ලංකාවේ උසම කඳු තරණය කිරිගල්පොත්ත ගැන වටින තොරතුරු ටිකක්

ලංකාවේ ඉන්න අපිට කඳු නැගීමත් මුහුදේ පිහිනීමත් කියන ක්‍රීඩා කටයුතු දෙකම කරන්නට අවස්ථාව ලැබිලා තියෙනවා. ඒක වාසනාවක්. කඳු කිව්වාට අපිට ඉතින් නගින්නට ලැබෙන්නේ මීටර 2500ට වඩා අඩු කඳු. ඉතින් මේ කඳු නැගීම් අතර අපිට නගින්න පුළුවන් උසම කන්ද වෙන කිරිගල්පොත්ත තරණය ගැන අපි විස්තර ටිකක් දැනගමු.

 

 

1. ඇයි පිදුරුතලාගල? 

Photo Credits – Amila Chathuranga

 

ඔව් පිදුරුතලාගල තමයි උසම කන්ද. මේ කාලේ නම් කෙලින්ම වාහනයකින් පිදුරුතලාගල මුදුනට යන්නට පුළුවන්. ඒ වගේම පිදුරුතලාගල මන්දාරම් නුවර පැත්තෙන් නගින්නත් පුළුවන්. ඒත් පිදුරුතලාගල නගින්න අවසර ගන්නට ඕනි. අනෙක් පැත්තෙන් ගත්තොත් කෙලින්ම වාහනයකින් උඩට යන්න පුළුවන්කම තියෙන පිදුරුතලාගල නැගීම එතරම් ගැම්මක් තියන වැඩක් නෙමෙයි. ඒ එක්ක තරණය කරන්න, එහෙම නැතිනම් පයින් ගිහින් හයික් එකක් ට්‍රෙකින් එකක් දාන්න තියෙන කඳු අතර මූලික තැන ඉබේම ලංකාවේ උසම කඳු අතර දෙවැනි තැන තියෙන කිරිගල්පොත්ත කන්දට ලැබෙනවා.

 

 

2. කොහෙන්ද නගින්න පටන් ගන්නේ? 

Photo Credits – Amila Chathuranga

මේ කිරිගල්පොත්ත එක්තරා කාලයකදී කළුපහන බඹරකන්ද අන්තයෙන් එනම් ලෝකාන්තය හෝටන් තැන්නේ පහළ බෑවුම් වලින් පටන් අරගෙන නගින්න පාරවල් තිබිලා තියෙනවා. දැනටත් කොළඹ ඉඳන් කෙලින්ම කිරිගල්පොත්තට මැප් කළාම ඒ පරණ පාරවල් පෙන්නුම් කරනවා. ඒත් දැනට ඒ පහළ ඉඳන් එන පාරවල් වැහිලා. දැන් බෙලිහුල්ඔය ඉඳන් ලෝකාන්තයට නග්‍රාක් බංගලාව පැත්තෙන් එන පාරත් වහලා තියෙන්නේ. ඒ පැත්තෙන් හෝටන් තැන්නට පිවිසීම තහනම්. ඉතින් ඒ නිසා කිරිගල්පොත්තට දැනට තියෙන හොඳම පාර විදිහට හෝටන් තැන්න පිවිසුම අසල පාර තෝරාගන්නට වෙනවා. ඒ පාර සැබැවින්ම ලස්සනයි.

 

 

3. මොනවද වෙනස් අත්දැකීම්? 

Photo Credits – Amila Chathuranga

මේ කිරිගල්පොත්ත උඩ ගිහින් කෑම්ප් කරන්න බැහැ. ගමන පටන් ගන්න ලෝකාන්ත හෝටන් තැන්න පිවිසුමේ ඉඳලා ගමනට එක පැත්තකට කිලෝමීටර 7ක් තියෙනවා. මේ මාර්ගය පටන් ගන්නෙත් එක්තරා උසකින්. ඒ නිසා දිගින් දිගටම නැග්මක් නැහැ. ගමනේ අවසාන හරියේදි නම් ටිකක් සැර නැග්මක් හමු වෙනවා. වෙනත් කඳු වලට වඩා මේකේ තියෙන විශේෂත්වයක් තමයි මගදි හමුවන විල්ලු සහ වගුරු බිම්. වැසි කාලයක නම් මේ යන මාර්ගය තැනින් තැන මඩ වෙනවා. එතකොට පරෙස්සමෙන් මඩේ එරෙන්නේ නැතිව යන්න ලොකු ගේමක් දෙන්න වෙනවා.

 

 

4. කාලය කළමනාකරණය

Photo Credits – Amila Chathuranga

මේ ගමන අවසානයේ කන්ද උඩ කෑම්ප් ගහන්න බැහැ. අනිවාර්යයෙන්ම හැරිලා එන්නම ඕනි දවසක් ඇතුළත. ඒ වගේම හෝටන් තැන්න සහ කිරිගල්පොත්ත දෙකටම තියෙන නීතියක් තමයි හවස දෙකෙන් පස්සේ ඇතුළු වෙන්න දෙන්නේ නැහැ. දෙකෙන් පස්සේ යන එකත් අවදානමක්. වැඩිය කඳු පුරුදු නැති එක් අයෙකු හෝ ඉන්නවා නම් උදෑසනම ඒ කියන්නේ හෝටන් තැන්න මාර්ගය විවෘත වෙන උදේ 6.30ට වගේ පාන්දරම වැඩේ පටන් ගන්න ඕනි. ඒ වගේම හවස 1-2 වෙද්දිවත් කන්ද නැගලා තියෙන්න ඕනි. එහෙම නැතිනම් ආපහු හැරිලා එන එක තමයි යුතු. මොකද මේ ගමන් මාර්ගය කළුවරේ තියා දවල්ට සොයාගන්නත් ටිකක් අමාරුයි.

 

 

5. පාර හොයාගැනීම

Photo Credits – Amila Chathuranga

කැළෑ පාරවල් හොයලා ගිහින් පුරුදු අයට අවුලක් නැහැ. ඒ වගේම ජී පී එස් ට්‍රැක් එකක් වගේ තියෙන පුරුදුකාරයෙක්ටත් අවුලක් නැහැ. එහෙම නැති අලුතින්ම කඳු නගින්න යන අයට නම් මේකේ පාර ගයිඩ් මහතෙක් නැතිව හොයාගන්න අමාරුයි. සමහර කාලවලට හෝටන් තැන්න පිවිසුම අසලම ගයිඩ්වරු උදෑසනම හොයාගන්න පුළුවන්. පාර තිබුණාට ස්ථිරවම තියෙන පාරවල් නැහැ. ඇතැම් වගුරුබිම් හරහා එක් එක් කාලයට මඩවෙන සීමාවන් අනුව තැනින් තැනින් පාරවල් ගොඩක් තියෙනවා. මේ කිරිගල්පොත්ත යන මාර්ගයේ ඇතැම් තැන් යටත්විජිත කාලයේ අශ්වයින් යන මාර්ග විදිහට පාවිච්චි කරලා තියෙනවා. ඒ නිසා ඒවාට රැවටෙන්න යම් ඉඩකුත් තියෙනවා. ඒ වගේම කලින් මාර්ගය මතට ගස් කඩා වැටීම හෝ වෙනත් අවහිරතා නිසා වෙනත් මාර්ගවලින් හැරිලා ගියපු තැනුත් හමු වෙනවා. ඒ නිසා මාර්ගය දන්නා කෙනෙක් එක්ක යෑම වඩාත් හොඳයි.

 

 

6. කෑම බීම සොයාගැනීම

Photo Credits – Amila Chathuranga

කෑම බීම පොලිතීන් පැකට් විදිහට නම් ගෙනියන්න බැහැ. මොකද හෝටන් තැන්නේ පොලිතින්, ප්ලාස්ටික් ගෙනියන්න තහනම් නීතියක් තියෙනවා. ඒ නිසා බිස්කට් වර්ග, සීනි සම්බෝල, චොකලට් වගේ ගොඩක් දේවල් කවර නැතුව නිකං කඩදාසි මළු වල තමයි දාගෙන යන්න වෙන්නේ. වතුර බෝතල වගේ දෙයක් නම් ගෙනියන්න පුළුවන්. හෝටන් තැන්නේ තැනින් තැන තියෙන කදිම අවර්ණ දිය සීරාවන් වලින් වතුර ගන්න පුළුවන්. ඒත් ඒ වතුර ඇතැම් තැනකදි අමුතු කටුක රසක් තියෙනවා. ඒ නිසා වතුර අරං යන්න පුළුවන් නම් හොඳයි. දවසක්ම වෙහෙස වෙන නිසාත් උදේම පිටත්වෙන නිසාත් කෑම ටිකක් වැඩිපුර අරං යන්න ඕනි. වැරදිලාවත් අතරමං වීමක් සිදු වුණොත් හෝ මහ වරුසාවක් ඇද වැටුණොත් බාධා වෙන නිසා වැඩිපුර කෑම ටිකක් අරං ගිහින් ආයේ අරං එන එක ලොකු නාස්තියක් කියලා හිතන්න එපා.

 

 

7. වෙනත් අනතුරු

Photo Credits – Amila Chathuranga

මේ හෝටන් තැන්නේ කොටි ඉන්නවා කියලා වාර්තා වෙලා තියෙනවා. මෑතකදි කොටි 4 දෙනෙකුගේ රෑනක් ඡායාරූපයට හසු වෙලා තිබුණා. ඒත් කඳුකර කොටි යාලේ විල්පත්තුවේ දකින කොටි වගේ මිනිස්සුන්ට හුරු නැහැ. උන් මිනිස් ඇසට බලාගැනීමටත් අපහසුයි. මේ කඳුකර කොටි හෝටන් තැන්න කලාපයේදී මිනිස්සුන්ට පහර දීපු අවස්ථා වාර්තා වෙලා නැතිම තරම්. ඒ නිසා කොටින්ට බය වෙන්න දෙයක් නැහැ. ශීතල වැඩි කලාපයක් නිසා කූඩැල්ලන්ගෙනුත් බයවෙන්න දෙයක් නැහැ. හීතල දැඩිව තිබුණත් ගමනේදී නිතර ඇවිදින නිසා ශීතල දැනෙනවා අඩුයි. ඒ නිසා ජර්සි වැඩි ප්‍රයෝජනයක් නැහැ. වැසි කාලය ඇවිත් වැස්සොත් නම් ඉතින් තෙමෙන්න වෙනවා. වැස්සට ජර්සි, ජැකට් පාවිච්චි කරන්න පුළුවන් වුණත් වනාන්තරය ඇතුළේ යටි රෝපණය එක්ක ඒවා හොඳටම ෆිට් නැත්නම් ඒ වැසිකබා වලින්  වැඩක් නැති වෙනවා.

 

මීදුම තිබුණොත් නම් කඳු මුදුනට නැග්ගත් වීව් එක බලාගන්න බැරි වෙනවා. මේ කඳු මුදුනේ අංශක 360 හෝ 180 වීව් එකක් නැහැ. එක පැත්තකින් විතරක් ලාවට ගම්මාන ආදිය පේනවා. ඒත් කඳු මුදුන කොටසට පිවිසෙන්න තියෙන කටුක මාර්ගයේදි නම් අවට භූමි දර්ශන කදිමට පේනවා. මේ කලාපයේ ඉඳලා ඉහළින් බැලුවත් මිනිස් ජනාවාසයකට ටිකක් ඈතින් තමයි කඳුමුදුන තියෙන්නේ. ඉතින් කොළඹ සහ පිටපළාත් වල ඉඳන් යනවා නම් කන්ද නගින්න කලින් දවසේ ගිහින් නැවතිලා ඉන්න ඕනි. නැතිනම් නයිට් මේල් දුම්රියේ පට්ටිපොලට හෝ ඔහියට ගිහින් යන්න ඕනි. එහෙමත් නැතිනම් රාත්‍රියේම පිටත්වෙලා පාන්දරම හෝටන් තැන්නට ළඟා වෙන්න රථයකින් යන්න ඕනි.

 

ඔයාලටත් කිරිගල්පොත්ත නැගල එන්න අදහසක් තියේ නම් මේ පෝස්ටුව ඒකට බොහොම වැදගත් වේවි. ඔයාටත් කිරිගල්පොත්ත යන ආසාවක් ආවනම් යාළුවන්ටත් ඒක බෝකරන්න අපේ ආටිකල් එක ෂෙයාර් කරගෙනම යන්න.

 

Leave a Reply

Your email address will not be published.