තියෙනවා එයාට බර්ත්ඩේ එකට ලැබෙන ස්පෙෂල්ම ගිෆ්ට් එක. වෙන කවුරුවත් නෙවෙයි, එයාගේ බෝයිෆ්‍රෙන්ඩ්! කොහොමද සර්ප්‍රයිස් එක?
6. සිංදුවෙන් සර්ප්‍රයිස් කරමුද?
ඔන්න එයාගේ බර්ත්ඩේ එක වෙනුවෙන් හරි වෙන යම් විශේෂ දවසක් වෙනුවෙන් හරි දෙන්නත් එක්ක යනවා හොඳ ෆැන්සි රෙස්ටුරන්ට් එකකට. අර බෑන්ඩ් එකක් ප්ලේ කරන, එහෙම නැතිනම් අඩු ගාණේ ගිටාර් එකක් හරි පියානෝ එකක් හරි තියෙන රෙස්ටුරන්ට් එකකට වෙන්න ඕන මේ යන්නේ. ඉතින් දෙන්නා නෝමල් එකේ කකා බිබී කයිය ගහගෙන ඉන්න අතරේ, කොල්ලා එක පාරටම නැගිටලා යනවා. ගිහින් අර පියානෝ එක හරි ගිටාර් එක හරි ප්ලේ කරමින් සිංදුවක් කියන්න පටන් ගන්නවා. ඕන නම් බෑන්ඩ් එක මියුසික් දෙනකොට සිංදුව කියන්නත් පුළුවන්. හැබැයි සිංදුව කලින් අහපු එකක් නෙවෙයි. ඒක ගර්ල්ෆ්‍රෙන්ඩ් වෙනුවෙන්ම තමන් ලියපු සිංදුවක්. ආන්න බලන්න එයා සර්ප්‍රයිස් වෙන ලස්සන! හැබැයි ඉතින් මෙහෙම සර්ප්‍රයිස් එකක් කරන්න නම්, පොඩ්ඩක් සංගීත හැකියාව තියෙන, ලස්සනට සිංදුවක් කාරිය කියාගන්න පුළුවන් කෙනෙක් බෝයිෆ්‍රෙන්ඩ් වෙන්න ඕන කියලා අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ!
7. හිතලා මතලා ගත්තු තෑග්ග
අපි ඕනම කෙනෙක්ට තියෙනවා අපි කවදාක හරි ලබාගන්න ආසාවෙන් හිටපු, හැබැයි මොනවා හරි හේතුවක් නිසා ගන්න බැරි වුණු දෙයක්. උදාහරණයක් විදියට ගත්තොත්, කොහේ හරි තැනක දැක්ක ලස්සන මුද්දක් වෙන්න පුළුවන්. ඒ වෙලාවේ සල්ලි නැති නිසා ගන්නෙ නැතුව ලස්සන බලලා ආවා වෙන්න පුළුවන්. එහෙම නැතිනම් මොකක් හරි ලස්සන මතකයක් එක්ක ගැටගැහුණු දෙයක් වෙන්න පුළුවන්. ඉතින් කල්පනාකාරී පෙම්වතෙක්ට පුළුවන්, ඔය වගේ පුංචි පුංචි දේවල් මතක තියාගෙන ඉන්න. ආන්න ඊට පස්සේ ඒ ගැන කතාවක් වත් නැතුව, බර්ත්ඩේ එකට ඔය වගේ එයා ආසාවෙන් හිටපු, දැන් හැබැයි මතකවත් නැති දෙයක් අරගෙන තෑගි දෙනවා. නිකමට හිතලා බලන්න එයාගේ මූණේ මොන වගේ සතුටක් ඇඳෙයිද කියලා. ආන්න සර්ප්‍රයිස්!
තව දෙයක්. එතකොට ගෑණු ළමයෙක්ට තමන්ගේ බෝයිෆ්‍රෙන්ඩ්ට හරි හස්බන්ඩ්ට හරි සර්ප්‍රයිස් එකක් දෙන්න බැරිද? අපොයි මොකද බැරි? පුළුවන්. අපි මීට කලින් ගෑණු ළමයින්ටත් එහෙම තමන්ගේ බෝයිෆ්‍රෙන්ඩ්ට හරි හස්බන්ඩ්ට හරි සර්ප්‍රයිස් එකක් දෙන්න හොඳ අයිඩියාස් කීපයක් ගැන කියලා තියෙනවා. ඒකත් කියවලා බලන්න!
Leave a Reply