වර්තමානයේ ගත්තොත් අපේ රටේ වැඩියෙන්ම ස්වතන්ත්‍ර නවකතා වලට සාපේක්ෂව පරිවර්තන පොත් වලට ලොකු මාර්කට් එකක් තියෙනවා. ඒ හින්දා ගොඩක් අය දැන් කාලේ පරිවර්තන පොත් කියවන්න නැඹුරු වෙලා තියෙනවා. ඉතින් අද අපි හිතුවා පරිවර්තන පොත් වලට ආදරය කරන හැමෝම වෙනුවෙන් සුප්‍රකට කතුවරයෙක් වන පාවුලෝ කොයියෝ ගේ සිංහලට පරිවර්තනය වුණු පොත් හතක් ගැන කතාකරන්න…
1. සන්තියාගෝ නම් සැරිසරන්නා
මුලින්ම අපි කතා කරමු පාවුලෝ කොයියෝගේ ජනප්‍රිය නවකතාවක් වුණු “The Alchemist” කෘතිය ගැන. මේක සිංහල භාෂාවට පරිවර්තනය වෙන්නේ “සන්තියාගෝ නම් සැරිසරන්නා” කියන නමින්. මේ කෘතිය පරිවර්තනය කළේ අපේ රටේ ඉන්න විශිෂ්ට පරිවර්තකයෙක් වන චූලානන්ද සමරනායක මහතා. ඉතින් ගොඩක් අය මුල් කෘතිය තරම්ම මේ පරිවර්තනයත් වැළඳගත්තා. මේ කෘතියට පාදක වෙන්නේ නිධානයක් සොයා යන සන්තියාගෝ කියන එඬේර කොළු ගැටයගේ කතාව. හරි සරල කතන්දරයක් වුණාට මේකෙ හැම පිටුවකම වගේ තියෙනවා ජීවිතේ ජයගන්න පණිවිඩයක්. ඒ නිසාම හැමෝම කියවිය යුතු පොතක් විදියට අපි නම් කරනවා මේ කෘතිය.
2. මිනිත්තු එකොළහේ කතාන්දරය
මරියා කියන්නෙ මේ පොත කියෝපු කාටවත් අමතක වෙන නමක් නම් නෙමෙයි. කොයියෝගේ මේ “11 minutes” කෘතියේ පරිවර්තනයන් දෙකක් තියෙනවා. එක් පරිවර්තනයක් කරන්නේ ආනන්ද මහපටුනගේ. අනෙක් පරිවර්තනය රුචිනි තල්පාවිලගේ. මරියා කියන බ්‍රසීල ගණිකාවගේ කතාව තමයි මේ පොතට පාදක වෙන්නේ . සන්තියාගෝ නම් සැරිසරන්නා පොත වගේම හරි සරලව කතාව පටන් ගන්නේ. ඒත් හිතන්න දේවල් නම් ගොඩක් ඉතුරු කරන කතාවක්…
3. වෙරෝනිකා මැරෙන්න තීරණය කරයි
ඒකාකාරී ජීවිතය ගැන කළකිරීමට පත්ව සියදිවි හානිකර ගැනීමට තැත් කරන තරුණියක්, එම වෑයම අසාර්ථක වීමෙන් පසු තම ජීවිතයට මුහුණ දෙන ආකාරය තමයි මේ “Veronika Decides to Die” කෘතියට පාදක වෙන්නේ. ලංකාවේ අතිශය ජනප්‍රිය වුණු මේ කෘතිය සිංහල භාෂාවට පරිවර්තනය කරන්නෙ අපේ රටේ ඉන්න දක්ෂ පරිවර්තකයෙක් වන ගාමිණී වියංගොඩ මහතායි. කොයියෝගෙ බොහෝ පොත්වල වගේ මේ පොතෙත් පාඨකයාගේ හදවත සහ බුද්ධිය යන දෙකටම සමසේ කරන ආමන්ත්‍රණයක් දකින්න පුළුවන්.
4. අනාචාරය
“Adultery” කියන්නේ කොයියෝ ගේ තවත් හොඳ කෘතියක්. මේ කෘතිය අනාචාරය නමින් සිංහලට පරිවර්තනය කරන්නේ මැනුවෙල් ජයසේකර මහතා විසින්. ඉතින් මුල් කෘතියට අසාධාරණයක් නොවෙන්න සාර්ථක විදියට මේ පොත ඔහු පරිවර්තනය කරලා තියෙනවා. ධනවත් නමුත් නීරස ජීවිතයක් ගත කරන විවාහක කාන්තාවක් තමන්ගේ පැරණි පෙම්වතෙක් එක්ක අරඹන අනියම් සබඳතාවයක් පාදක කොටගෙන තමයි මෙහි කතාව ගලා යන්නේ.
5. මායාකාරි
මේකත් පාවුලෝ කොයියෝගේ විශිෂ්ට කෘතියක්. “Witch of Portobello” නම් කෘතිය තමයි මායාකාරි කියන නමින් සිංහලයට පරිවර්තනය වුණේ. මේ කෘතිය පරිවර්තනය කරනු ලැබුවේ උදිත අලහකෝන් කියන පරිවර්තකයා විසිනුයි. මේ කෘතිය පුරාවටම ආදරය ගැන කතා කරනවා. ආදරයට ආදරණීය නිර්වචනයක් දෙනවා. පොතේ තියන එක වාක්‍යයක් මෙතනින් අමුනන්නම් පොත ගැන ඔබටම තීරණය කරන්න.
“මම මැරුණම මගෙ මිනිය කෙළින් අතට වළලන්න. මොකද, මං මගේ ජීවිත කාලෙම ගත කරලා තියෙන්නෙ දණගහගෙන හින්දා!”
6. බ්‍රීඩා
බ්‍රීඩා ලෝකය පුරාවටම අතිශය ජනප්‍රිය වුණු තවත් විශිෂ්ට කෘතියක්. මේ කෘතිය සිංහලට පරිවර්තනය කරන්නේ මහේෂි වීරකෝන්. ඇත්තටම මුල් කෘතියේ තියෙන රසයම පරිවර්තනයට ඇය අරන් තියෙනවා. මිනිස් ලෝකයේ ගැඹුර තරමක් ගුප්ත විදියට ඔහුගේ අනිත් පොත් වල වගේ මේ පොත තුළත් අපට හමුවෙනවා. ඒ හින්දම කියවන පාඨකයන්ව වෙනම ලෝකෙක අතරමන් කරන්න මේ කතාව සමත් වෙනවා. ඉතින් මේ පොතත් කියවන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.
7. යක්ෂයා හා ප්‍රයිම් මෙනවිය
යක්ෂයා හා ප්‍රයිම් මෙනවිය කෘතියත් අපි කලින් කතා කරපු අනිත් පොත් හය තරම්ම පාඨකයන්ගේ ආදරය දිනාගත්ත විශිෂ්ට කෘතියක්. මේ කෘතිය පරිවර්තනය කළේ අපි කලින් කතා කරපු සන්තියාගෝ නම් සැරිසරන්නා කෘතිය පරිවර්තනය කරපු
චූලානන්ද සමරනායක මහතාමයි. තරමක් වෙනස් ගුප්ත කතාවක්. එහෙමයි කියලා නොකියවා නම් ඉන්න එපා. ඇත්තටම ගුප්ත වුණාට ගොඩාක් විශිෂ්ට පොතක්. මේක කොයියෝගේ මුල්ම කෘති තුනෙන් එකක්. “පියෙද්රා ගඟ බඩ හිඳ මම වැළපුණෙමි” කෘතියටයි අපි කලින් කතා කරපු “වෙරෝනිකා මැරෙන්න තීරණය කරයි” කෘතියටයි පස්සෙයි ඔහු මෙය ලියන්නේ…
ඉතින් මීට අමතරව පාවුලෝ කොයියෝගේ පියෙද්රා ගඟ බඩ හිඳ මම වැළපුණෙමි, අක්‍රාවේ අත්පිටපත, සහීර්, මා නොවන මම, ඔත්තුකාරි වගේ කෘතිනුත් සිංහලට පරිවර්තනය වුණා.
පොතට පතට ලැදි හැමෝටම මෙය වටින ලිපියක් වේවි කියලා අපි හිතනවා. අනිත් යාළුවන්ටත් කියවන්න මෙය ෂෙයාර් කරන්න කියන ඉල්ලීමත් අපි කරනවා.
ශශින් ප්‍රබෝද්
Leave a Reply