දැන් ඔය පබ් කියන්නේ මොනවද? මිනිස්සු ගිහින් පොඩි ෂොට් එකක් දාලා, හොඳ කෑම වේලක් කාලා, සමහර වෙලාවට තව යාළුවෙක් එක්ක එහෙම සෙට් වෙලා ඉන්න පුළුවන් තැන්. ඒ කියන්නෙ බාර්? නෑ, වැරදියට ගන්න එපා. බාර් එකකට වඩා පබ් එකක් ටිකක් වෙනස්. බාර් එකේ තියෙන්නේ බොන්න ඇල්කොහොල් සහ කන්න බයිට් විතරයි. හැබැයි පබ් එකක් ඊට වඩා ඉහළ මට්ටමේ රෙස්ටුරන්ට් එකක් වගේ. හැබැයි ඇල්කොහොල් බීම ලබාදෙන කවුන්ටර් ටොප් බාර් එකකුත් පබ් එකක තියෙනවා!
ඉතින් ලංකාවෙත් පබ් තියෙනවා ඕන තරම්. ගොඩක් වෙලාවට හවස වැඩ ඇරිලා යාළුවෙක් දෙන්නෙක් එක්ක කෙනෙක් පබ් එකකට සෙට් වෙලත් ඇති. ඒ කොහොම වුණත්, සමහරු ඉන්නවා පබ් එකකට ගිහින් හැසිරෙන්න දන්නෙ නෑ. අන්තිමට එහෙම මිනිස්සු තමන්ටත් කරදරයක්, පබ් එකේ ඉන්න අනික් මිනිස්සුන්ටත් කරදරයක්, පබ් එකේ වැඩ කරන අයටත් කරදරයක්. මේ ආටිකල් එක ලියන්නේ අන්න එහෙම පබ් එකක වාත වෙන මනුස්සයෙක් නොවෙන්නේ කොහොමද කියලා කියල දෙන්න තමයි!
1. බීලා වැටෙන්නෙපා!
පබ් එකකට යනවා නං, මේක අනිවාර්යයෙන්ම මතක තියාගෙන යන්න ඕන. මොකද, පබ් එකක් කියන්නේ බීලා බීලා වැටිලා කබරයා දාලා චාටර් වෙන්න පුළුවන් තැනක් නෙවෙයි. එහෙම වෙන්න පුළුවන්. හැබැයි ආයෙ පැත්ත පළාතේ යන්න ලැබෙන එකක් නෑ. මුළු පබ් එකටම ඒ තරම් වාතයක් වෙන සෙට් වෙන එකකුත් නෑ. අන්න ඒ නිසා, පබ් එකකට ගිහින් බෝතලේ ඇදලා අරගෙන වැටෙනකල් ගහන්න ලැහැස්ති වෙන්න එපා. සාමාන්‍යයෙන් පබ් වල එහෙම බෝතල් පිටින් ගහන කල්චර් එකකුත් නෑනේ. ග්ලාස් ගාණට තමයි යන්නේ. අන්න ඒ නිසා, හොඳම ක්‍රමේ තමයි තමන්ට අවුලක් නැති වෙන ප්‍රමාණයට අනුමත වෙන එක. යාළුවෝ සෙට් එකක් එක්ක නං ඉන්නේ, රවුන්ඩ්ස් විදියට යන එක. හැබැයි මෙතනින් එහාට තව එක වීදුරුවක් හරි ගැහුවොත් මට අවුල් වෙයි කියන දැනීම ආවට පස්සේ, අනික් සෙට් එක ආයෙ රවුන්ඩ් එකක් යන්න හැදුවත්, අපිට පුළුවන් සෝඩා එකක් හරි වතුර එකක් හරි බීලා ඉන්න!
2. කෑ ගහන්න, වාත වෙන්න එපා!
දැන් ඔය පබ් එකකට ගියපු කෙනෙක් දැකලා ඇති, ඒ වගේ තැනක තියෙන නිස්කලංක පරිසරය ගැන. ඒ කියන්නේ බැක්ග්‍රවුන්ඩ් එකෙන් මියුසික් එකක් යනවා. එහෙම නැතිනම් ලයිව් බෑන්ඩ් එකක් ප්ලේ කරනවා. හැබැයි ඔය මියුසික් එකක් වත් ටකට ටකට ලපට ලපට ටයිප් එකේ වත්, ඩිස්ඩි ඩිඩින් සීදුව සකුරා ටයිප් එකේ වත් නෙවෙයි. බොහොම ශාන්ත, හිතත් නිසංසල කරවන විදියේ සිංදු තමයි යන්නේ. ඉතින් ඇයි පබ් එකක මෙහෙම නිස්කලංක පරිසරයක් ගොඩනගලා තියෙන්නේ? සරලයි. පබ් එකකට මනුස්සයෙක් එන්නේ ඒ වගේ නිස්කලංක පරිසරේක නිස්කලංකව පොඩි ෂොට් එකක් දාලා, නිස්කලංක වෙලාවක් ගත කරලා යන්න. ආන්න ඒ නිසා කිසිම කෙනෙක්ට අයිතියක් නෑ පබ් එකේ තියෙන ඒ නිස්කලංක ගතියට හානියක් කරන්න. අන්න ඒ නිසා කෑ ගහන්න, මහ හඬෙන් හිනා වෙන්න එපා පබ් එකකදී. ඒක කැතයි!
3. ෆෝන් සයිලන්ට්?
උඩ කියපු කාරණයත් එක්ක එකතු වෙන තවත් කාරණයක් තමයි මේක. ෆෝන් පාවිච්චිය. සාමාන්‍යයෙන් පබ් එකකට තනියෙන් ගියාට පස්සේ ෆෝන් එක ඔබ ඔබා හිටියා කියලා කාටවත් මොකුත් කියන්න බැහැනේ. හැබැයි යාළුවොත් එක්ක ගියාට පස්සේත් මුළු වෙලේම ඉන්නෙ ෆෝන් එකේ නං, ඒ ආපු ගමනත් අපරාදේ. අන්න ඒ නිසා, හොඳම දේ තමයි පබ් එකකට ආවහම ෆෝන් සයිලන්ට් කරන එක. විශේෂයෙන්ම හිටි ගමන් ‘රුචිරාණනී අහන්න, එක පාර මා මරන්න” කියලා හෙන සද්දෙන් රින්ග් ටෝන් එකක් එක්ක කෝල්ස් ආවහම කොහොම තියෙයිද? අනිත් එක, ෆෝන් එක සයිලන්ට් තිබ්බට කෝල්ස් නෑවිත් තියෙන්නෙ නැහැනේ. හැබැයි කෝල් එකක් ආවහම ඉන්න තැනම ඉඳගෙන මහ හයියෙන් කෝල් එක ආන්සර් කරන්න එපා. “මම එළියේ ඉන්නේ පස්සෙ ගන්නම්” කියන්න එලියට යන්න ඕන නෑ. හැබැයි ඊට වඩා දේවල් කතා කරන්න සිද්ධ වෙන කෝල් එකක් නම්, හොඳම විදිය තමයි එක්ස්කියුස් කරලා එලියට යන එක.
4. රිසර්ව් කර ඇති ටේබලයකි!
දැන් අපි පබ් එකකට ගිහින් ඩ්‍රින්ක් එකක් දාන ගමන් කියමු ඉන්නේ. හැබැයි අපිට මේසෙන් නැගිටලා යන්න අවශ්‍ය වෙනවා. එක්කෝ පම්ප් එකක් දාන්න, එහෙම නැතිනම් දුමක් දාන්න වගේ දේකට. එතකොට අපි ඔහේ නැගිටලා යනවද? නෑ. එහෙම ඔහේ නැගිටලා යන්න ගිහින් පැය කාලකට විතර පස්සේ ආයෙමත් එනකොට, සමහර වෙලාවට වේටර් අපි ඩ්‍රින්ක්ස් අරගෙන ගිහින් කියලා හිතලා අපේ වීදුරුත් අරගෙන ගිහිල්ලා, තව කවුරුහරි කෙනෙක් ඇවිත් අපේ සීට් එකේ වාඩි වෙලාත් ඉඳීවි. එතකොට වැරැද්ද කාගෙද? අපේම තමයි. මොකද, අපි එතනට ආයෙත් එනවාය, ඒ ස්ටූල් එක අහවල් මේසේ වෙන් කරලය තියෙන්නේ කියලා කියන්න එතන මොකුත් සංඥාවක් තියෙනවද, නෑනේ. ආන්න ඒකට පබ් එකකට යන හැමෝම දැනගත යුතු, ගොඩක් අය දන්න සංඥාවක් තියෙනවා. තමන්ගේ ග්ලාස් එක හරි මග් එක හරි බියර් මැට් එකකින් නැතිනම් කෝස්ටර් එකකින් වහලා යන්න. ඒකෙන් කියන්නේ එතන වෙන් කොට ඇත කියන එක තමයි.
ඒ වගේම තමයි, එහෙම රිසර්ව් කරලා තියෙන මේසයක් හරි ස්ටූල් එකක් හරි අල්ලගන්න යන්නත් එපා. ඒකත් අවිනීත වැඩක්!
5. ස්ලෝ තින්ග්ස් ෆස්ට්
අපි පබ් එකකට සෙට් එකක් විදියට යනවා නං, පොඩ්ඩක් ප්‍රායෝගිකව හිතන්න ඕන කාරණා තියෙනවා. විශේෂයෙන්ම හැපි අවර් එකක එහෙම ඩ්‍රින්ක්ස් සර්ව් කරන එක පොඩ්ඩක් ප්‍රමාද වෙන්න පුළුවන් ක්‍රවුඩ් එක වැඩි නිසා. එතකොට සාමාන්‍යයෙන් කොලිටි පබ් එකක කිචන් එකේ ඇදල ගත්තා, මේසෙට යැව්වා ටයිප් එකේ වැඩ වෙන්නෙ නෑ. වෙලාව අරගෙන තමයි කෑම එකක් රෙඩි කරන්නේ. අන්න ඒ නිසා පබ් එකට ගියාට පස්සේ හිතන්න කොහොමද ඕඩර් කරන්නේ කියලා. බිබී ඉඳලා කන වෙලාව ආවහම ඕඩරේ දාලා, ඊට පස්සේ ස්ටාෆ් එකට බණින්න යන්න එපා පරක්කුයි කියලා. බොන්න පටන් ගන්න කලින් හිතන්න කන්න ඕන මොනවද කියලා. ඊට පස්සේ කන්න සෙට් වෙන වෙලාව ගැන හිතලා කලින් ඕඩරේ දාන්න. ඕන නම් ස්ටාෆ් එකෙන් අහල බලන්න පුළුවන් කෑම රෙඩි වෙන්න කොච්චර වෙලා යනවද කියලා. එහෙම අහලා කලින් වෙලාව තියලා ඕඩර් කරන්න පුළුවන්.
අනෙක් වැදගත්ම කාරණාව, ඔය හදන්න වෙලා යන කොක්ටේල් වර්ග එහෙම තියෙනවනේ. ආන්න ඒවා කරුණාකරලා කලින්ම ඕඩර් කරන්න. ජිම් බීම් ඩබල් එකක් ගේන එක ලේසි වැඩක්. හැබැයි හිතන්න එපා බ්ලඩි මේරි එකක් හදන එකත් එහෙම ලේසියට කරන්න පුළුවන් කියලා. ඒවගේ කොක්ටේල් එකකට වෙලා යනවා. අන්න ඒ නිසා එව්වා කලින් ඕඩර් කරන්න.
6. ස්ටාෆ් එකට වාත වෙන්න එපා
මෙන්න මේක වැදගත්. පබ් එකක ස්ටාෆ් එක ඉන්නේ අපිට උදව් කරන්න, අපිට සංග්‍රහ කරන්නනේ. ඉතින් වද දීලා ඒ මිනිස්සුන්ගේ වැඩේ කොම්ප්ලිකේට් කරන්න එපා. පොඩ්ඩක් ඩ්‍රින්ක්ස් ටික පරක්කු වෙනව වගේද? ඉවසන්න. අපිට සංග්‍රහ කරන මනුස්සයට ‘කරුණාකරලා’, ‘ස්තුතියි’ වගේ වචන වලින් සංග්‍රහ කරන්න දෙපාරක් හිතන්න එපා. එතකොට ඔය ස්ටාෆ් මෙම්බර්ස්ලා එක්ක පොඩ්ඩක් හිනා වෙලා කතා බහ කරාට කමක් නෑ. සමහර වෙලාවට පොඩි උකුළු මුකුළුවක් වුණත් හානියක් නෑ. හැබැයි කරුණාකරලා පබ් එකේ ස්ටාෆ් මෙම්බර්ස්ලට හැරස් කරන්න, ඒ කියන්නේ අනිසි හිරිහැර, සෙක්ෂුවල් ඇඩ්වාන්ස්මන්ට්ස් එහෙම කරන්න යන්න එපා. විශේෂයෙන්ම සමහරු හිතනවා පබ් එකක වැඩ කරන කාන්තා පාර්ශවය “ඕන දේකට ඔට්ටුයි” කියලා. එහෙම නෑ. කොටින්ම කියනවා නම් පබ් එකේ ස්ටාෆ් එකේ හැම කෙනෙක්ටම ගරු කරලා වැඩ කරන්න.
7. හැපි අවර් වාත කේස්!
දැන් ඔය ගොඩක් පබ් වල තියෙන දෙයක් තමයි හැපි අවර් නැතිනම් ඩ්‍රින්ක්ස් වලට හොඳ ඩිස්කවුන්ට් එහෙම හම්බුවෙන පැයක් හෝ දෙකක් වගේ කාලයක්. මේක සමහර පබ් වල හෙනම ආතල්. සමහර පබ් වල හැපි අවර් එකේදී අපි සල්ලි දීලා ගන්න එක ඩ්‍රින්ක් එකකට ෆ්‍රී ඒ ජාතියෙම තව ඩ්‍රින්ක් එකක් දෙනවා. ඉතින් එහෙම වාසියක් එපා කියන්නේ මොකටද? ඒ නිසා හැපි අවර් ගැන හොයලා බලලා ඒ වෙලාවට පබ් එකකට ගොඩවැදුනට කමක් නෑ. හැබැයි, ඔය හැපි අවර් එක වැරදියට පාවිච්චි කරලා වාත වෙන්න එපා. උදාහරණයක් විදියට ගත්තොත්, පබ් එකකට ගිහින් ඩ්‍රින්ක්ස් දහයක් ගත්තට තව දහයක් නොමිලේ දෙන එකක් නෑ. මොකද, ඕනම දේකට සීමාවක් තියෙනවනේ. අන්න ඒ නිසා, හැපි අවර් එක වැරදියට පාවිච්චි කරන්න, හැපි අවර් එකට අදාළත් නැති ඩිස්කවුන්ට් බලහත්කාරයෙන් ඉල්ලලා ස්ටාෆ් එකට වාත වෙන්න තියාගන්න එපා!
එහෙමනම්, පබ් එකකට ගිහින්, උඩ කියලා තියෙන විදියේ හොඳ හැසිරීමකින් ඉඳලා, හොඳ ඩ්‍රින්ක් එකක් දාලා, හොඳ නිස්කලංක වෙලාවක් ගත කරලා එන්නයි තියෙන්නේ!
Leave a Reply