බබාගේ උපන්දින සාදය සැලසුම් කරන්නෙ මෙහෙමයි

බැලූ බැල්මට බොහොම සරල දෙයක් වගේ පෙනුනට බබෙකුගේ බර්ත්ඩේ පාර්ටි එකක් ලෑස්ති කරනවා කියන්නෙ හිතන තරම් සරල දෙයක් නෙමෙයි. බබෙකුගේ බර්ත්ඩේ පාර්ටි එකක් කියන්නෙ බබාට කැමති දේවල් එක්ක, එයාගේ කැමැත්තට ඉඩ දීල කරන්න ඕන දෙයක්. ඉතින් කොයි අම්මටත්, තාත්තටත් තියෙන අභියෝගයක් තමයි බබාගේ හිත පිරෙන විදිහට එයාගේ උපන්දින සාදය ලෑස්ති කරන එක. ඉතින් අපි අද කියල දෙන්නේ ඔයාගේ බබාගේ උපන්දින පාටිය කොහොමද හොඳින් සැලසුම් කරන්නෙ කියන කාරණාව ගැනයි.

 

1. බබාගේ වයස ගැන හිතන්න

පාර්ටි එකේ හැමදේටම කලින් කල්පනා කරන්න ඕනේ බබාගේ වයස ගැන. ගොඩක් දුරට වයස අවුරුදු එක, දෙක කියන්නෙ බබාට ඒ හැටි තේරුමක් නැති වයසක්. ඒ නිසා ඒ වයස තුළ ඉන්න බබෙක් නම් බොහෝ දුරට එයාගේ බර්ත්ඩේ එක කියන කාරණාව බබාට ඒ හැටි අවබෝධයක් තියෙන එකක් නෑ. හැබැයි බබා ඊට වඩා වයසින් වැඩි නම් එයාගේ උපන්දිනය කියන එක එයාට තේරෙනවා. ඒ නිසා ඒ ගැන ඉස්සෙල්ලා හිතන්න. මොකද පාර්ටි ඒකෙ කරන දේවල් වල අඩුවැඩිකම් තීරණය වෙන්නෙ බබාගේ වයසත් එක්ක. 

 

 

2. බබා කැමති තීම් එකක් තෝරාගන්න

උඩින් කියපු කාරණාව එක්කම ගැටගැහුණු කාරණාවක් තමයි මේකත්. බබාගේ වයස ගැන හිතුවට පස්සේ ඔයාට පුළුවන් බබාගේ කැමති දේවල් අනුව තීම් එකක් තෝර ගන්න. ඒකේදී ඔයා කැමති දේවල් තීම් එක විදිහට ගන්නවට වඩා බබා කැමති දෙයක් තීම් එක විදිහට තෝරාගන්න පුළුවන් නම් බබාට ඒක ගොඩක් සතුටු හිතෙන අත්දැකීමක් වේවි. තීම් එක කිව්වම ඒක හැමෝම කරන එකක් වෙන්න ඕනේ නෑ. ඉතින් ඒ තීම් එකට අනුව හැම ඩෙකරේෂන් එකක්ම හදාගන්න පුළුවන්. බොහෝ දුරට කේක් එකෙන් තමයි තීම් එක වඩා ඉස්මතු කෙරෙන්නේ. ඒ නිසා ඒ හැම දේම තියෙන්න ඕනේ බබාට කැමතිම විදිහට. ඒක සතෙක්, කාටූන් චරිතයක්, මොනාහරි ස්ථානයක් වගේ ඕනෑම දෙයක් වෙන්න පුළුවන්. බබා දිනපතා කරන කියන දේවල් වලින් ඒ ගැන හොඳ අදහසක් දෙමව්පියන්ට ලබාගන්න පුළුවන්.

 

3. වැඩියෙන් බබාගේ වයසේ අයට ආරාධනා කරන්න

උපන්දින පාර්ටියක් කියන්නෙ වැඩිපුර පිටස්තර අය එන අවස්ථාවක්. ඉතින් ඒ වගේ අවස්ථාවකට බබාට පුරුදු නැති අය එනවා කියන්නෙ ඒක බබාට එච්චර සුවපහසු අත්දැකීමක් වෙන්නෙ නෑ. ඒ නිසා ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ පාර්ටියට ආරාධනා කරන අය ගැන. වඩා හොඳයි බබාගේම වයස් කාණ්ඩයේ ඉන්න බබාලට සහ ඒ පවුලේ අයට ආරාධනා කරන්න පුළුවන් නම්. මොකද හුරු පුරුදු නැති වුණත් එයාගේ වයසේ අය එක්ක ගැවසෙන්න බබාලා ගොඩක් කැමතියි. ඉතින් ඒ වගේ අය ගොඩක් ඉන්නවා නම් බබාගෙන් වඩා වැඩි සහයෝගයක් ලැබෙන්න පුළුවන් පාර්ටි එකේ කටයුතු වලට.

 

4. බබාගේ දවසේ schedule එක ගොඩක් වැදගත්

ගොඩක් බබාලා පුරුදු වෙලා ඉන්නවා දවස එක රටාවකට වැඩ කරන්න. එයාලා නිදාගන්න වෙලාවක් හදාගෙන ඉන්නවා, එක එක දේවල් වලට වෙලාවල් හදාගෙන ඉන්නවා. ඉතින් බොහෝ දුරට රාත්‍රී කාලයේ බර්ත්ඩේ පාර්ටි එක සූදානම් කරනවා නම් ඒක බබාගේ දවසේ Schedule එකට බාධාවක් වෙනවද කියන එක ගැන ගොඩක් හිතන්න ඕනේ. එහෙම වෙනවා නම් සතියකටවත් කලින් පොඩ්ඩක් එයාව පාර්ටි එක දවසේ Schedule එකට ට්‍රේන් කරන්න ඕනේ. ඒ කියන්නෙ පොඩ්ඩක් නිදාගන්න වෙලාව පහු කරවන්න වගේ දේවල් වලට පොඩි ට්‍රේන් කිරීමක් කරන එක හොඳයි. 

 

 

5. ස්ථානය ගැන වැඩිපුර සැලකිලිමත් වෙන්න

ඕනෑම බබෙකුට වඩාම පහසුවක් දැනෙන තැන එයාගේ ගෙදර කියලා කිව්වොත් හරි. ඉතින් පාර්ටි එකක් සැලසුම් කරද්දීත් ඒ කාරණාව ගැන වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. මොකද ගෙදරින් පිට තැනක පාර්ටි එක ලෑස්ති කරනවා නම් ඒක බබාට එච්චර පහසුවක් දැනෙන දෙයක් නොවෙන්න පුළුවන්. ඒ නිසා වඩා හොඳයි පාර්ටි එක ගෙදරම හරි බබාට පහසු තැනක සුදානම් කරනවානම්.මොකද බබාගේ මූඩ් එක තමයි බර්ත්ඩේ පාර්ටි එකක වඩාම වැදගත් දේ. එයාට ඒ අවස්ථාව ගොඩක් පහසු, ගොඩක් සතුටුදායක අවස්ථාවක් වෙන්නයි ඕනේ.

 

6. ඡායාරූප ගැනීමේ කටයුතු

පාර්ටි එකේ ඡායාරූප ගන්න ඔයා අදහස් කරනවා නම් ඒක කරන්න පිටින් කෙනෙක් ගේනවද? එහෙමත් නැත්නම් කොහොමද කරන්නෙ කියන එක සැලසුම් කරන්න. පිටින් ඒ සේවාව ලබාගන්නවා නම් ඒකට බබාලා එක්ක වැඩ කරන්න දක්ෂතාවයක් තියෙන කෙනෙක් හෝ ආයතනයක් තෝරාගන්න එක ගොඩක් වැදගත්. මොකද බබාලා කියන්නෙ ෆොටෝග්‍රැෆර් කියන විදිහට ඉන්න අය නෙමෙයි. ඒ නිසා ෆොටෝග්‍රැෆර් ඉන්න ඕනේ බබාගේ විදිහට. ඒ නිසා ඒ ගැන වැඩි අවධානයක් යොමු කරලා ඒ දේ සැලසුම් කරගන්න.

 

7. බජට් එක

ඔය කියපු හැම දෙයක්ම තීරණය වෙන්නෙ මෙන්න මේ කාරණාව මත. ඒ තමයි ඔයාට මේ වැඩේට තියෙන බජට් එක කොහොමද කියන එක. ඉතින් ඒ අනුව හැම දේම තීරණය වෙනවා. විශේෂයෙන් තීම් එකට අදාළ ඩෙකරේෂන් මොනවාද, කී දෙනෙක්ට ආරාධනා කරනවද, කොහෙද පාර්ටි එක ගන්නෙ, ජයාරූප ගන්නවද නැද්ද වගේ ගොඩක් දේවල් තීරණය වෙන්නෙ බබාගේ කැමැත්ත කියන කාරණාවට පස්සේ බජට් එක මත. ඒ වගේම ඔයාගේ බජට් එකෙන් වැඩි කොටසක් වෙන් කරන්න වේවි කෑම වලට. ඒ නිසා කෑම දෙනවද, දෙනවනම් මොනවද දෙන්නේ කියන දේවල් ඒ බජට් එක අනුව තීරණය කරන්න. ඊට පස්සේ ඩෙකරේෂන් සැලසුම් කරන්න. පිටින් කෙනෙක්ට කියල ලොකු පැකේජ් එකකට යනවද, නැත්නම් ගෙදර අයම එකතු වෙලා කරනවද කියන එක තීරණය කරන්න. ගෙදර අයටම පුළුවන් නම් ලොකු ඉතුරුවක් කරගන්නත් හැකියාව ලැබේවි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *