දැන් අපි මෝටර් බයික් එකක් ගත්තට පස්සේ, ඒක පාරට දැම්මට පස්සේ හිතන්නේ මුළු ලෝකෙම, මුළු අහසම, මුළු පාරම අපේ කියලා. එහෙම නෙවෙයිද? ඒ හැඟීම මරු. ඒක මෝටර් බයික් එකක් පදින කෙනෙක් දන්නවා. හැබැයි ඒ එක්කම අපි ඔළුවේ තියාගන්න ඕන දෙයක් තියෙනවා. ඇත්තටම මුළු පාරම අපේ නෙවෙයි. තවත් අපි වගේම මිනිස්සු පාරේ වාහන වල යනවා, පයින් යනවා. එතකොට අපි දැනගන්න ඕන, පාරේ යන එක හෝ පාර අයිනේ ඉන්න හෝ වෙනත් කිසිම කෙනෙක්ට අපේ රයිඩ් එකෙන් කරදරයක් නොවෙන්න රයිඩ් කරන්න. ඒ විතරක් නෙවෙයි, අපි අපිටම හෝ කරදරයක් නොවෙන්න මෝටර් බයික් එකක් රයිඩ් කළ යුතුයි.
ඇත්තටම අපි ප්‍රායෝගිකව හිතලා බැලුවොත්, මෝටර් බයික් එකකින් පාරේ යන අපිට කොයි මොහොතක හෝ අතිශයින්ම සුළු හෝ හදිසි අනතුරකට මුහුණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන්. ඒකෙන් අපිට වගේම තව කෙනෙක්ටත් හානියක් වෙන්න පුළුවන්. හැබැයි එහෙම හදිසි අනතුරු පැත්තකින් තිබ්බොත්, අපි හරි විදියට, ආචාරශීලී බවක් එක්ක මෝටර් බයික් එක පාරේ අරගෙන යනවා නම්, වෙන්න පුළුවන් ගොඩක් අනතුරු වගේම, අපිට හෝ වෙනත් කෙනෙක්ට කරදරයක් වෙන්න තියෙන ඉඩකඩත් ඉතාම අවම වෙනවා. ආන්න ඒක තමයි රයිඩර් කෙනෙක් විදියට අපේ වගකීම. අපි මේ කියන්න යන්නේ ඒ වගකීම ඉෂ්ට කරන්න පුළුවන් ක්‍රම කීපයක් ගැන!
1. එහෙං මෙහෙං රිංගමිං
මේක ඇත්තටම මෝටර් බයික් එකේ යනකොට තියෙන්න ඕන යහපත් පුරුද්දක් වගේම, මාර්ග නීති කඩ නොකිරීමකුත් වෙනවා. ඒ තමයි, එහෙං මෙහෙං රිංගන්න නොයෑම. ඇත්තටම නියම බයික් රයිඩර් කෙනෙක්ගේ ඔය අනික් වාහන අස්සෙන් දාලා රිංගගෙන යැවිලි නෑ. හරි විදියට තමන්ට නියමිත මං තීරුවේ යන එක තමයි නියම බයික් රයිඩර් කෙනෙක් කරන්නේ. හැබැයි ඉතින් පාරට බැස්සහම අපිට ගොඩක් වෙලාවට නියම බයික් රයිඩර්ස්ලා දකින්න නෑ. ඉන්නේ බයික් එකක් තියෙන පළියට ඒක පදින මිනිස්සු. ආන්න එහෙම මිනිස්සුන්ට එහෙම විනයක් නෑ. ආයෙ වාහන දෙකක් අස්සෙන් අඩියක පරතරයක් තිබ්බත් එතනින් රිංගන්න හදනවා. කලර් ලයිට් එකක වාහන නතර වුණහම එහෙන් මෙහෙන්, පේමන්ට් එකෙන් විතරක් නෙවෙයි, පාර අයිනේ තියෙන ගෙවල් වල මිදුලෙනුත් දාලා ගිහින් කලර් ලයිට් ඉස්සරහටම වෙලා ඉන්නවා. ඒක කැතයි විතරක් නෙවෙයි, අනතුරුදායකයි.
2. ගේම ඉල්ලන්න, වෙට්ටු දාන්න එපා!
මේකත් සමහර වෙලාවට අපිට පාරෙදී බයිකර්ස්ලා අතින් සිදුවෙනවා දකින්න ලැබෙන වැරැද්දක්. ඇත්තටම මේක බයිකර්ස්ලා විතරක් නෙවෙයි, වෙන ඕනෙම රියැදුරෙක් කරනවා දකින්න පුළුවන් වැරැද්දක්. හැබැයි අපි මෙතන කතා කරන්නේ බයිකර්ස්ලා ගැන විතරක් නිසා, අපි එතන ඉඳන් කතා කරමු. දැන් පාරට බැස්සහම විවිධාකාරයේ මිනිස්සු ඉන්නවා. සමහරුන්ට පොඩ්ඩ ඇත්තං තද වෙනවා. තවත් සමහරුන්ට පුදුමාකාර ඊගෝ එකක් තියෙනවා. ඉතින් අපි හිතමු ඔන්න වාහනයක් ඉස්සර කරනවා අපිට. එතකොට ඉන්න බෑ. කොහොම හරි වේගෙන් ගිහිල්ලා අර මනුස්සයට වෙට්ටුවක් දාන්නමයි හිත. එහෙම නැතිනම් ගේම ඉල්ලන්නමයි වුවමනාව. ආන්න ඒක හරි දෙයක් නෙවෙයි. හොඳට මතක තියාගන්න. අපි යන්නේ අපේ ගමන. එතනින් එහාට අපිට අනික් මිනිස්සු එක්ක පාරේ කෝන්තර පිරිමහන්න යන්න, අපේ ඊගෝ එක තෘප්තිමත් කරගන්න, ලොකු ලයින් දාන්න අවශ්‍ය වෙන්නෙ නෑ. අපිට එහෙම ආකල්ප තියෙනවා නම්, ඇත්තටම අපිට බයික් රයිඩ් එකක් කවදාවත් රස විඳින්න ලැබෙන්නෙත් නෑ.
3. බයික් ගියර්ස්
මේ කියන්නේ බයික් එකේ තියෙන වේගේ මාරු කරන ගියර් ගැන නෙවෙයි. බයික් එකට නගින්න කලින් පළඳින්න ඕන ආරක්ෂාව සහ පහසුව ලබාදෙන අනං මනං ගැන. අපි පටන් ගන්නේ හෙල්මට් එකෙන්. ඇත්තටම හෙල්මට් එක කියන්නේ ට්‍රැෆික් පොලිසියට බය නිසා දාන්න ඕන දෙයක් නෙවෙයි. තමන්ගේ ජීවිතේට ආදරේ නිසා පළඳින්න ඕන දෙයක්. මොකද, බයික් එක හදිසි අනතුරකට මුහුණ පෑවොත් කෙලින්ම බිම වදින්නේ ඔළුව. වෙන අතක් පයක් බිම වැදුනට ජීවිතේ නැතිවෙන්නෙ නෑ. හැබැයි ඔළුව බිම වැදුනොත් ජීවිතේ එතනම ඉවර වෙන්න පුළුවන්. ආන්න ඒ නිසා හරි විදියට තමන්ට ගැළපෙන , ආරක්ෂාවක් තියෙන හෙල්මට් එකක් දාන්න ඕන. ඒ ඇරෙන්න දුර ගමනක් එහෙම යනවා නං දණහිස් ආවරණ, වැළමිටි ආවරණ එහෙමත් පළඳින එක තමන්ට හොඳයි. ඊලඟට හොඳ ජැකට් එකක් තියෙන්න ඕන. අන්තිමට දීර්ඝ මෝටර්සයිකල් ගමනක් යනවා නං අත් ආවරණ තියෙන එකත් තමන්ට පහසුවක්.
4. ලේන් ෂෙයාරින්ග් එපා!
මේක ගොඩක් වෙලාවට මෝටර් සයිකල් ධාවකයෙක් නොදැන කරන වැරැද්දක්. ඒ තමයි එකම ලේන් එකේ තව වාහනේකට සමාන්තරව ධාවනය කරන එක. ගොඩක් වෙලාවට ඒ තවත් මෝටර්සයිකලේකට වෙන්න පුළුවන්. ඇයි එහෙම එපා කියන්නේ? මෝටර් සයිකලේකට යන ඉඩ අඩු නිසා, ගොඩක් වෙලාවට ලේන් දෙකක් වෙන් කරන ඉර නොකපා වුණත් තව වාහනේකට සමාන්තරව යන්න පුළුවන්. හැබැයි එහෙමයි කියලා, එහෙම එක සමාන්තරව වාහන දෙකක් යනකොට ඇතිවෙන අන්තරායදායක තත්ත්වය නැති වෙන්නෙ නෑ. අඩු තරමින් තමන්ගේ යාළුවෙක් එක්ක මෝටර්සයිකල් දෙකක යනකොට වුණත් එහෙම ලේන් ෂෙයාරින්ග් කරන්න යන්න එපා. ඒක මාර්ග නීති වලටත් පටහැණියි. එකක් පසුපස එකක් තමයි යන්න ඕන.
අනික් කාරණය, මෝටර් සයිකල් එකකට සමහර වෙලාවට පාරේ කඩ ඉරි නොකපා වුණත් වෙන වාහනේකට ඕවර්ටේක් කරන්න පුළුවන්, මෝටර් සයිකලේ පළල සෑහෙන්නම අඩු නිසා. හැබැයි ඉර කපන්නෙ නෑ කියලා සිග්නල් ලයිට් නොදමා ඕවර්ටේක් කරන්න බැහැ. මොකද, අනික් මනුස්සයට දිව්‍යඥාණය නැහැනේ අපි ඕවර්ටේක් කරනවා කියලා දැනගන්න. අන්තිමට වාහන දෙකම ඇක්සිඩන්ට් වෙන්න පුළුවන් එහෙම කරලා.
5. බයික් එකට මුල් තැන
මේකත් ඇත්තටම බයික් රයිඩර් කෙනෙක් ඔළුවේ තියාගන්න ඕන ආචාර ධර්මයක්. ඒ තමයි තමන්ගේ බයික් එකට ගෞරවයෙන් සලකන එක. කොහොමද බයික් එකට ගෞරවයෙන් සලකන්නේ? සරලයි. අපි කොයි තරම් හදිසි ගමනක් යන්න ලැහැස්ති වුණත්, බයික් එකට නගින්න කලින් බයික් එකේ බ්‍රේක් වැඩද, ක්ලච් එක වැඩද, සිග්නල් ලයිට් වැඩද, හෙඩ්ලයිට් වැඩද, හෝන් එක වැඩද කියලා පොඩ්ඩක් බලන්න. බයික් එකේ තත්වය කොහොමද කියන එක චෙක් කරලා බලන්න. එතකොට නියමිත වෙලාවට බයික් එක සර්විස් කරන්න. හරියට ඔයිල් මාරු කරන්න. ඒ වගේම ටයර් වල ප්‍රෙෂර් එක හරියට තියෙනවද කියලා චෙක් කරලා බලන්න. දූවිලි පිරුණු ලඩියක් වගේ බයික් එක පැදගෙන යන්නෙ නැතුව, බයික් එක හොඳට හෝදලා කරලා තියාගන්න. ආන්න එහෙම කරනකොට බයික් එකත් අපිට ගෞරවයෙන් සලකනවා. මහ පාර මැද්දේ අපිව අතරමං වෙන විදියේ ලෙඩ දෙන්නෙ නැතුව, අපිට බයික් එකේ උපරිම හැකියාව ලබාදෙන්න උත්සාහ කරනවා.
6. හරි විදියට පාකින්
සාමාන්‍යයෙන් කාර් එක්ක වෑන් එකක් වගේ නෙවෙයි, මෝටර් බයික් එකක් පාක් කරන්න ලොකු ඉඩක් අවශ්‍ය නැහැ. ඒක වාසියක්. හැබැයි ඒක තව කෙනෙක්ට කරදරයක් වෙන තැනට ඉඩ නොතියන එක තමයි හොඳ බයිකර් කෙනෙක්ගේ ලක්ෂණය. ඒ කියන්නේ, පාක් කරලා තියෙන කාර් එකක පිටිපස්සෙන් වුණත් ඕන නං බයික් එක හරහට පාක් කරන්න පුළුවන්. හැබැයි ඊට පස්සේ කාර් එකේ මනුස්සයා කාර් එක ගන්නෙ කොහොමද? එතකොට අනික් බයික් තියෙන තැනක තමන්ගේ බයික් එක පාර්ක් කරනකොට වුණත් මතක තියාගන්න ඕන දෙපැත්තේ තියෙන බයික් වලට අපහසුවක් නැතුව කෙලින් කරගෙන එළියට ගන්න පුළුවන් ප්‍රමාණවත් ඉඩක් තියන්න. එහෙම නැතුව තවත් බයික් එකක අස්සේ ගිහින් තමන්ගේ බයික් එක ගැහුවහම ඒ මනුස්සයට අඩු ගාණේ බයික් එක කෙලින් කරගන්නවත් ඉඩ නෑ!
7. කරදරයක් නම් උදව්වක්!
මේක නම් ඇත්තටම ගොඩක් රයිඩර්ස්ලා අතින් සිද්ධ වෙන දෙයක්. ඒ තමයි තවත් බයිකර් කෙනෙක් පාරේ කරදරයක් වෙලා හිටියොත් වහාම උදව් කරන එක. උදාහරණයක් විදියට ගත්තොත්, බයික් එකක් පැච් එකක් ගිහිල්ලා නිසා පාරේ නතර කරගෙන ඉන්නවා වෙන්න පුළුවන්. අන්න ඒ වෙලාවට අපි අතිශයින්ම හදිසි වැඩකට නෙවෙයි නම් යන්නේ, පොඩ්ඩක් නතර වෙලා, අපිට උදව්වක් කරන්න පුළුවන්ද කියලා බලන එක හොඳයි. සමහර වෙලාවට අපිට පැච් එකක් දාලා දෙන්න බැහැනේ. හැබැයි අපි ඒ අවට හුරුපුරුදු කෙනෙක් නම්, අපිට පුළුවන් පැච් එක දාගන්න පුළුවන් තැනක් පෙන්නලා දෙන්න. ඒ සහයෝගීතාවය තියෙන එක සෑහෙන්න ලොකු දෙයක්. දවසක අපිට පාරේදී එහෙම ප්‍රශ්නයක් වෙලා නවතින්න සිද්ධ වුණත්, අපිට ඒ උදව්ව ගොඩක් දුරට ආපිට ලැබේවි.
ඒ වගේම තව දෙයක්. පාරේ වාහනේක හෝ පයින් යන එන ඕනෑම පුරවැසියෙක් විදියටම, මෝටර් බයික් එකත් එක්ක පාරට බහින අපිත් මාර්ග නීති සම්පූර්ණයෙන්ම ආරක්ෂා කරන්න බැඳී ඉන්නවා. උඩ කියලා තියෙන හැමදෙයක්ම එක්ක අන්න ඒ කාරණාවත් අමතක කරන්න එපා!
Leave a Reply