දැන් කාලේ ඇස් කණ්ණාඩි කියන්නෙත් එක්තරා විදියකට ෆැෂන් එකක් වෙලානේ. ඒ කියන්නේ නිකම් ලස්සනට, ෆැෂන් එකටත් සමහරු ඇස් කණ්ණාඩි දානවා. ඒකේ ගැටළුවක් නෑ. හැබැයි ඇස් කණ්ණාඩි ඇත්තටම ඇස් වල පෙනීමේ දෝෂ තියෙන නිසානේ ගොඩක් අයට දාන්න සිද්ධ වෙන්නේ. ඒත් එතනදී සමහරුන්ට පැන නගින ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තටම ඇස් වල ප්‍රශ්නයක් තියෙනවා කියලා කොහොමද දැනගන්නේ? සමහර වෙලාවට ඔය ලඟ පෙනීම, දුර පෙනීම එහෙම පැහැදිළිවම අවුල් කියලා තේරුණහම ඇස් කණ්ණාඩි විශේෂඥයෙක් ගාවට ගිහින් හරි, ඇස් දොස්තර මහත්තයෙක් ගාවට ගිහින් හරි ඇස් කණ්ණාඩි දාගන්න පුළුවන්. හැබැයි සමහරුන්ට ඇස් වල ප්‍රශ්නයක් තියෙනවා කියලා එක පාරටම දැනෙන්නෙ නෑ. ආන්න ඒ නිසා, අපි හිතුවා අපිට ඇත්තටම ඇස් කණ්ණාඩි වුවමනායි කියලා තේරුම් ගන්න පුළුවන් ගැටළු කීපයක් ගැන කියන්න.
1. හිසරදය
සාමාන්‍යයෙන් අපි ඕනම කෙනෙක්ට හිසරදය නැතිනම් ඔළුව කැක්කුම හැදිලා තියෙනවනේ. හැබැයි අපිට ඔන්න ඔළුව කැක්කුමක් හැදුණොත්, ඒකෙන් කියවෙන්නෙ නෑ අපිට ඇස් වල ප්‍රශ්නයක් තියෙනවා කියලා. හැබැයි ඔන්න සමහර විට දවස් ගණන්, සති ගණන් පවතින ඔළුවෙ කැක්කුමක් හැදෙනවා. ඒක ඉවසගන්න අමාරු තරමයි. සමහර වෙලාවට ඇස් පියාගෙන හරි ඇස් වෙහෙසවන්නේ නැතුව හරි ඉන්නකොට ඒක ටිකක් අඩුත් වෙනව වගේ. එහෙම නැති වෙන්නත් පුළුවන්. කොහොම වුණත්, දීර්ඝ කාලීනව පවතින හිසරදයක් කියන්නේ, ඉරුවාරදය හෝ වෙනත් ප්‍රශ්නයක් නෙවෙයි නම්, අනිවාර්යයෙන්ම ඇස් සම්බන්ධ ගැටළුවක් තමයි.
2. ඇස් බොඳ වීම
ඇස් බොඳ ගතියකින් යුක්ත වීම කිව්වට ඇත්තටම වෙන්නේ අපේ පෙනීම බොඳ වෙලා වගේ පේන්න ගන්න එක. මේක විවිධ පරිමාණයන්ගෙන් වෙන්න පුළුවන්. සමහර වෙලාවට අපිට අඳුනගන්න බැරි තරම් සුළුවට මේ බොඳ වීම වෙන්නත් පුළුවන්. ඒ නිසාම අපි ඒක එච්චර ගණන් ගන්නෙ නැතුව ඉන්නත් පුළුවන්. හැබැයි දෙයක් කියවන්න ගියාම කියවන්න බැරි තරම් පෙනීම බොඳ වෙනවා නම්, ඉස්සරපිට ඉන්න කෙනෙක්ගේ මූණ අඳුනගන්න බැරි තරමට පෙනීම බොඳ වෙනවා නම්, එහෙම නැතිනම් ෆෝන් එක බොඳ වෙලා පේන අතර හරියට ෆෝන් එකේ තියෙන්නෙ මොනවද කියලා බලාගන්න යම් කිසි දුරකට ෆෝන් එක ලං කරන්න හරි ඈත් කරන්න හරි වෙනවා නම්, ඒ කියන්නේ එක්කෝ දුර නොපෙනෙන කම, ලඟ නොපෙනෙන කම හෝ විෂම දෘෂ්ටිකතාව වෙන්න පුළුවන්.
3. ඇස් වලට වෙහෙසකාරී බව
සාමාන්‍යයෙන් ඇස් වලට වෙහෙසකාරී බවක් ඇතිවෙන්නේ අපි දිගින් දිගටම ඇස් පාවිච්චි කරන කොට කියලා අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ. කම්පියුටර් එක ඉස්සරහා පැය ගණන් එක දිගට වැඩ කරනකොට, එක දිගට දීර්ඝ වෙලාවක් රිය ධාවනය කරනකොට වගේම, එක දිගට සෑහෙන වෙලාවක් පොතක් පතක් එහෙම කියවන කොටත් මේ ඇස් වල වෙහෙසකාරී බව දැනෙනවා. ඒක හරි. හැබැයි ඔය ක්‍රියාකාරකම් වල නිරත වෙනකොට වගේම ඊට පස්සේ වුණත් මේ ඇස් වල වෙහෙසකාරී බව දිගින් දිගටම දැනෙනවා නම්, අන්න ඒක ඇස් වල ප්‍රශ්නයක් වෙන්න තියෙන ඉඩ වැඩියි. බොහෝ දුරට ඒ වගේ තත්ත්වයකදී ඇස් කණ්ණාඩි පාවිච්චි කරන්න සිද්ධ වෙන්න පුළුවන්. ඔය වගේම තමයි ඇස් වලට දැනෙන දැඩි තෙහෙට්ටුව, ඇස් වල වේදනාකාරී බව වගේම ගොඩක් වෙලාවට ඇස් වහගෙන ඉන්න ඕන කියලා දැනෙන එකත් ඇස් වල ප්‍රශ්නෙක ලක්ෂණම තමයි.
4. දුර නොපෙනෙන බව
මේක නම් ඉතින් අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ. දුර නොපෙනෙන ගතිය කියලා කිව්වට මේකට දොස්තරවරු කියන්නේ මයෝපියා කියලා. මෙහෙම තත්ත්වයක් තියෙනවා කියලා දැනගන්න පහසුයි. අපිට ඇස් වල කිසිම ප්‍රශ්නයක් දැනෙන්නෙ නෑ. සාමාන්‍යයෙන් එදිනෙදා වැඩක් හොඳින් කරගන්න පුළුවන්. හැබැයි අපි හිතමු අපි බස් එකක් එනකල් බලාගෙන ඉන්නවා කියලා. ආන්න එතකොට ඈතින් එන බස් එකේ බෝඩ් එක අපිට පේන්නෙ නෑ. ඒ කියන්නේ කොහොමත් හරිහැටි පේන්නෙ නැති දුරකින් තියෙන බස් එකක බෝඩ් කියෝගන්න බෑ තමයි. හැබැයි සාමාන්‍යයෙන් කියවගන්න පුළුවන් දුරකට එනකොට වුණත් අපිට බස් එකේ බෝඩ් එක අපැහැදිළියි. ලඟට එනකල් පේන්නෙ නෑ. ආන්න ඒ කියන්නේ මයෝපියා තමයි. ඒකට ඇස් කණ්ණාඩි දාන්න වෙනවා.
5. ලඟ නොපෙනෙන බව
මේකත් අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. මේකටත් අපි ලඟ නොපෙනීම කියලා කිව්වට ඇත්තටම දොස්තරවරු කියන්නේ හයිපරෝපියා කියලා. මේක නම් අර දුර නොපෙනීමට වඩා ඉක්මනට අල්ල ගන්න පුළුවන් විය හැකියි. මෙතනදී දැනෙන පළවෙනි ඉඟිය තමයි ලඟ තියෙන දේවල් බොඳ වෙලා පේන්න ගැනීම. අපි උඩින් පොදුවේ කියපු දර්ශනය බොඳ වෙලා පේන අවුලට මේකත් අයිතියි. හැබැයි අපිට දුර තියෙන දේවල් ගැටළුවක් නැතිව පේනවා. මේක වෙන්නේ අපේ අක්ෂි ගෝලය අවශ්‍ය ප්‍රමාණයට වඩා කෙටි වීම හෝ අක්ෂි කුණීතය අසාමාන්‍ය විදියට පිහිටීම වෙන්න පුළුවන්. ඒකටත් ඇස් කණ්ණාඩි ගන්න එක තමයි පිළියම.
6. හතළිස් ඇඳිරිය
මේක නං අහල තියෙනව නේ. ඒ කියන්නේ වයස අවුරුදු හතළිහ වෙනකොට ඇස් පේන එක අප්සට් ගිහින් කණ්ණාඩි දාන්න වෙනවා කියන එකද? ඇත්තටම කිව්වොත් ඒ කතාවෙන් බාගයක් හරි. මේ තත්ත්වයට කියන්නේ Presbyopia නැතිනම් ප්‍රෙස්බයෝපියා කියලා. මේක වයස්ගත වීමේ සාමාන්‍ය ලක්ෂණයක් තමයි. හැබැයි අවුරුදු හතළිහ පැන්න ගමන් ඇස් කණ්ණාඩි ඕන වෙනවයි කියලා එකක් නෑ. මේ ලක්ෂණය සාමාන්‍යයෙන් වයස්ගතයි කියන්න පුළුවන් ඕනෑම වයසකදී එන්න පුළුවන්. ගොඩක් වෙලාවට අවුරුදු 38 ත් 42 ත් අතරදී මේ තත්ත්වය එන්න පුළුවන් කියලා කියන්නේ. සාමාන්‍යයෙන් වයසට යන්න යන්න ඇස් වල තියෙන සුඛනම්‍ය ගතිය අඩුවෙන්න පටන් ගන්නවා. අන්න එතකොට ලඟ තියෙන දේවල් දිහා පහසුවෙන් බලන්න තියෙන හැකියාව නැතිවෙලා යනවා. අන්න ඒ නිසා තමයි වයසට යන හැමෝටම වගේ ඇස් කණ්ණාඩි පාවිච්චි කරන්න සිද්ධ වෙන්නේ.
7. තවත් ඇස් රෝග ලක්ෂණ කීපයක්
මේ කියපු දේවල් ඇරෙන්න ඇස් වල ගැටළුවක් කියලා දැනගන්න පුළුවන් තව විවිධ දේවල් තියෙනවා. උදාහරණ විදියට ගත්තොත් අපි නිකම් දෙයක් දිහා බලාගෙන ඉන්නකොටත් නිකම් රැස් වළලු වගේ පෙනීම ප්‍රශ්නයක්. එතකොට ඇස් බොඳයි කියන්න බැරි වුණත්, අර පෙනීමේ තියෙන තියුණු ගතිය නැති වීම, ඒ කියන්නේ වස්තුවක් දිහා බලනකොට පැහැදිළි දාර හඳුනාගන්න බැරි ගතිය ප්‍රශ්නයක්. වැටෙන්න බීලා ඉන්න වෙලාවක නොවුණත් දේවල් ඩබල් වෙලා පේන්න පටන් ගන්න එක ප්‍රශ්නයක්. ඒ විතරක් නෙවෙයි, රෑට ඇස් නොපෙනෙන එකත් ප්‍රශ්නයක්. ඒ කියන්නේ අපි කාටත් දවල්ට වගේ රෑට පේන්නෙ නෑ තමයි. හැබැයි රෑට අඩ අඳුරෙන් පාරේ තියෙන බෝඩ් එකක්වත් පේන්නේ නැති ගාණට නම්, රෑ පානේ කිසිම වැඩක් කරගන්න බැරි තරමට ඇස් පේන්නේ නැති නම් අන්න ඇස් දොස්තර කෙනෙක් මුණගැහෙන්න වෙනවා කියන ලක්ෂණයක්.
මේ වගේ රෝග ලක්ෂණ පහළ වෙනවා නම් කරන්න තියෙන්නේ මොකද්ද? වහාම අක්ෂි වෛද්‍යවරයෙක් මුණගැහෙන්න යන එක. ඕන නම් කෙලින්ම ඇස් කණ්ණාඩි විකුණන තැනකට ගිහින් ඇස් පරීක්ෂා කරගන්නත් පුළුවන්. හැබැයි ඇස් වල දුර හෝ ලඟ නොපෙනීමේ සරල ප්‍රශ්නයක් නම් තමයි ඒක ප්‍රමාණවත් වෙන්නේ. ඊට වඩා සංකීර්ණ තත්ත්වයක් නම් අක්ෂි වෛද්‍යවරයෙක් මුණගැහෙන එක අනිවාර්යයි.
Leave a Reply