එක්සයිස් එකට සහ ෆන් එකට සයිකල් පදින එකේ වාසි කීපයක්!

අපි වැඩි දෙනෙක් ජීවිතේ එක පාරක් හරි බයිසිකලයක් පැදලා තියෙනවනේ. පුංචි කාලේ නම් අපේ එක හීනයක් තමයි බයිසිකලයක් පදින එක. එහෙම නැතිනම් අපිටම කියලා බයිසිකල් එකක් තියෙන එක. හැබැයි පුංචි කාලේ බයිසිකල් පැද්දේ ජොලියටනේ. ඊට පස්සේ ඉතින් සමහර වෙලාවට අපිට මොකක් හරි අවශ්‍යතාවයකට කොහේ හරි ගිහින් එන්න තියෙන වුවමනාවටත් බයිසිකලයක් පදිනවා වෙන්න පුළුවන්. ඇත්තටම ඉස්සර අපිට තිබුණු එක ප්‍රවාහන මාධ්‍යයක් තමයි බයිසිකල් එක. හැබැයි දැන් වෙනකොට ඒක මෝටර් බයිසිකල්, ස්කූටි නිසා නැතිවෙලා ගිහින්. ඒත් තාමත් ශරීර සුවතාවය වෙනුවෙන් සහ විනෝදය වෙනුවෙන් බයිසිකල් පදින අය ඉන්නවා.

 

ෆිට්නස් තියාගන්න එක්සයිස් එකක් විදියටත්, විනෝදාංශයක් විදියටත් බයිසිකල් පදින එකේ ආතල් එක දන්නෝ දනිති. ඒ වගේම එහෙම සයික්ලින් කරන එකේ සෑහෙන්න ප්‍රයෝජනත් තියෙනවා. ඒ ගැන තමයි මේ කියන්නේ.

 

1. බර අඩුවීම සහ ෆිට්නස් වැඩිවීම

මේක නම් ඉතින් සරලම කාරණාවක්නේ. සයික්ලින් කියන්නේ හොඳ එක්සයිස් එකතුවක්. සයික්ලින් කරන එක හොඳ ඩයට් ප්ලෑන් එකකුත් එක්ක එකතු වුණහම ඉතාම පහසුවෙන් ශරීරයේ බර අඩු කරගන්න පුළුවන්. මේක කැලරි දහනය සඳහා කෙරෙන එක්සයිස් එකක් විතරක් නෙවෙයි. හැබැයි මතක තියාගන්න, ඩයට් ප්ලෑන් එකකුත් අත්‍යාවශ්‍ය වෙනවා සයික්ලින් වලින් හොඳට බර අඩුකරගන්න නම්. හැබැයි ඒ එක්කම අපිට හොඳ ෆිට්නස් වැඩිවීමකුත් ලැබෙනවා සයික්ලින් වලින්. ඒ එක්කම අපේ ශරීරයේ විවිධ කොටස් වලට ව්‍යායාම ලැබෙනවා. ආන්න ඒකත් එක්ක අපේ මාංශපේෂීන් වර්ධනයකුත් සිද්ධ වෙනවා. ආයෙමත් කියනවා නම් සයික්ලින් කියන්නේ ශරීරයට ඉතාම හිතකර ව්‍යායාම එකතුවක්!

 

2. මානසික සතුට ලැබීම

අපි හැමෝටම ජීවිතේට අවශ්‍ය ප්‍රධානතම දේවල් දෙකක් තියෙනවා. එකක් ශාරීරික සෞඛ්‍යය. අනික මානසික සෞඛ්‍යය. අන්න එතනදී මානසික සෞඛ්‍යයට ඉතාම වැදගත් වෙනවා අපේ මානසික සතුට තිබීම. සයිකල් පැදීම කියන්නේ නිකම්ම ව්‍යායාම කිරීමක් නෙවෙයි. ඒක ඇත්තටම විනෝදාංශයකුත් කරගන්න පුළුවන්. සයිකල් එකක් පදින එකේ සතුටක් තියෙනවා. ආන්න ඒ මානසික සතුට අපිට ඉතාම වැදගත්.

 

3. ප්‍රතිශක්තිකරණ පද්ධතිය බලවත් වීම

අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය කියන්නේ අපිව සෑහෙන්න ලෙඩ රෝග වලින් ආරක්ෂා කරගන්නා සම්පතක්. අන්න ඒ නිසා ප්‍රතිශක්තිකරණ පද්ධතිය මනාව පවත්වා ගැනීම අපේ ශරීරයට අත්‍යාවශ්‍යයි. දැන් උඩින් කිව්වනේ සයික්ලින් කියන්නේ ශරීරයට හිතකර ව්‍යායාම එකතුවක් කියලා. ආන්න ඒ ව්‍යායාම එකතුවෙන් ලැබෙන තවත් ධනාත්මක දෙයක් තමයි අපේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය සවිබල ගැන්වීම. ගොඩක් එක්ස්පර්ට්ලා කියනවා දවසකට පොඩි එක්සයිස් එකක් දෙකක් කිරීමට වඩා, සම්පූර්ණ ව්‍යායාම එකතුවක් ලැබීම ඔස්සේ අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය බලවත් වීමත්, ඒක නිස ලෙඩ රෝග හැදීම අඩුවීමත් සිද්ධ වෙනවා කියලා. සයික්ලින් කරන අයට ලෙඩ හැදෙන්නේ අඩුවෙන් කියලා හිතාගත්තත් වැරදි නෑ.

 

4. ස්වභාවධර්මය හා ඒකාත්මික වීම

අපිට ඇත්තටම මේ කාර්ය බහුලත්වයත් එක්ක අපිට ස්වභාවධර්මයත් එක්ක ගැටෙන්න, ස්වභාවධර්මය විඳින්න කාලයක් තියෙනවද? නැහැ නේද? අපි බස් එකක යනකොට වුණත් එක්කෝ නිදාගනී, එහෙම නැතිනම් සිංදු අහයි. ඒ නැතත් සමහර වෙලාවට බස් එකක ඇදේට හිරවෙලා යනකොට කොහෙද ස්වභාවධර්මය රසවිඳින්න ලැබෙන්නේ? හැබැයි නිකමට හිතන්න උදේ පාන්දර එක්සයිස් එකට බයිසිකලයක් පැදගෙන යනවා කියලා. පාන්දර ඒ තරම් වාහන එහෙමත් නෑ. බොහොම නැවුම් පරිසරයක්, වටපිටාවක් තියෙන්නේ. ඉතින් එහෙම පරිසරයක් මැද්දෙන් අපි සයිකලේ පැදගෙන යනකොට මහන්සියක් දැනෙන්නෙත් නැති තරම්. අපිට වෙනදා පේනවට වඩා පරිසරයේ ලස්සන දකින්නත් ලැබෙනවා. ආන්න ඒක තමයි ස්වභාවධර්මයත් එක්ක ඒකාත්මික වීම කියන්නේ. ඔයිටත් වඩා ස්වභාව සෞන්දර්‍යය අත්විඳින්න පුළුවන් නාගරික පරිසරයෙන් ඈත් වෙලා, ගස් කොළං තියෙන ගම්බද පරිසරයක සයික්ලින් කරන්න ගියහම.

 

5. හෘද රෝග, පිළිකා රෝග අඩුවීම

සයිකල් පැදීම ගැන හොඳට දන්න කියන එක්ස්පර්ට්ලා කියන දෙයක් තමයි, වෙනත් හොඳ එක්සයිස් එකක් වගේම සයිකල් පැදීමෙන් අපේ හාට් රේට් එක ඉහළ ගිහින්, සමස්ත ශරීරය පුරාවටම හොඳ ලේ ගමනාගමනයක් සිද්ධ වෙනවා කියලා. කොහොමත් ඇඟට හොඳ එක්සයිස් එකක් ලැබීමත් එක්ක බර අඩුවීම සහ ෆිට්නස් වැඩිවීම එක්ක කොහොමත් හෘද රෝග එහෙම හැදෙන්න තියෙන අවදානම සෑහෙන්න අඩු වෙනවනේ. ඒකත් එක්කම පිළිකා රෝග එහෙම හැදෙන්න තියෙන අවදානමත් සයික්ලින් වගේ එක්සයිස් එකක් පුරුද්දක් විදියට කිරීමෙන් බාගෙට බාගයක් අඩු වෙනවා කියලා සමහර අධ්‍යයනයන් වලින් කියවෙනවා. මෙතනදී වුවමනා නම්, රස්සාවට යන්න එහෙමත් සයිකල් එක පාවිච්චි කරන්න පුළුවන්, ගොඩක් දුරක ඔෆිස් එක නැතිනම්.

 

6. ඩැමේජ් අවම එක්සයිස් එකක් ලැබීම

සාමාන්‍යයෙන් අපි එක්සයිස් කරන එක හොඳයි කියලනේ දන්නේ. හැබැයි ඉතින් හැම එක්සයිස් එකක් එක්කම එන යම් කිසි විදියක අනතුරු සිදුවීමේ අවදානමක් තියෙනවා. සයික්ලින් කරනකොට වුණත් සයිකලෙන් වැටෙන්න පුළුවනිනේ. හැබැයි දැන් ඔය ජොගින් වගේ ව්‍යායාම එක්ක කොහොම කළත් එන අනතුරු අවදානමක් තියෙනවා. අපි ව්‍යායාමයට දුවනකොට අපේ ශරීරයේ බර දරාගෙන දුවන්නේ. එතකොට අපේ මාංශපේෂීන්ට එහෙම වෙන්න පුළුවන් ඩැමේජ් තියෙනවා. හැබැයි ඇත්තටම ඒ අතින් ගත්තහම සයිකල් පැදීම කියන්නේ ඒ විදියේ ඩැමේජ් අතිශයින්ම අවම ක්‍රීඩාවක් කියන එක වැරදි නැහැ. ඇත්තටම සයිකල් එකෙන් වැටිලා තුවාලයක් වීම වගේ අනතුරක් හැරෙන්න අනික් ව්‍යායාමත් එක්ක එන්න පුළුවන් ගොඩක් ඩැමේජස් සයික්ලින් වලදී අඩුයි. සයිකලෙන් වැටෙන එක වුණත් ප්‍රවීණත්වයත් එක්ක වළක්වා ගන්න පුළුවන් දෙයක්නේ. හොඳ සයිකල් පදින්නෙක්ට සයිකලෙන් වැටෙනවා වගේ අනතුරු වෙනවා ඉතාම අඩුයි.

 

7. හැම අතින්ම හොඳ ජීවිතයක් ලැබීම

මේ ගැන ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. උඩ කියලා තියෙන දේවල් ඔක්කොම එකතු වුණහම ලැබෙන්නේ බොහොම හොඳ ජීවිතයක් තමයි. හැබැයි ඉතින් සයිකල් පැදීමෙන් හොඳ ජීවිතයක් ලැබෙන්න උඩ කියලා තියෙන දේවල් විතරකුත් නෙවෙයි හේතු වෙන්නේ. තව දේවල් තියෙනවා. උදාහරණ විදියට කියනවා නම්, සයිකල් පදින එක පුරුද්දක් විදියට කරනවා නම් හොඳ නින්දක් ලබාගන්න පුළුවන්. ඒකට හේතුව සයික්ලින් වලින් ලැබෙන හොඳ ශාරීරික සුවතාවය සහ ශාරීරික යෝග්‍යතාවය. විශේෂයෙන්ම ටිකෙන් ටික වයස්ගත වෙනකොට නින්ද ලැබීමත් අඩු වෙන්න පටන් ගන්නවනේ. හැබැයි සයිකල් පැදීම වගේ එක්සයිස් එකක නිරත වෙනවා කියන්නෙම ඒ ප්‍රශ්නයත් අඩු වෙනවා කියන එක තමයි.

 

ඒ විතරක් නෙවෙයි, සයිකල් පැදීම වගේ එක්සයිස් එකක් එක්ක මොළයේ ක්‍රියාකාරීත්වයටත් හොඳ බූස්ට් එකක් ලැබෙනවා. විශේෂයෙන්ම වයස්ගත වීමත් එක්කත් මේ බ්‍රේන් පවර් එක වැඩි කරන්න පුළුවන් ක්‍රියාකාරකම් අපිට අවශ්‍ය වෙනවනේ. ආන්න ඒකට සයික්ලින් ඉතාම ප්‍රයෝජනවත් ව්‍යායාමයක්. ඒ වගේම පෙණහළු වල සෞඛ්‍ය තත්ත්වයටත් සයික්ලින් ඉතාම හොඳයි.

 

ඇත්තටම ෆිට්නස් තියාගන්න එක්සයිස් එකක් විදියටත්, විනෝදාංශයක් විදියටත් බයිසිකල් පදින එක සෑහෙන්න ප්‍රචලිත වෙලා තියෙනවා. ඒකට වෙනම ක්ලබ්ස් පවා තියෙනවා. ඉතින් සයික්ලින් පටන් ගන්න හිතන කෙනෙක්ට කොහොමද ඒක පටන් ගන්න පුළුවන් කියන එකත් අපි ඉස්සරහදී කියනවා. ඊට පස්සේ සයික්ලින් ක්ලබ් එකකට එහෙම සෙට් වෙලා ඒක දිගටම කරගෙන යන්න පුළුවන්!

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *