අද චිත්‍රපටි ලෝකයේ ආධිපත්‍යය උසුලන්නේ හොලිවුඩ් චිත්‍රපටියි. මේ වෙනකොට බොලිවුඩ් චිත්‍රපටි ඒ හා සමාන තරගයක් දෙන්න උත්සාහ කරනවා. නමුත් භාෂාත්මක ආධිපත්‍යයෙන් සහ තාක්ෂණයෙන් හොලිවුඩ් චිත්‍රපට අභිබවා යන්න තව අඩුම ගාණේ අවුරුදු 50 ක කාලයක් වත් බොලිවුඩ් චිත්‍රපටි වලට ගත වෙයි කියලා හිතන්න පුළුවන්. ලංකාවේ අපේ තත්ත්වය ගත්තොත් එහෙම නිෂ්පාදන පිරිවැය අතින් හොලිවුඩ් හෝ බොලිවුඩ් චිත්‍රපටිවලට ලංවෙනවා තියා අඩුම ගානේ හිතන්නවත් බැරි තත්ත්වයක තමයි අපි ඉන්නෙ. නමුත් අපේ රටේ නළු නිළියන්ගේ සහ කාර්මික ශිල්පීන් දක්ෂතා අතින් ඉතා ඉහළ මට්ටමක සිටින බවත් නොකියාම බැහැ. ඒ සඳහා ඕන තරම් උදාහරණ තියෙනවා. කතාවෙන් කතාවෙන් අපි අද මාතෘකාවෙන් පිට පැන්නද මන්දා. අපි අද ඔබත් එක්ක බෙදා ගන්න යන්නේ ලෝකයේ එතෙක් මෙතෙක් වැඩිම වියදමක් දරා නිෂ්පාදනය වුණු හොලිවුඩ් චිත්‍රපටි කීපයක වගතුග පිළිබඳව.
1. Pirates of the Caribbean: On Stranger Tides
මේ සුප්‍රකට චිත්‍රපටි මාලාව පිළිබඳව ආයේ අමුතුවෙන් විස්තරයක් කියන්න අවශ්‍ය නැහැයි කියලා අපි හිතනවා. මේ චිත්‍රපටි මාලාවේ හතරවෙනි චිත්‍රපටිය විදිහට නිෂ්පාදනය වුණු “Pirates of the Caribbean: On Stranger Tides” සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 378.5ක මුදලක් වැය වෙලා තියෙනවා. එය අද උද්ධමනයට සාපේක්ෂව ඇමරිකානු ඩොලර් මිලියන 430කට ආසන්න අගයක් බවට පත්වෙනවා. මින් වැඩිම මුදලක් නළු නිළි කැළ වෙනුවෙන් වෙන් වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට ප්‍රධාන චරිතය රඟපෑ ජොනී ඩෙප් හට ඇමරිකානු ඩොලර් මිලියන 55ක මුදලක් ගෙවා තිබෙනවා. චිත්‍රපටය ප්‍රදර්ශනය වීමත් සමගම අමෙරිකානු ඩොලර් බිලියනයක මුදලක් උපයලා තියෙනවා. මේ නිසා මෙම චිත්‍රපටය සඳහා කරපු ආයෝජනය නිෂ්පාදකයන්ට නම් කිසිසේත්ම පාඩුවක් වෙලා නැහැ.
2. Avengers: Age of Ultron
ඇමරිකානු ඩොලර් මිලියන 360. 5ක මුදලක් වැය වුණු මෙම චිත්‍රපටය නිෂ්පාදනය කරනු ලැබුවේ මාර්වල් සමාගම මගින්. ඒ වන විට Comic ශානරයට ප්‍රිය කරන රසිකයන් අතර මෙම චිත්‍රපටි මාලාව උමතුවක් මෙන් ජනප්‍රිය වෙමින් පැවතුණා. මේ නිසාම චිත්‍රපටය සඳහා ප්‍රේක්ෂකයන් ඇදී ආවේ නිරායාසයෙන්. කෙසේ නමුත් විචාරකයන්ගෙනුත් ඉහළ මට්ටමේ ප්‍රතිචාර මේ සඳහා හිමි වුණා. අවසාන වශයෙන් ලොව වටා ප්‍රදර්ශනය මගින් මෙම චිත්‍රපටය ඩොලර් බිලියන 1.4 ක මුදලක් උපයා ගැනීමට සමත් වුණා.
3. Pirates of the Caribbean: At World’s End
මෙම චිත්‍රපටය සඳහා මිනිත්තු 160 ක ධාවන කාලයක් පැවතීම පිළිබඳව ඇතැම් ප්‍රේක්ෂකයන් මෙන්ම විචාරකයන් කතා කළේ ඒ තරම් පහන් හැඟීමකින් නම් නෙමෙයි. කෙසේ නමුත් බොහෝ දෙනෙක් මෙම චිත්‍රපටයේ නළු නිළියන්ගේ රඟපෑම්, අධ්‍යක්ෂණය සහ විශේෂ ප්‍රයෝග පිළිබඳව ප්‍රශංසා මුඛයෙන් කතා කළා. ඩොලර් මිලියන 300ක මුදලක් නිෂ්පාදකයන් විසින් මෙම චිත්‍රපටය සඳහා යොදවා තිබූ අතර එය ඩොලර් මිලියන 963 ක මුදලක් තිරගත වීමත් සමග ඉපයීමට සමත් වුණා.
4. Avengers: Endgame
ඩොලර් බිලියන 2.8 ක මුදලක් මෙම චිත්‍රපටිය තිරගත වීමෙන් දින 11ක කාලයක් තුළ උපයා ගැනීමට සමත් වීම සැලකුණේ ප්රාතිහාර්යයක් ලෙසයි. ලෝකය පුරාම මෙම චිත්‍රපටය සඳහා ප්‍රේක්ෂකයන් වැඩි වශයෙන් ඇදී ආවේ ඊට පෙර තිරගත වූ “Infinity War” චිත්‍රපටියේ කතාව තුළින් මෙම චිත්‍රපටියේ කුමක් සිදු වේදැයි යන කුතුහලය ජනිත කිරීම නිසයි. මේ චිත්‍රපටය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 356 ක ආයෝජනයක් සිදු කොට තිබුණා.
5. Avengers: Infinity War
මෙම චිත්‍රපටය සැලකෙන්නේ ලෝකයේ සිටින ජනප්‍රිය සහ චරිතාංග නළුවන් රැසක් එකට එක් කළ චිත්‍රපටයක් ලෙසටයි. මෙහි ඇතුළත් වූ සටන් ජවනිකා හැකිතාක් දුරට තාත්විකව නිරූපණය කිරීම සඳහා විශේෂ ප්‍රයෝග ඉහළ තාක්ෂණයකින් යුතුව භාවිතා කර තිබුණා. මේ සියල්ල සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 316 ක මුදලක් ආයෝජනය කිරීමට නිෂ්පාදකයන් විසින් තීරණය කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස මෙම චිත්‍රපටය ඩොලර් බිලියන 2 ක මුදලක් ඉපයීමට සමත් වුණා.
6. Titanic
1997 වසරේදී හොලිවුඩ් චිත්‍රපටයක් සඳහා වුව ද ඇමරිකානු ඩොලර් මිලියන 200ක මුදලක් වැය කිරීම බොහෝ දෙනෙක්ට අදහා ගැනීමට හැකි දෙයක් වුණේ නැහැ. විශේෂයෙන්ම එවකට සිටි සිනමා විචාරකයන් මෙම චිත්‍රපටයද ටයිටැනික් නැව මෙන්ම ගිලී යනු ඇති බවට ද අනාවැකි පළ කළා. කෙසේ වෙතත් චිත්‍රපටය තිරගත වීමත් සමගම ඔවුන් සියළු දෙනාටම තමන්ගේ කට වසා ගැනීමට සිදු වුණා. ඔස්කාර් වැනි සම්මාන උළෙලවල් වල පමණක් නොව ප්‍රේක්ෂක ලෝකය තුළත් ටයිටැනික් චිත්‍රපටිය විජයග්‍රහණය කළේ වාර්තා පිට වාර්තා තබමින්.
7. Spider-Man 3
මෙම චිත්‍රපටි මාලාවේ මුල් චිත්‍රපටි දෙක තරම් ආදායම් ලැබීමට හෝ යහපත් ප්‍රේක්ෂක/ විචාරක ප්‍රතිචාර ලබන්නට මෙම චිත්‍රපටයට හැකි වුණේ නැහැ. මේ සඳහා ආයෝජකයන් ඇමරිකානු ඩොලර් මිලියන 258 ක මුදලක් වැය කොට තිබූ අතර චිත්‍රපටය ඇමරිකානු ඩොලර් මිලියන 894.9ක මුදලක් ඉපයීමට සමත් වුණා.
එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.
Leave a Reply