ඉංග්‍රීසියට පරිවර්තනය වුණු සිංහල නවකතා 7ක්

සාමාන්‍යයෙන් අපි හැමෝම වගේ වැඩිපුරම කියවන්නේ ඉංග්‍රීසි හරි වෙනත් භාෂාවකින් හරි සිංහලට පරිවර්තනය වුණු පොත්. ඒත් ඔයා කියවලා තියෙනවාද ඉංග්‍රීසි බසට පරිවර්තනය වුණු සිංහල නවකතා? එහෙනම් අද අපි කතා කරමු ඉංග්‍රීසියට පරිවර්තනය වුණු සිංහල නවකතා 7ක් ගැන 

 

1. මඩොල් දූව

අපි පොඩි කාලේ හරිම ආසාවෙන්, කැමැත්තෙන් කියවපු යොවුන් නවකතාවක් තමයි මඩොල් දූව කියන්නේ. මඩොල් දූව නොකියවපු කෙනෙක් නම් නැති තරම්. මාර්ටින් වික්‍රමසිංහයන් රචනා කළ මේ කෘතිය ලබා ගත්ත ප්‍රතිචාර නම් සුළුපටු නෑ. මේ කෘතිය ඉංග්‍රීසි බසට විතරක් නෙමෙයි, වෙනත් භාෂා ගණනකටම පරිවර්තනය වුණු, අපේ රටට ලොකු කීර්තියක් ලබා දුන්න කෘතියක්. මෙහි ඉංග්‍රීසි පරිවර්තනය සිදුකරන්නේ මහාචාර්ය ඈෂ්ලි හල්පේ විසින්. 

 

2  අඹ යහළුවෝ

අඹ යහළුවෝ නවකතාව වගේම ඒ ඇසුරින් නිමැවුණු ටෙලිනාට්‍යත් අපි හැමෝම වගේ ආසාවෙන් වැළඳ ගත්තා. ඉතින් මේ කෘතිය අපි හැමෝගෙම යොවුන් කාලය ලස්සන කරපු අපූරු මතකයක් බවට නම් සැකයක් නෑ. ටී. බී ඉලංගරත්නයන් රචනා කරපු මේ කෘතිය සෙනෙවිරත්න බී. අලුදෙනිය විසින් තමයි ඉංග්‍රීසි බසට පරිවර්තනය කරලා තියෙන්නේ. 

 

3. වප්මඟුල

මේ වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී සිංහල බසින් ඉංග්‍රීසියට පරිවර්තනය වුණු හොඳම කෘතියට හිමි සම්මානය දිනා ගත්තේ “The Sowing Festival” කියන කෘතියයි. මෙහි මුල් පොතේ කතෘ තමයි සෝමරත්න බාලසූරිය. ඔහු රචනා කළ “වප්මඟුල” කෘතිය තමයි මේ නමින් මධුභාෂිණී දිසානායක රත්නායක අතින් ඉංග්‍රීසියට පරිවර්තනය වුණේ. ඉතින් මුල් කෘතිය වගේම මේ පරිවර්තනයත් හරිම අපූරුයි.

 

4. ආදරණීය වික්ටෝරියා 

වර්තමානයේ අපේ රටේ වැඩියෙන්ම අලෙවි වන නවකතා ලියන කතුවරයෙක් තමයි මොහාන් රාජ් මඩවල කියන්නේ.  ඔහුගේ ආදරණීය වික්ටෝරියා කෘතිය ඉංග්‍රීසි බසට පරිවර්තනය වුණා “Dear Victoria” නමින්. මෙය පරිවර්තනය කළේ සෝමසිරි මුණසිංහයි. ඉතින් අපේ රටේ අරක්කු රේන්ද කර්මාන්තය, දුම්රිය මාර්ග තොරතුරු හරිම අපූරුවට රචනා වෙලා තියන මේ කෘතියේ පරිවර්තනයත් හරිම අපූරුයි.

 

5. සත්‍යකාම

මේ වසරේ සිංහල බසින් ඉංග්‍රීසියට පරිවර්තනය වුණු හොඳම කෘතිය විදියට රාජ්‍ය සම්මානයටත් නිර්දේශ වුණා මේ කෘතිය. ඉතින් සත්‍යකාම කියන්නේ කැත්ලීන් ජයවර්ධන රචනා කළ හැමෝම ආදරයෙන් වැළඳ ගත්ත හරිම අපූරු නවකතාවක්නේ. මේ නවකතාව ඉංග්‍රීසියට පරිවර්තනය කළේ කේ. ඒ. එන්. පෙරේරා විසින්. 

 

6. පොදු පුරුෂයා

පොදු පුරුෂයා කියන්නේ අපේ රටේ සාහිත්‍ය ඇගයුම් සෑහෙන්න ලබාගත්ත නවකතාවක්. නවකතා කලාවේ ආකෘතිමය වෙනසක් එක් කළ සුනේත්‍රා රාජකරුණානායක මහත්මිය රචනා කළ හරිම විශිෂ්ට නවකතාවක් වන මේ නවකතාව ඉංග්‍රීසියට පරිවර්තනය කරනු ලබන්නේ කාමෙන් වික්‍රමගමගේ (Carmen Wickramagamage) විසින් Metta: A Story about Love කියන නමින්. ඒ වගේම සුනේත්‍රා රාජකරුණානායක මහත්මියගේ සද්ගුණාකාරය, නන්දිතය කෘතීනුත් ඉංග්‍රීසියට පරිවර්තනය වුණු කෘතීන් වෙනවා. 

 

7. ලොවීනා

 අපි කලින් කතා කරපු ආදරණීය වික්ටෝරියා කෘතියේ රචකයා වන මොහාන් රාජ් මඩවලයන්ගේ තවත් ජනප්‍රිය කෘතියක් තමයි ලොවීනා කියන්නේ. ආදරණීය වික්ටෝරියා පරිවර්තනය කරපු සෝමසිරි මුණසිංහ  තමයි මේ පොතත් පරිවර්තනය කරන්නේ. ඉතින් තෝමස් මේට්ලන්ඩ් සහ ලොවීනා පෙම් පුවත ඉංග්‍රීසි බසින් රස විඳින්නත් පාඨකයන්ට මේ හරහා අවස්ථාව ලැබී තියෙනවා. 

 

ඉතින් මීට අමතරව ඉංග්‍රීසියට පරිවර්තනය වුණු සිංහල නවකතා තව සෑහෙන්න ඇති. ඒවා ගැනත් අපිට කමෙන්ට් එකකින් කියන්න අමතක නොකර.

 

ශශින් ප්‍රබෝද්

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *