ඔබ නැරඹිය යුතුම චීන සිනමාපට 7ක්

අපී මීට කලිනුත් විවිධ රටවල් වල, විවිධ භාෂාවල ඔබට නැරඹීමට ඉහළින්ම නිර්දේශ කරන්න පුළුවන් සිනමාපට ගැන කතාකළා. අද අපි යමු චීනේ පැත්තට. චීන සිනමාවේ ඔබ නැරඹිය යුතුම සිනමාපට හතක් ගැනයි අද කතාකරන්න යන්නේ…

 

1. To Live (1994)

චීන සිනමාපට වල තියෙන ඒ අපූර්වත්වය නොඅඩුව තිබ්බ චිත්‍රපටයක් තමයි To Live කියන්නේ. මේ සිනමාපටය අධ්‍යක්ෂණය කළේ. Zhang Yimou කියන අධ්‍යක්ෂවරයායි. මේ සිනමාපටයට පාදක වෙන්නේ තම සේසතම අහිමි වුණු යුවළක් සිවිල් යුද්ධයෙන් පස්සේ ජීවිතය කියන යුද්ධයට මුහුණ දෙන ආකාරයයි.  ඉතාම සංවේදී සිනමාපටයක් වන මෙය දේශපාලනික හේතු මත චීනය තුළ වාරණයටත් ලක්ව තිබෙන චිත්‍රපටයක්.

 

2. The Killer (1989)

ක්‍රියාදාම මුසුවුණ චිත්‍රපට බලන්න ආස අයනම් මේ චිත්‍රපටයට ගොඩක් ආස වෙයි කියලා හිතනවා. මේ චිත්‍රපටයට පාදක වෙන්නේ තමන්ගේ අවසාන මෙහෙයුම ඉටු කරන්නට සැරසෙන කුලී මිනීමරන්නෙක් ගැන කතාවක්. ජෝන් වූ තමයි මේ සිනමාපටය අධ්‍යක්ෂණය කළේ. අන්තිම මොහොත වෙනකන්ම කුතුහලයෙන් සහ ත්‍රාසයෙන් යුතුව බලන්න පුළුවන් සුපිරිම කතාවක් කියල හඳුන්වන්න පුළුවන්.

 

3. Farewell My Concubine (1993)

Chen kaige අධ්‍යක්ෂයක් වුණු මේ චිත්‍රපටයට පාදක වෙන්නේ ඔපෙරා රංගන ශිල්පීන් හැටියට කටයුතු කරන හොඳම යාළුවන් දෙන්නෙක්ගේ කතාවක්. මේ යාළුවන් දෙන්නාගේ ජීවිතේට තවත් එක් යුවතියක් එනවා. ඒ එක්කම මේ චරිත වල සිදුවන වෙනස්වීම් සහ ඔවුන් අතර සිදුවන හැලහැප්පීම් සමග තමයි මේ සිනමාපටය දිව යන්නේ. මොවුන්ගේ කතාවට සමගාමීව චීනයේ ඉතිහාසය ගැනත් සංස්කෘතිය ගැනත් වැදගත් අනාවරණ රැසක් කරන්න මේ චිත්‍රපටය සමත් වනවා. 

 

4. Devils on the Doorstep (2000)

මේක ටිකක් විතර ආන්දෝලනයක් ඇති කරපු සිනමාපටයක් කිව්වොත් හරි. Black Comedy වර්ගීකරණයට දාන්න පුළුවන් චිත්‍රපටයක් වන මේ සිනමාපටයට පාදක වෙන්නේ චීන ජපාන යුද්ධයයි. යුද සමයේ ගමක ජීවත් වෙන මිනිසෙක්ට තවත් අභිරහස් පුද්ගලයෙක් විසින් සතුරු ජපන් සිරකරුවන් දෙදෙනෙක් බලා ගන්නට භාර කරනවා. ඒ සමගම මේ ගමේ උදවියට මුහුණ දෙන්න සිද්ධ වෙන එක එක විදියේ අත්දැකීම් මේ සිනමාපටය පදනම්ව තිබෙනවා. හරිම උපහාසාත්මක විදිහට යුද්ධය ගලා යන මේ කතාවත් ඔබ අනිවාර්යයෙන්ම නැරඹිය යුතු චීන චිත්‍රපටයක්. 

 

5. Spring in a Small Town (1948)

මේක නම් සෑහෙන පරණ චිත්‍රපටයක්. පරණ වුණත් අනිත් චිත්‍රපට තරම්ම විශිෂ්ට චිත්‍රපටයක්. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Fei Mu විසින්. ගමක ජීවත් වන රෝගී මිනිසෙක්, හුදකලාව වෙලාගත් බිරිඳක් සහ නගරයෙන් පැමිණෙන දොස්තරවරයෙක් යන චරිත ත්‍රිත්වය තමයි මේ සිනමාපටයට පාදක වෙන්නෙ. සැමියාගේ පාසල් මිතුරෙක් සහ බිරිඳගේ පැරණි පෙම්වතෙක්ද වන මේ දොස්තරවරයාගේ පැමිණීමත් සමගම ඔවුන්ගේ සබඳතාවය දිගහැරෙන හැටි මේ චිත්‍රපටයෙන් පෙන්වනු ලබනවා.  හරිම ලස්සන සිනමාපටයක් වන මෙයත් අනිවාර්යයෙන්ම නරඹන්න… 

 

6. Hero (2002)

අපි කලින් කතාකරපු To Live සිනමාපටය අධ්‍යක්ෂණය කරපු Zhang Yimou තමයි මේ සිනමාපටයත් අධ්‍යක්ෂණය කළේ. සතුරු මරණ තර්ජනවලින් පීඩා විඳින රජ කෙනෙක් හමුවට යන වීරයෙක් සහ එම රජතුමා අතර සිදුවන කතාබහක් සමගින් ඉතාම විචිත්‍ර අයුරින් තමයි මේ චිත්‍රපටය ගලා යන්නේ. මාෂල් ආර්ට්ස් සටන් ජවනිකා පිරුණු, ඇස වගේම සිතත් පිනවන මේ චිත්‍රපටය එක මොහොතක්වත් කම්මැලි නැතුව බලන්න පුළුවන්. 

 

7. Long Day’s Journey into Night (2018)

මේකනම් මේ මෑතකදී (2018 අවුරුද්දේ) තිරගත වුණු සිනමාපටයක්. ඒ වුනත් ගොඩක් අය ආසාවෙන් බලයි කියලා හිතනවා. දශකයකටත් වඩා දිගු කාලයකට පසු තමන්ගේ ගම් පියස වෙත නැවත යන පුද්ගලයෙක් එකල තමන් පෙම්කළ තැනැත්තියව සොයා යන ගමන තමයි මෙහි මූලික කතාව. සරලවම කිව්වොත් ඕන කෙනෙක්ට කුතුහලයෙන් බලන්න පුළුවන් විදිහේ චිත්‍රපටයක්. 

 

මීට අමතරව ඔයා නරඹපු හොඳම චීන චිත්‍රපට තව ඇති. ඒ ගැනත් අනිවාර්යයෙන්ම අපිට කමෙන්ට් එකකින් කියන්න අමතක නොකර.

 

 

ශශින් ප්‍රබෝද්

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *