අපේ ජීවිතයේ එක එක අවධි වල අපිට යම් යම් නායකයින් යටතේ ක්‍රියා කරන්න සිද්ධ වෙනවා. කුඩාම කාලයේදී ගෙදර දෙමව්පියන්ගේ නායකත්වය යටතේ ඉන්න සිද්ධ වෙනවා. ඉස්කෝලේ ගියාම පන්ති නායකයෝ, ශිෂ්‍ය නායකයෝ ගුරුවරුන්ගේ නායකත්වය යටතේ වැඩ කරන්න වෙනවා. සමහර අවස්ථාවල නායකයන් යටතේ වැඩකරනවා වගේම නායකයෙක් විදිහට වැඩ කරන්නත් සිද්ද වෙන්න පුළුවන්. ඉතින් ඔය නායකත්වය කියන දේ කණ්ඩායමක් විදිහට කටයුතු කරද්දී අත්‍යවශ්‍ය වෙන දෙයක්. ඒ වගේම මතක තියාගන්න ඕනේ නායකත්වය කියන්නෙ තනතුරක් නෙමෙයි ගුණාංගයක්. ඉතින් නායකත්ව ගුණාංග තියෙන අය වගේම ඒ ගුණාංග නැති අයත් නායකයෝ විදිහට දකින්න පුළුවන්. හැබැයි සාර්ථක නායකයෙක් කියන්නෙ තමන්ගේ නායකත්ව තනතුර නායකත්ව ගුණාංග වලින් බබලවන උදවියට. එහෙම නොවන අයට බොස්ලා කියල තමයි කියන්න වෙන්නෙ . ඉතින් ලොක්කෙක් නොවී කොහොමද හොඳ නායකයෙක් වෙන්නෙ කියන කාරණාව ගැන අද අපි ටිකක් කතා කරමු.
1. අණ දෙන්නෙක් නොවී සහයෝගයෙන් කටයුතු කරන්නෙක් වෙන්න
ගොඩක් වෙලාවට අපි හිතන්නේ නායකයා යටතේ ඉන්න අය කරන්න ඕනේ නායකයාගේ අණ පිළිපදින එක කියලයි. ඒක වැරදිත් නෑ. හැබැයි සාර්ථක නායකයෙක් විදිහට ඔබේ යටතේ ඉන්න අය ඔබව පිළිගන්න නම් ඔබ අණ දෙන්නෙක් නොවී ඔවුන් සමඟ සහයෝගයෙන් වැඩ කරන්නෙක් බවට පත් වෙන්න ඕනේ. හැම වෙලේම අණ දෙන කෙනෙක්ට ඔයාගේ කණ්ඩායමේ සාමාජිකයින් අකමැති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම නායකයා විදිහට ඔයාට පුළුවන් යම් වැඩක් කරන්න කියල අණ කරන්නේ නැතුව ඔවුන් එක්ක එකතුවෙලා සහයෝගයෙන් ඒ වැඩේට යොමු වෙන්න. ඒ හරහා ඔයාගේ යටතේ ඉන්න අයගේ හිතේ ඇතිවෙන හැඟීම ඔයාට ලොකු වටිනාකමක් එකතු කරාවි නායකයෙක් විදිහට. එහෙම නැතුව අරක කරන්න, මේක කරන්න කිය කිය අණ කරන එකෙන් වෙන්නෙ ඔයා නිකන්ම නිකන් බොස් කෙනෙක් වෙන එකයි.
2. හොඳ සවන්දෙන්නෙක් වෙන්න
බොහෝ දුරට ගොඩක් නායකයින්ට තියෙන පොදු දුර්වලතාවයක් තමයි මේක. හැම වෙලාවේම තමන්ට අවශ්‍ය දේ අනිත් අයට කියනවා ඇරෙන්න තමන් යටතේ ඉන්න අයගේ අදහස් වලට සවන් දීම කියන දේ ගොඩක් නායකයින් නොකරන දෙයක්. හැබැයි ඔයාගේ පැත්තෙන් ඔයාට කියන්න තියෙන දේ වගේම ඔයාගේ යටතේ ඉන්න අයටත් කියන්න දේවල් තියෙන්න පුළුවන්. ඒ නිසා තමන්ගේ අදහස කියන්න කලින් තමන්ගේ කණ්ඩායමේ අයගේ අදහස්, ඒ අයට කියන්න තියෙන්නේ මොනවද කියන එක ගැන ලොකු සැලකිල්ලක් යොමු කරන්න පුරුදු වෙන්න. මොකද ඔයාට වඩා හොඳ අදහස් අනිත් අයට තියෙන්න පුළුවන්. ඒවාට ඇහුන්කම් නොදෙන එකෙන් ඉතාම හොඳ අදහස් ඔයාට නොලැබී යන්න පුළුවන්.
3. හැමදෙනාටම සමානව සලකන්න
නායකයෙක් විදිහට ඔයාගේ යටතේ ඉන්න අයගේ එක එක වෙනස්කම් තියෙන්න ගොඩක් දුරට ඉඩ තියෙනවා. එයාල රාජකාරි කටයුතු වලදී දක්වන දක්ෂතාවය එකිනෙකාට වෙනස්. ඒ වගේම ආකල්ප, කුසලතා එහෙමත් එකිනෙකාට වෙනස්. හැබැයි නායකයෙක් විදිහට ඔයා ඒ හැමදෙනාටම එක විදිහට සලකන්න උනන්දු වෙන්න. කෙනෙක්ට වැඩි සැලකීමක් දක්වනවා කියන්නෙ ඉබේම අනිත් අය ඔයා ගැන කලකිරෙනවා. ඒකෙන් සිද්ධ වෙන්නෙ කණ්ඩායමේ එකමුතුකම නැති වෙන එකයි. ඒ නිසා නායකයා විදිහට ඔයාට ලොකු වගකීමක් තියෙනවා ඔයා යටතේ ඉන්න අයට සමානව සලකන්න.
4. යටතේ ඉන්න අයගේ සංවර්ධනය වෙනුවෙන් කාලය යොදවන්න
නායකයෙකුගෙන් ඉෂ්ට වෙන්න ඕනේ ගොඩක් වැදගත් කාර්යයක් තමයි තමන් යටතේ ඉන්න අයගේ සංවර්ධනය වෙනුවෙන් කාලය වෙන් කිරීම සහ දෙවන පෙළ නායකත්වයක් ඇති කිරීම. හැමදාම තමන් යටතේ ඉන්න අයගෙන් වැඩ විතරක් අරන් හරියන්නේ නෑ. කවදාහරි දවසක ඒ අයට තේරුම් යනවා ඔයා ඒ අයගේ සංවර්ධනය වෙනුවෙන් කිසිදෙයක් නොකරන බව. ඉතින් හොඳ නායකයෙක් වෙන්න ඕනේ නම් තමන්ගේ යටතේ ඉන්න අයව ඊළඟ මට්ටමට උසස් කරවන්න කටයුතු කරන එක ඉතා වැදගත්. ඒ හරහා තමන්ගේ නායකත්වයට දෙවන පෙළක් සූදානම් කිරීමත් ගොඩක් වටිනා දෙයක්. මේ වගේ දේවල් වලින් ඔයාගේ යටතේ ඉන්න අයට ලොකු විශ්වාසයක් ඔයා ගැන ඇති වෙනවා.
5. ලාභය ගැන විතරක් හිතල තීරණ ගන්න එපා
ආයතන වල වැඩ කරද්දී ගොඩක් වෙලාවට දකින්න තියෙන දෙයක් තමයි නායකයෝ තීරණ ගන්නේ ආයතනයේ ලාභය ගැන හිතලා කියන එක. හැබැයි සමහර නායකයෝ ඉන්නවා, ඒ අය ගොඩක් වෙලාවට තීරණ ගන්නෙ තමන්ගේ යටතේ වැඩ කරන අයගේ පැත්තෙනුත් හිතල. ඒ තීරණ සමහර වෙලාවට ආයතනයට පාඩුවක් ඇති කරන්නත් හේතු වෙනවා. හැබැයි, මුල්‍යමය පාඩුවක් වුනත් ඒ හරහා තමන්ගේ යටතේ ඉන්න අයගේ හිත් වල ඇතිවෙන හැඟීම පසුකාලීනව ආයතනයේ වැඩකටයුතු වලට ගොඩක් ලොකු යහපත් බලපෑමක් ඇති කරනවා. ඉතින් ආයතනයේ වටිනාම සම්පත වෙන මානව සම්පත ගැන වැඩි සැලකිල්ලක් දක්වන එක නායකයෙක් විදිහට ගොඩක් වැදගත්.
6. වගකීම් වගේම බලතල බෙදාදෙන්න
ගොඩක් වෙලාවට නායකයින් තමන් යටතේ ඉන්න අයට වගකීම් නම් අඩුවක් නැතුව පවරනවා. ඒත් ඒ වගකීම් වලට ගැලපෙන්න බලතල පැවරීම කරන්නේ නෑ. ඉතින් වැඩ කරන අයට අපහසු වෙනවා තමන්ට පැවරුණු වගකීම් ඉෂ්ට කරන්න. ඉතින් වගකීම් සහ බලතල කියන්නෙ කෙනෙක්ට රාජකාරිය කරන්න අත්‍යවශ්‍ය කාරණා දෙකක්. ඉතින් බලතල ටික නායකයා සතුව තියාගෙන වගකීම් විතරක් අනිත් අයට පවරනවා කියන්නෙ හොඳ නායකයෙකුගේ ලක්ෂණයක් නෙමෙයි. ඒ නිසා තමන්ගේ යටතේ ඉන්න අයගේ රාජකාරි කරන්න අවශ්‍ය බලතල ඒ අයට බෙදාහැරීම හොඳ නායකයෙකුගේ ලක්ෂණයක්.
7. විශ්වාසය ගොඩනගන්න
බොස් කෙනෙක් බොහෝ වෙලාවට සේවකයින්ගෙන් වැඩ ගන්නේ යම් දෙයක් ගැන බයක් ඇති කරවලා. හැබැයි ඔයා නියම නායකයෙක් නම් ඔයාගේ යටතේ ඉන්න අයගේ හිතේ බයක් ඇතිකරවලා වැඩ කරවන්නේ නෑ. උදාහරණයක් විදිහට බොස් කෙනෙක් කෙනෙක්ගෙන් වැඩ ගන්නේ අදාළ වැඩේ නොකළොත් මේ වගේ දෙයක් වෙයි කියල බයක් ඇති කරවලා. හැබැයි නියම නායකයෙක් එහෙම බයක් කෙනෙක්ගේ හිතේ ඇතිකරවලා වැඩ කරවන්නේ නෑ. ඒ වෙනුවට ඒ කෙනාගේ හිතේ ඒ වැඩේ කරන්න අවශ්‍ය වෙන විශ්වාසය ගොඩනගනවා. ඒ තුළින් තමයි නියම නායකයෙක් වැඩ කරවන්නේ.
Leave a Reply