ඔබ නැරඹිය යුතුම බොලිවුඩ් ඇන්තලොජි (Anthology) සිනමාපට හතක්

ඇන්තලොජි සිනමාපට වර්තමානයේදී නම් සෑහෙන්න ජනප්‍රියයි. ඇන්තලොජි ෆිල්ම් එකක් කියලා අපි අදහස් කරන්නේ කෙටි සිනමාපට කිහිපයකින් සමන්විත වුණු චිත්‍රපටියක්. අපි අද කතා කරමු බොලිවුඩ්වල නිමැවුණු එවැනි සිනමාපට කිහිපයක් ගැන.

 

1. ලූඩෝ (Ludo) 

ලූඩෝ කියන්නේ පසුගිය වසරේ නිර්මාණය වුණු අතිශය සාර්ථක සහ ජනප්‍රිය බොලිවුඩ් සිනමාපටයක්. මේ සිනමාපටය අධ්‍යක්ෂණය කළේ අතිශය දක්ෂ අධ්‍යක්ෂකවරයෙක් වන අනුරාග් බාසු විසින්. බ්ලැක් කොමඩි ශානරයේ සිනමාපටයක් වන මෙය එකිනෙක හරහා යන කතාවස්තු හතරකින් සමන්විතයි.  මේ කතාව ගොඩක් ලූඩො ක්‍රීඩාවට සමානයි. එක්කෙනෙක් ඉදිරියට යද්දී අනිත් අයට ඒක බලපාන ආකාරය තමයි මේ සිනමාපටයේ තියෙන්නේ. පංකජ් ට්‍රිපාති, රාජ් කුමාර් රාඕ ඇතුළු තවත් ජනප්‍රිය නළු නිළි කැළක් මෙහි රංගනයෙන් දායකත්වය ලබා දී තිබුණා. 

 

2. අජීබ් දාස්තාන්ස් (Ajeeb Daastaans) 

මේ වසරේ නිර්මාණය වුණු සුපිරිම ඇන්තලොජි නිර්මාණයක් තමයි මේ අජීබ් දාස්තාන්ස් කියන්නේ. වෙනස්ම විදිහේ කෙටිකතා හතරකින් මේ සිනමාපටය සමන්විත වුණා. Majnu, Khilauna, Geeli Pucchi , Ankahi විදියට මේ කෙටි සිනමා පට හතරම අධ්‍යක්ෂණය කරන්නේ අධ්‍යක්ෂකවරුන් හතර දෙනෙක් විසින්. ඉතින් මේ සිනමාපටයත් ඔයා අනිවාර්යයෙන් නැරඹිය යුතු ඇන්තලොජි නිර්මාණයක්. 

 

3. යුවා (Yuva) 

මේක නම් ටිකක් පරණ නිර්මාණයක්. මනි රත්නම් තමයි මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ. විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක්, පාතාල කල්ලියක සාමාජිකයෙක්, වගකීම් විරහිත මධ්‍යම පාන්තික තරුණයෙක් කියන චරිත තුනක කතාව සමගයි මේ සිනමාපටය දිගහැරෙන්නේ. මේ සිනමාපටයම මනි රත්නම් දමිල සිනමාවේ ‘Aaytha Ezhuthu’ නමින් නිර්මාණය කළා.  

 

4. බොම්බේ ටෝකීස් (Bombay Talkies) 

බොම්බේ ටෝකීස් කියන්නේ බොලිවුඩයට වසර සියයක් පිරීම නිමිත්තෙන් නිර්මාණය වුණු ඇන්තලොජි සිනමාපයක්. ඉතින් මේ සිනමාපටය අධ්‍යක්ෂණය කළේ අනුරාග් කාශ්‍යප්, සෝයා අක්තාර්, දිබාකර් බැනර්ජී සහ කරන් ජෝහර් කියන අධ්‍යක්ෂකවරුන් සිව්දෙනා විසිනුයි. සමාජයේ විවිධ ස්ථර වල ජීවත් වන මිනිස්සුන්ගෙ බැඳීම්, සිහින සහ ලිංගික ආශාවන් මේ සිනමාපටයට පාදක වුණා.

 

5. ලස්ට් ස්ටෝරීස් (Lust Stories) 

මේ සිනමාපටය අධ්‍යක්ෂණය කරන්නේත් අපි කලින් කතා කරපු බොම්බේ ටෝකීස් අධ්‍යක්ෂණය කරපු අනුරාග් කාශ්‍යප්, සෝයා අක්තාර්, දිබාකර් බැනර්ජී සහ කරන් ජෝහර් කියන අධ්‍යක්ෂකවරුන් සිව්දෙනා විසින්මයි. කාන්තා චරිත කීපයක් මූලික කරගෙන තැනුණු මේ සිනමාපටයෙන් ඔවුන්ගේ බැඳීම්, සිහින සහ ලිංගිකත්වය නිරූපණය වුණා. 

 

6. ගෝස්ට් ස්ටෝරීස් (Ghost Stories) 

2020 වසරේ නිර්මාණය වුණු මේ නිර්මාණයට අධ්‍යක්ෂණයෙන් එකතු වෙන්නේත් අපි කලින් කතා කරපු බොම්බේ ටෝකීස්, ලස්ට් ස්ටෝරීස් චිත්‍රපට අධ්‍යක්ෂණය කරපු අධ්‍යක්ෂකවරුන් හතර දෙනා විසින්මයි. මේකේ නම වගේම මේක හොරර් ඇන්තලොජි එකක්. භීතිය, කුතුහලය මුසුවුණු මේ චිත්‍රපටයත් අනිවාර්යයෙන්ම නරඹන්න මතක තියාගන්න. 

 

7. අයි ඈම් (I Am) 

I am කියන්නේ බොලිවුඩ් වල නිර්මාණය වුණු වෙනස්ම විදියේ ඇන්තලොජි චිත්‍රපටයක්. මේ හැම කෙටිකතාවක්ම සත්‍ය සිදූවීමක් පාදකව නිර්මාණය වුණු කෙටි සිනමාපට. ශුක්‍රාණු පරිත්‍යාගයකින් මවක් වන අෆියා, කාශ්මිර් පණ්ඩිත් කෙනෙක් වන මේගා, කුඩා කල අමිහිරි මතකයකින් පීඩා විඳින අධ්‍යක්ෂකවරයෙක් වන අභිමන්‍යූ සහ සමලිංගියෙකු වන ඕමාර් කියන චරිත තමා මේ සිනමාපට වල කතාවට සම්බන්ධ වෙන්නේ. අනිවාර්යයෙන්ම මේ චිත්‍රපටයත් මග හැරගන්න එපා. 

 

ඉතින් මේ සිනමාපට අතරින් ඔයාලා නරඹලා තියන හොඳම චිත්‍රපටය මොකද්ද කියන එකත්, මීට අමතරව ඔයා නරඹලා තියෙන ඇන්තලොජි සිනමාපට ගැනත් අපිට කියන්න අනිවාර්යයෙන්.

 

 

ශශින් ප්‍රබෝද්

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *