රෝහලකට ගියාම හැසිරෙන්න ඕන හරි විදිය මේකයි!

මනුස්සයෝ විදියට අපි කවුරු වුණත් ජීවිතේ කවදාහරි අසනීප වෙනවනේ. ඇත්තටම මනුස්සයෙක්ට ජීවිතේ ගැලවෙන්නම බැරි දේවල් වලින් එකක් තමයි මේ අසනීප වීම. සාමාන්‍යයෙන් ඔය එදිනෙදා හැදෙන සුළු අසනීපයක් නං ගෙදරම හොඳ කරගන්න පුළුවන්. හැබැයි අපි ඕනම කෙනෙක්ට ජීවිතේ එක පාරක් හරි ඉස්පිරිතාලෙකට යන්න සිද්ධ වෙනවා. අන්න එහෙම ඉස්පිරිතාලෙකට ගියාට පස්සේ අපිට සමහර වෙලාවට බොහොම කරදරකාරී අත්දැකීම් වලට මුහුණ පාන්න වෙනවා. විශේෂයෙන්ම රජයේ රෝහල් වලදී. හැබැයි නිකමට හරි හිතිලා තියෙනවද ඒ සමහර කරදරකාරී අත්දැකීම් වලට අපිත් වගකියන්න ඕන කියලා? ආන්න ඒක තමයි සිදුවීම. ඒ නිසා අපි හිතුවා, රෝහලකට ගියාට පස්සේ පොඩ්ඩක් සිහියේ තියාගෙන පිළිපදින්න ඕන දේවල් ගැන පොඩි උපදෙස් කීපයක් ලබා දෙන්න. 

 

1. හොයලා බලලා වෙලාවට යමු

අපි ඉස්පිරිතාලෙකට යන්න කලින්, අපි යන අවශ්‍යතාවය ගැන විස්තර, කරුණු කාරණා හොයලා බලලා යන එක හොඳ පුරුද්දක්. දැන් කාලේ එහෙම විස්තර හොයාගන්න අමාරු නෑ. උදාහරණයක් විදියට අපි කියමු අපිට මොකක් හරි ලෙඩක් සම්බන්ධයෙන් විශේෂඥ දොස්තර කෙනෙක් මුණගැහෙන්න ඕන කියලා. ප්‍රයිවට් නම් චැනලින් කරන්න පුළුවන්. රජයේ රෝහලක නම් ඒ අදාළ ක්ලිනික් එක තියෙන දවස හොයාගෙන යන්න පුළුවන්. ඕනම රෝහලක දුරකථන අංක දැන් බොහොම ලේසියෙන් අන්තර්ජාලයෙන් හොයාගන්න පුළුවන්. ඊට පස්සේ කතා කරලා විස්තර දැනගන්න පුළුවන්. අන්න එහෙම දැනගෙන හොයලා බලලා යන එක අපිටත් ලේසියි.

අනික් කාරණාව, අපි වෙලාවට යන එකත් වැදගත්. ඕන නම් වෙලාවට කලින් යන්නත් පුළුවන්. ඒකෙන් සමහර විට පෝලිමක ඉන්න තියෙන කාලය අඩු වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඔය චැනලින් එහෙම දැම්මහම දොස්තරලා වෙලාවට නොඑන්න පුළුවන්. හැබැයි එහෙමයි කියලා උපකල්පනය කරලා අපි පරක්කු වෙලා යන එකේ පාඩුව අපිටම වෙන්නත් පුළුවන්. අන්න ඒ නිසා හොඳම දේ තමයි වෙලාවට යන එක. 

 

2. පෝලිම් පනින්න එපා

පෝලිම් පනින එකනම් ඉතින් අපේ ජාතික පුරුද්දක්නේ. හැබැයි විශේෂයෙන්ම ඉස්පිරිතාලයක් වගේ තැනක පෝලිම් පනින එක නම් අනික් රෝගීන්ටත් කරන අසාධාරණයක්. රෝහලේ කාර්ය මණ්ඩලයටත් කරන අනවශ්‍ය පීඩාවක්. සාමාන්‍යයෙන් හොස්පිට්ල් එකක කාර්ය බහුල වෙලාවට රෝගීන් සෑහෙන්න ඉන්න පුළුවන්. ක්ලිනික් එකක් නම් ඒ ප්‍රමාණය සෑහෙන්න වැඩියි. රජයේ රෝහලක එහෙම නම් තත්ත්වය හිතාගන්න පුළුවනිනේ. ආන්න එතකොට අපි කරදාසිය ලිපේ දාලා ලෙඩට බෙහෙත් ගන්න ගිහින් හරියන්නෙ නෑ. සෑහෙන්න අමාරු රෝග ලක්ෂණ තියෙනවා නම් ඒක පැහැදිළිවම රෝහල් කාර්‍යමණ්ඩලයට සන්නිවේදනය කරන්න ඕන. අන්න එතකොට අපිව පෝලිමේ මැරෙනකල් පෝලිම් වල තියන්නෙ නෑ. හැබැයි එහෙම නැතුව ඉස්පිරිතාලෙකට යනවා නම්, එදා දවසේ වෙන වැඩ දාගන්නෙ නැතුව යන එක තමයි යෝග්‍ය. ඕන නම් පෝලිමේ ඉන්න ගමන් කියවන්න පොතක් පතක් අරගෙන ගියත් කමක් නෑ. එහෙම නැතුව පෝලිම් පනින්න යන එක කැතයි.

තව දෙයක්, අහවල් දොස්තරගේ, අහවල් නර්ස්ගේ දැනඇඳුනුම් කම් මත පෝලිම් බයිපාස් කරලා ඉස්පිරිතාලෙක තමන්ගේ වැඩේ කරගන්න යන එකත් කැතයි ඉතින්!

 

3. පණ්ඩිත සීන් එපා

මෙන්න මේක නම් ඔය ටිකක් හරි දෙයක් ගැන දන්න අය අතරේ සුලභව දකින්න තියෙන දෙයක්. ලෙඩකට බෙහෙත් ටිකක් ගන්න හොස්පිට්ල් එකකට ගියාට පස්සේ එතන ඉන්න මිනිස්සුන්ටත් හෙල්ත්කෙයාර් ගැන උගන්නන්න හදනවා. වෙන එකක් තියා දොස්තර ගාවට ගියාට පස්සේ දොස්තරටත් වෛද්‍ය විද්‍යාව උගන්නන්න හදනවා. ආන්න එහෙම අය තමයි දොස්තර ගාවට ගිහින් තමන්ගේ රෝග ලක්ෂණ කියනවා වෙනුවට, තමන්ට හැදිලා ඇති කියලා තමන් හිතන ලෙඩේ ගැන කියන උදවිය. දැන් ඉන්ටර්නෙට් එකෙන් මොනවා හරි රෝග ලක්ෂණ ටයිප් කලහම ඒ රෝග ලක්ෂණ එන්න පුළුවන් ලෙඩ ගැන හොයාගන්න පුළුවනිනේ. හැබැයි ඒවා අනුමානයන් විතරයි. එහෙම නැතුව දේවල් හරියටම දැනගන්න තමයි දොස්තරවරු ඉන්නේ. ඉතින් එහෙම නැතුව, දොස්තරලත් එක්ක පණ්ඩිතකම් කියවන්න, පණ්ඩිත සීන් දාන්න ගියාට පස්සේ කුරුවල් වෙන්නේ තමන්ගේම ලෙඩේ කියන එකත් මතක තියාගන්න ඕන!

 

4. ඕවර් ඇක්ටින් එපා

මේකත් සමහර වෙලාවට අපිට හොස්පිට්ල් වල දකින්න ලැබෙන දෙයක්. ඒ කියන්නේ සමහරු ඉන්නවා ඉස්පිරිතාලේ ඇවිල්ලා මැරෙන්න වගේ පණ අදිනවා. හැබැයි ඇත්තටම තියෙන්නේ හෙම්බිරිස්සාවක්. තවත් සමහරුන්ට ඉස්පිරිතාලෙක පෝලිමක ඉන්න බෑ, ඉස්පිරිතාලෙක බංකුවක වාඩිවෙන්න කැතයි. එව්වත් ඉතින් වෙනමම ලෙඩ තමයි. ඔක්කොමත් හරි, සමහරු දොස්තර ගාවට ගියාට පස්සෙත් ඕවර් ඇක්ටින්! ඉතින් කොහේද ලෙඩකට බෙහෙත් කරන්නේ?

ඔය සමහරු ඉන්නවා ඉන්ජෙක්ෂන් එකක් විදින්න ගියහම බයේ දඟලන, අඬන කරන අය. ඒවා ඇත්තටම ඕවර් ඇක්ටින් කියන්න බෑ. සමහරුන්ට එහෙම නීඩ්ල්ස් වලට ෆෝබියා එහෙම තියෙනවා. එතකොට තවත් සමහරු ලෙඩ වලට හරිම බයයි. ඒ නිසාම දොස්තර ගාවට ගිහින් රෝග ලක්ෂණ කියනකොට බයටම ඇඬෙන්න එහෙම පුළුවන්. එව්වත් ඕවර් ඇක්ටින් නෙවෙයි. ඕවා මානුෂීය දේවල්. හැබැයි අපි කියන්නේ එහෙම නොවෙන තැන් ගැන.

 

5. තමන්ගේ රෝගය මොකක්ද?

මේක නම් ඇත්තටම තමන්ගේ ශරීර සෞඛ්‍යයටම ඉතාම වැදගත් කාරණයක්. ඒ තමයි තමන්ගේ රෝගය මොකක්ද කියලා තේරුම් බේරුම් කරගන්න දොස්තරවරයාට සහ කාර්ය මණ්ඩලයට උපරිම සහාය ලබා දීම. එතනදී අපිට කරන්න පුළුවන් ලොකුම දේ තමයි, වැල්වටාරම් නැතුව, හැබැයි හැකිතාක් පැහැදිළිව සහ තේරෙන විදියට තමන්ට තියෙන රෝග ලක්ෂණ කියන එක. එතනදී ආයෙමත් අපි 3 වෙනි පොයින්ට් එකේ කියපු දේ මතක් කරගන්න. පණ්ඩිත සීන් දාලා නැති ලෙඩ හදාගන්න එපා. අපි දොස්තරවරයාට කියන්න ඕන පළවෙනි දේ අපිට දැනෙන රෝග ලක්ෂණ. දෙවෙනි දේ අපේ රෝග ඉතිහාසය. ඒ කියන්නේ අපිට ඒ හා සමාන රෝග කලින් තිබිලා බෙහෙත් අරගෙන තියෙනවාද කියන එක. අන්න ඒ ටික හරියට කිව්වොත්, අපේ රෝගය මොකද්ද කියලා නිර්ණය කරගන්න වෛද්‍යවරයාට පහසුවක්.

 

6. හරි ඇඳුමක්

ඔන්න ඉතින් හණමිටි කතන්දර කියන්න යනවා. දැන් කාලේ එහෙම ඇඳුමෙන් කාවවත් මනින්නෙ නෑ. එහෙම නේද හිතුවේ? එහෙම හිතුවා නම් වැරදියි. හොස්පිට්ල් එකකට යනකොට ඇත්තටම ඇඳගෙන යන්න ඕන විදියක් තියෙනවා. ආයෙ ඒක ගැන අටුවාටීකා කිව්වට වැඩක් නෑ. එක. ඉස්පිරිතාලයක් කියන්නේ මිනිස්සු ගැවසෙන තැනක්. පොදු ජනතාව ඉන්න තැනක්. එහෙම තැනකට යනකොට තමන් යම් කිසි සංවරත්වයක් ඇඳුමෙන් වුණත් පවත්වා ගන්න ඕන. මොකද, එතන ඉන්නේ එක විදියේ මිනිස්සු නෙවෙයි. එක එක විදියේ මිනිස්සු ඉන්නවා. ඒ නිසා. දෙක. තමන් ඉස්පිරිතාලෙකට ගියහම වෛද්‍යවරයාට තමන්ව පරීක්ෂා කරන්න පහසු විදියේ, තමන්ට මොනවා හරි පරීක්ෂණ වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා නම්, ඒකට පහසු වෙන විදියේ ඇඳුමක් ඇඳගෙන යන්න ඕන. උදාහරණයක් විදියට කිව්වොත්, අත් දිග, උඩින් ටයිට් ටොප් එකක් ඇඳගෙන ප්‍රෙෂර් මනින්න ගියහම දොස්තරට ප්‍රෙෂර් නගිනවා. ඒ වගේ එකක් ඇඳගෙන ඉන්ජෙක්ෂන් එකක් ගහන්න ගියත් එච්චරයි. අන්න ඒ නිසා පහසු සැහැල්ලු ඇඳුමක් ඇඳගෙන යන්න ඉස්පිරිතාලෙකට යනකොට.

 

7. ඉවසීම

මේක නම් ඉතින් ඉස්පිරිතාලෙකට යනකොට විතරක් තියෙන්න ඕන දෙයක් නෙවෙයි. ජීවිතේ කොයි කොතනකදී වුණත් මනුස්සයෙක්ට තියෙන්න ඕන දෙයක් තමයි ඉවසීම කියන්නේ. ඉස්පිරිතාලෙක ඉන්න දොස්තරවරු, නර්ස් නෝනලා, ඇටෙන්ඩන්ට්ලා කියන්නෙත් මිනිස්සුනේ. අපි යන්නේ අපේ ලෙඩේට බෙහෙත් ගන්න විතරයි. හැබැයි ඒ මිනිස්සු ලෙඩ්ඩු සිය දාස් ගාණකට අවධානය දෙන්න ඕන. එහෙම වෙනකොට අපිට අපේ වාරය එනකල් බලාගෙන ඉන්න වෙනවා. අන්න එතකොට ඉවසීම අවශ්‍යයි. සමහර වෙලාවට ඒ අයත් මිනිස්සු වීම මත, පොඩ්ඩක් නුරුස්නා කම්, තරහ යෑම් තියෙන්න පුළුවන්. ඒක හරි දෙයක් නෙවෙයි, මොකද ඒක ඒ අයගේ ඩියුටිය. හැබැයි ඉතින් අපේ පැත්තෙනුත් පොඩ්ඩක් ඉවසීම තියෙනවා නම්, තත්ත්වය සමනය කරගන්න ඒක ලොකු උදව්වක් වෙයි.

 

ඇත්තටම මේවා ඕනම මනුස්සයෙක් සාමාන්‍ය දැනුමෙන් දැනගෙන ඉන්න ඕන බොහොම සරල කාරණා. ඒ වගේම, රෝහලකදී විතරක් නෙවෙයි, එදිනෙදා ජීවිතේ අපි යන එන ඕනම තැනකදි පිළිපදින්න ඕන සරල ආචාර ධර්මීය ගුණාංග. ඔය මැනර්ස් කියලා කියන්නේ. ආන්න එව්වා. ඉතින් අපි රෝහලකට ගිහිල්ලත් මැනර්ස් ඇතුව හැසිරෙනවා නං අපිට වෙන රෝගීන්ටත් කරදරයක් නොවී, රෝහල් කාර්‍යමණ්ඩලයටත් කරදරයක් නොවී, අපිටමත් කරදරයක් නොවී වැඩේ කරගෙන එන්න පුළුවන්!

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *