පොදු වැසිකිළි භාවිතා කිරීමේදී මේ කරුණු ගැන අවධානය යොමු කරන්න

පොදු වැසිකිළි හිතලාම යන අය නම් හරිම අඩුවෙන් ඉන්නේ. එත් ශරීර කෘත්‍යය කරන්න, මුත්‍රා බරක් නිදහස් කරගන්න අපි හැමෝටම හදිසියේ මේ පොදු වැසිකිළි උවමනා වෙනවා. බස් නැවතුම්පොළක අයිනේ තියෙන වැසිකිළිය වගේම ආයතනයක තිබෙන පණහක් හැටක් පාවිච්චි කරන වැසිකිළියත් අර්ථයෙන් ගත්තාම පොදු වැසිකිළි කොටසකට තමයි අයිති වෙන්නේ. ඉතින් මේ පොදු වැසිකිළි ගැන අපි තොරතුරු ටිකක් දැනගනිමු.

 

 

1. වාඩිවෙන්න පෙර පිසදමා ගමු

මේ දවස්වල නම් අපි හැමෝම ළඟ කුඩා සැනිටයිසර් එකක් තියෙනවා. ටොයිලට් එකේ කොමඩ්වල වල කොටසේ වගේම අපි හැමෝම වාඩිවෙන කොටසේත් අහිතකර බැක්ටීරියා පිරිලා තියෙනවා. මේ වගේ වෙලාවට ඒ ටොයිලට් සීට් එක සැනිටයිසර් වලින් පිරිසිදු කරගන්න පුළුවන්. එහෙම නැතිනම් ටොයිලට් සීට් එකට ටොයිලට් පේපර් හෝ එවැනි කඩදාසියක් එලා ගන්නත් පුළුවන්. හැම වෙලාවේම ප්‍රායෝගික නැතත් පුළුවන් අවස්ථාවට ටොයිලට් එකේ කොමඩ් එකේ වාඩිවෙන කොටස හැකි තරම් පිරිසිදු කරලා වාඩිවෙන එක කෝකටත් හොඳයි. 

 

 

2. ෆ්ලශ් කිරීමේදී

අපි දන්නවා ෆ්ලශ් කරන එක අපි විතරක් කරන දෙයක් නෙමෙයි. ෆ්ලශ් කරන්න තියෙන බොත්තම හෝ ලීවරය අල්ලන්නත් කඩදාසි කැබැල්ලක් පාවිච්චි කරන එක හොඳ පුරුද්දක්. ඒ වගේම ටොයිලට් එකේ වාඩිවෙලා ඉද්දි ෆ්ලශ් කරන එක හොඳ නැහැ. මොකද ඒ හරහා අහිතිකර බැක්ටීරියා කැලතීමෙන් ඒවා නැවතත් අපේ සමේ, යෝනි සහ අධෝ විවර වල තැවරෙන්නට ඉඩ තියෙනවා. ඒ නිසා ෆ්ලශ් කරනකොට හැකිතාක් ඈතින් සිට ෆ්ලශ් කරන්නට ඕනි. ඒ වගේම “අහා හරි සුවඳ ඇති නේද?” කියලා ඒ වෙලාවේ හුස්ම අදින්නත් හොඳ නැහැ. කොහොමත් ගඳ එක වෙනම කතාවක්. ඒත් එවෙලෙට එන බැක්ටීරියා කෙලින්ම අපේ ශ්වාසනාල සහ මුඛයට ඇතුළු වෙන්න ඒ හරහා ඉඩ ලැබෙනවා.

 

 

3. අත් සෝදා ගැනීම

වැසිකිළි ගිය පසු හැමෝම අත් හේදුවත් පිරිමි අතරින් සියයට 30ක් තමයි නියම ක්‍රමයට විෂබීජ ඉවත් වෙන විදිහට අත් හෝදන්නේ. කාන්තාවන් නම් 60%ක් පමණ වැසිකිළි ගිය පසු හොඳින් දෑත් සෝදාගන්නවා. වැසිකිළියේදි අපේ අත්වලට අහිතකර බැක්ටීරියා තැවරෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩියි. ඒ නිසා අත් දෙක සෝදාගැනීමේදී අත්වල ඇඟිලිවල සෑම තැනක්ම හොඳින් සබන් තැවරෙන සේ සෝදාගන්නට ඕනි. ඒ වගේම අපි හෝදන ටැප් එකේ කරාම කොටසත් සබන් ටිකක් දාල පිරිසිදු කර ගන්න පුළුවන් නම් හොඳයි. මොකද ඒ කොටස අපි හැමෝම අල්ලන නිසා ඇතැම් විට එය මිලිමීටරයකට සිය ගාණක් බැක්ටීරියා ඉන්න තැනක් වෙන්නට පුළුවන්.

 

 

4. අත් වියලා ගැනීම

සේදන ලද අත් කියන්නේ තෙත පිටින් තවත් අහිතකර දේවල් අතට එන්න පුළුවන් මාර්ගයක්. ඒ නිසා සෝදන අත් ටිෂූ හෝ වායු දහරාවක් මගින් පිසදා වියලිව තබාගන්නට ඕනි. මේ අවස්ථාවේදී කඩදාසි පාවිච්චි කර අත් පිසදාගැනීම වඩාත් යෝග්‍ය වෙනවා. මේ අවස්ථාවේදී අත් වියලා ගැනීමේදීත් ඒ වියලෙන වායු දහරාව මුහුණෙන් පිටට අල්ලන්නට ඕනි. මොකද හැමෝම අත් අල්ලන තැන තිබෙන අහිතකර බැක්ටීරියා ඔබේ මූණටත් ඇතුළු වෙන්නට පුළුවන්.

 

 

5. වොශ් රූම් එක චැට් රූම් එකක් නොවේ

කාන්තාවන් එහෙම වැසිකිළි ගිය පසු ඒ ස්ථානයට ඉතාම ආසන්නයේ ඇති කණ්ණාඩි වලින් විවිධ රූපලාවණ්‍ය කටයුතු කරනවා. ඒ වගේම කණ්ඩායම් වශයෙන් සෝදනා කාමර වලට ගිහින් සෙල්ෆි ගැසීම්, එකිනෙකා හා විහිළු තහළු කරගැනීම්ද සුලභයි. ඒත් වැසිකිළිය කියන්නේ අපි හොඳින්ම දන්නා පරිදි විෂබීජ ගුහාවක්. අපි ගිය පසු අදාළ දේවල් පමණක් කරගෙන හැකි ඉක්මනින් එයින් පිටවීම වඩාත් යෝග්‍යයයි. රූපලාවණ්‍ය කටයුතු ආදිය කරගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා වෙනත් කණ්ණාඩියක්, වෙනත් ස්ථානයක් තෝරගැනීම වඩාත් නුවණට හුරු වෙනවා.

 

 

6. වැසිකිළියෙන් නික්මීම

වැසිකිළිය හෝ සේදුම් කාමර වලින් ඉවත් වීමේදී හැකි ඉක්මනින් එයින් ඉවත් වන්නට ඕනි. ඒ වගේම වැසිකිළි දොර ආදිය ඇරීමේදී පරෙස්සමින් කඩදාසි කැබැල්ලකින් එය කරන්නට පුළුවන් නම් වඩාත් හොඳයි. අප හොඳින්ම දන්නා කාර්යාල වැසිකිළි සහ අපිට වගකීමක් තිබෙන ස්ථානවල වැසිකිළි වල පිරිසිදු කිරීමේ යාන්ත්‍රණය නිසි පරිදි සිදුවෙනවාද? ඒ අදාළ දියරවලින් විෂබීජහරණය සිදු වෙනවාද කියලා හොයලා බැලීමත් වැදගත් වෙනවා. මොකද බොහෝ දෙනෙක් වැසිකිළි පාවිච්චි කළත් එහි යම්කිසි පිරිසිදු කිරීමේ දෝෂයක් වුණොත් එයින් අපිත් අපහසුතාවයට පත් වෙන්නට පුළුවන්.

 

 

7. පිරිසිදු කරන උපාංග සහ දියර වර්ග සැපයීම

වැසිකිළි පිරිසිදු කිරීම කියන්නේ භාරදූර වගකීමක්. ඇතැම් ආයතනවල මේ වැසිකිළි සහ නානකාමර ආදිය පිරිසිදු කරන අයටම වෙනත් ස්ථාන පිරිසිදු කරන්නත් පැවරිලා තියෙනවා. ඒ වගේම තරමක අප්‍රසන්න දෙයක් වන මේ වැසිකිළි පිරිසිදු කරන කාර්යයට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර වගේම අවශ්‍ය දියර වර්ග ආදිය ලැබෙනවාද යන්න ගැනත් සැළකිලිමත් වන්නට ඕනි. ලංකාවේ වගේ නම් වැසිකිළි පිරිසිදු කරන කාර්යයේ නිරත වෙන්නේ එතරම් දැන උගත් අය නෙමෙයි. ඔවුන් වැරදි ආකාරයට ඔවුන්ගේ සෞඛ්‍ය ගැන නොතකා ආරක්ෂිත ක්‍රමවේද නැතිව වැසිකිළි වල පිරිසිදු කිරීම් කළොත් එයින් ඔවුන් රෝගී වෙන්නට පුළුවන්. ඒ වගේම ඔවුන් ඔබ මොබ සැරිසරද්දි ඇවිදින අහිතකර බැක්ටීරියා ගොඩවල් විදිහටත් ඔවුන් ක්‍රියාකරනවා. ඒ නිසා ඒ පිරිසිදු කරන අය ගැනත්, ඔවුන්ගේ ආරක්ෂා විධි ගැනත්, බඩු බාහිරාදිය ගැනත් ටිකක් සොයාබලන වගකීම ඔබටත් තියෙනවා.

 

අපි පොදු වැසිකිළියකට ගිහින් රුපියල් විස්සක්, පණහක් දීලා වැඩේ කරගෙන ආවත් නිවැරදි ආරක්ෂිත ක්‍රම අනුගමනය කළේ නැතොත් සල්ලි දීලා ගියා වුණත් ලෙඩ රෝග සහ බැක්ටීරියා වැනි ක්ෂුද්‍ර ජීවින් අපිව වෙලාගන්නට පුළුවන්. ඒ නිසා හොඳින් අවධානයෙන් වැසිකිළි ගිය කාර්යය කරගෙන ඉක්මනින් එය හමාර කරගෙන එන්නට අපි සැළකිලිමත් වන්නට ඕනි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *